Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මහනුවර මල්වතු මහා විහාරයීය කඨින පින්කම් පුණ්‍යෙීත්සවය ඔක්තෝබර් 10 , 11 දිනවලදී පැවැත්වේ. මල්වතු මහා විහාරයීය සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, කාන්තා සමිතිය, ධර්මෝදය දහම් සමාජය සංඝරාජ දහම් පාසල, මහනුවර බෞද්ධ සමිති රාජ්‍ය ආයතන සහය ඇතිව මල්වතු මහා විහාරයීය මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන් මූලිකත්වයෙන් 66 වන වතාවටත් මෙවර පැවැත්වෙන මල්වතු මහා විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් සිරිත් පරිදි මෙවරද කඨින චීවර දෙකක් මල්වතු මහා විහාරයටත් පෝය මලුව විහාරයටත් පූජා කෙරේ. කඨින පින්කම නිමිත්තෙන් 10 වනදා පිරිත් දේශනය ඇතුළු ආගමික වැඩසටහන් මාලාවකි. 11 වනදා මහා සංඝරත්නය පනස්නමක් විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි.

අස්ගිරි මහා විහාර කඨින පින්කම දා

පිණ්ඩපාත චාරිකාවක් - අභයදාන පින්කමක්

මහනුවර අස්ගිරිය මහා විහාර පිරිවෙනේ දී මෙම මස 17 , 18 දිනවල පැවැත්වෙන කඨින පින්කම නිමිත්තෙන් මරණයට කැප වූ ගවයින්ට අභයදානය දීම, පිරිවෙනේ භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවක යෙදීම ඇතුළු පින්කම් මාලාවක්ද පැවැත්වේ. අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරෙන කඨින පින්කම 17 වනදා සවස කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශාධිපති ආචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවකින් ආරම්භ කෙරේ. එදිනම සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව ද 18 වනදා උදේ පිණ්ඩපාතික චාරිකාව සහ අභයදානය දීම එදින උදේ පිරිවෙන් භූමියේදී සිදුකෙරේ. දවල් අස්ගිරි මහ නාහිමියන් අනුනාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය දෙසිය නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

 

කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරයේ කඨින පින්කම

කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයේ කඨින පූජෝත්සවය ඔක්තෝබර් 03 හා 04 යන දිනයන්හි පැවැත්වේ. මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී පින්කම බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ. ඔක්තෝබර් 03 වන පුර පසළොස්වක පොහෝ දින රාත්‍රී 09.00 ට අස්ගිරි මහා නාහිමියන් ප්‍රධාන අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සියක් නමක් මෙම පින්කමට වැඩමකරනු ලබයි. පසුදා පහන්වනතුරු පිරිත් දේශනාව පැවැත්වේ.

පිරිත් දේශනාවට වැඩම කළ සියක්නමකට අධික මහා සඟරුවන වෙත නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා ප්‍රධාන නාවික හමුදාව විසින් හීල් දානය පිරිනමනු ලබයි. ඔක්තෝබර් 04 වන දින පෙරවරු 04.00 ට සම්බෝධි විහාර දායක සභාවේ වත්මන් සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිල නිවසේ අභියස සිට කඨින චීවරය රැගත් දර්ශනීය පෙරහර ශ්‍රී සම්බෝධි විහාරය කරා ගමන් කරනු ලබයි. පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ප්‍රධාන පොලිස් දෙපාර්තමේන්තුවේ භවතුන් කඨින පෙරහරේ සංවිධායකත්වය දරන අතර පසුදා (04 වන දා) අති පූජ්‍ය අස්ගිරි මහානාහිමියන් ප්‍රධාන මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි අනු නාහිමියන්, රාජකීය පණ්ඩිත දිඹුල්කුඹූරේ ශ්‍රී සරණංකර විමලධම්ම මල්වතු අනුනාහිමියන්, ප්‍රධාන සියක්නමකට අධික මහා සඟරුවන වෙත දවල් දානය පිරිනැමේ.

 

පොළොන්නරුව සොළොස්මස්ථාන

පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරයේ කඨින පූජෝත්සවය ඔක්තෝබර් 03 සහ 04 දිනවල දී වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. ඔක්තෝබර් 03 වප්පුර පසළොස්වක පෝය දින සවස මල් පහන් පූජාව සහ රාත්‍රී 09.30 සිට 10.30 තෙක් මහ පිරිත් දේශනාව පවත්වා ඇරඹෙන කඨින පින්කම සඳහා කඨින වස්ත්‍ර රැගත් පෙරහර අලුයම පැවැත්වේ. 04 දින සපිරිකර සංඝගත දක්‍ෂිණාව හා කඨින චීවර පූජාව පැවැත්වේ.

සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ 24 වන වරටත් පවත්වනු ලබන වාර්ෂික කඨින පූජා මහෝත්සවය ඔක්තෝබර් මස 06 වන දා සිට 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර පින්කමේ දායකත්වය සහකාර පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සහ නීතිඥ සන්ධ්‍යා තල්දූව මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ඔක්තෝබර් 06 වන දා සිට 09 වනදා දක්වා සෑම දිනකම සවස 06.00 ට බෝධි පූජාවක් පැවැත්වෙන අතර, 9 වැනිදා රාත්‍රී 09.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කෙරේ. එදින විදුලි ආලෝකය විවෘත කිරීම දේශමාන්‍ය පන්දුල හිඳුගොඩ මහතා අතින් සිදු කෙරෙන අතර කල්ප වෘක්‍ෂය විවෘත කිරීම උපාලි රාජපක්‍ෂ මහතා විසින් සිදු කෙරේ. ඔක්තෝබර් 10 වන සෙනසුරාදා අලුයම 05.00 ට කඨින චීවරය රැගත් පෙරහර කොටිකාවත්ත නාගහවෙල හන්දියේ අංක 317 දරන සහකාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ නිවසින් පිටත්වෙන අතර එදින අලුයම 05.30 ට දේවි බාලිකා හන්දියේ දී පෙරහරට එක්වන ලෙස ආරාධනය කෙරේ. තවද කඨින චීවර සඟසතු කිරීම සහ මහා දානය මෙදින උදේ 07.00 ට සිදු කිරීමට නියමිත ය.

දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානය

පොල්ගස්ඕවිට, දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමසංස්ථාවට අනුබද්ධ වී 13 වැනි වරට පවත්වන 50 වන වාර්ෂික කඨින මහා පුණ්‍යෙීත්සවය ඔක්තෝබර් මස 23 හා 24 යන දෙදින පැවැත්වේ. උපසම්පදාවෙන් හැට වස් සපිරි මිනුවන්ගමුවේ නාගිත හිමිපාණන්ට සෙත් පැතීම ද අරමුණු කරගෙන පැවැත්වෙන එම කඨින පූජෝත්සවය, නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සහ මීතලාවේ විනීත හිමියන් ඇතුළු පනස් නමක් පමණ ආරණ්‍යවාසී සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

 

වැල්ලවත්ත

වැල්ලවත්ත බෝධිරුක්‍ඛාරාම කඨින පූජා පින්කම විහාරාධිපති වස්කඩුවේ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් 30 – 31 දෙදින පැවැත්වේ. 30 දා සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන අතර පසුදා කඨින චීවරය සඟ සතු කොට පූජා කිරීමෙන් අනතුරුව සංඝගත දක්‍ෂිණාව පැවැත්වේ. එදින රාත්‍රී 7.30 ට කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අම්පාරේ නන්ද හිමියන් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වති.

 

එගොඩඋයන

මොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ කඨින පින්කම 04 වැනි ඉරිදා අලුයම සිදු කැරේ. ඒ නිමිත්තෙන් කාව්‍ය ධර්මදේශනාවක් ඇතුළු ධර්ම දේශනා 7 ක් සිදු කොට වස් ආරාධනා කරන ලද හේමන්ත අපෝන්සු මහතාගේ සිය නිවසෙන් කඨින පෙරහර අලුයම 4 ට පිටත් වී මෝදර එගොඩඋයන අතර පරණ පාරේත් අලුත් පාරේත් ගමන් කොට විහාරස්ථානයට පිවිසෙනු ලැබේ.

 

සීනිගම කුසුමාරාමය

සීනිගම කුසුමාරාමයේදී ඔක්තෝබර් මස 10, 11 යන දිනයන්හි පින්කම් මාලාවක් විහාරාධිපති අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව සංවිධානය කොට ඇත. වාර්ෂික කඨින පින්කම 10 වැනි දින රාත්‍රි පෙරහරකින්, සීනිගම, වැරැල්ලාන, මල්වැන්න, මුනුගොඩ, කලුපේ ගම්මානවල වීථි සංචාරය කොට එදින උදේ කඨින චීවරය සංඝරත්නයට පූජා කොට 20 නමකට අධික සංඝරත්නයට සඟ සතු දානයක් පිරිනැමේ.

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපතිව වැඩ විසූ සීනිගම නන්දරතන නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් 25 නමකට අධික සංඝරත්නයට සපිරිකර දක්‍ෂිණාවක් පිරිනැමේ. එදින දහවල් උන්වහන්සේගේ ගුණ සැමරීමේ විශේෂ ධර්මදේශනාවක් තොටගමුවේ පඤ්ඤනන්දතිස්ස නාහිමියන් විසින් පවත්වනු ලැබේ. ඔක්තෝබර් මස 10 වැනි දින උදේ අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක කොස්ගොඩ සරණංකරතිස්ස මහනා හිමියන්ගේ උපාධ්‍යායෙන් බේරතුඩුවේ එච්. අෂේන් මංජුල, බලපිටිය ඒ දිල්ශාන් නිමන්ත, තොටගමුවේ ඒ.පී. සජිස් ප්‍රේමලාල් යන දරුවන් තිදෙනා අකුරළ මංජුලතිස්ස හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් කෙරේ.

විද්‍යාවාස පිරිවෙනේ  කඨින පින්කම හා සමරු පින්කම්

මීරිගම මිණීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ 124 වන වරටත් සිදු කරනු ලබන කඨින මහා පූජෝත්සවය හා විහාරාධිපති හා පරිවේණාධිපති ධූරයන් හොබවා නිතලව ශ්‍රී ඤාණේශ්වර නාහිමි පිදුමේ රතන නාහිමි නුගදෙනියේ ධම්මානන්ද නාහිමි, මකුලෑවේ විජය නාහිමි යන මහා ස්වාමීන් වහන්සේලාගේ ගුණ සමරු පින්කම් ද නිමිත්තෙන් විද්‍යාවාස පිරිවෙනේ දී දහම් දෙසුම් මාලාවක් ද ඇරැඹිණි. 4 වන දා අලුයම කඨින පෙරහර හේනේගම ඩී.ඩබ්ලිව් රණසිංහ මහතාගේ නිවසින් ඇරැඹෙන අතර 4 වන ඉරිදා 10.30 ට බුද්ධ පූජාව ද 11 ට හැත්තෑපස් නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවද පැවැත්වේ.

ලුනාව බෝධිරාජාරාමයේ කඨින පින්කම හා දම් දෙසුම්

මොරටුව ලුනාව උයන පාරේ ශ්‍රී බෝධිරාජාරාමයේ කඨින පින්කම ඔක්තෝම්බර් මස 03 දා සිට 11 දක්වා පැවැත්වීමට විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදාඇත. ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ ලවා සිදු කරවන ධර්ම දේශනා මාලාවක් ද මෙවර පැවැත්වේ.

ඒ අනුව ඔක්තෝබර් මස 03 දා දොඩම්ගොඩ අස්සජී නාහිමියෝ ද, 4 වන දා මාවරලේ භද්දිය හිමියෝ ද, 05 වන දා උඩුවේ ධම්මාලෝක හිමියෝ ද, 06 වන දා දීගල පියදස්සී හිමියෝ ද 07 වන දා කොළොන්නාවේ සුමංගල හිමියෝ ද, 08 වන දා පදලංගල ධම්මදේව හිමියෝ ද 09 වන දා පිටිදූවේ සිරිධම්ම හිමියෝ ද ධර්ම දේශනා කරති.

10 වන දා රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව ද 11 වනදා උදෑසන කඨින චීවර පූජාව සහිත සංඝගත දක්‍ෂිණාව ද සිදු කෙරේ. එදින රාත්‍රී කඨිනානිසංශ දේශනාව පවත්වන්නේ උයන්වත්තේ ඤාණාලෝක හිමිපාණන් වහන්සේ ය.

මෙවර ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ මොරටුව ලක්‍ෂපතිය ෆොන්සේකා පාරේ පදිංචි ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ආචාරිනී සමදරා ගමගේ මෙනෙවිය සහ එල්.වයි. ජගත් පි‍්‍රයංකර මහතා විසිනි.

දැරණියගල

දැරණියගල පොල්ගස්වත්ත ශ්‍රී සුමනාරාමයේ කඨින පින්කම මෙම 7 වැනි දා සිට 10 දා දක්වා සිදු කැරේ. 7 වැනිදා ආරම්භ කැරෙන අටවිසි බුද්ධ පූජා හා ධර්ම දේශනා පින්කම් මාලාව 9 වැනි දා දක්වා පැවැත්වේ. 10 වැනි දා අලුයම කඨින චීවරය වැඩම කැරෙන අතර, දවල් මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ.


නුගේගොඩ

නුගේගොඩ සිරිධම්මාරාමයේ කඨින පින්කම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දායකත්වයෙන් මෙම 10 – 11 දිනයන්හිදී සිදු කැරේ. 10 දා සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙන අතර පසුදා දවල් සියක් නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. 11 දා පස්වරු 3.30 ට කඨින චිවරය රැගත් පෙරහර ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් ආරම්භ කැරෙන අතර පස්වරු 4 ට කඨින චීවර පූජාව ද 4.30 ට කඨිනානිසංස ධර්ම දේශනයද පැවැත්වේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.