Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංකස්සපුර පුද බිමේ පින්කමට සහභාගිවීමට අවස්ථාවක්

දඹදිව සංකස්සපුර හෙවත් වර්තමානයේ සංකස්ස (සංකිස්සා ) නුවර සියලුම බුදුවරු අත්නොහරින ස්ථානයකි. සෑම බුදුවරයන් වහන්සේ නමක්ම දෙවියන්ට අභිධර්මය දේශනා කොට මිහිතලයට පා තබනුයේ සංකස්සපුර දොරටුවෙනි. එය සියලුම බුදුවරුනට ආවේණික සිරිතකි. එසේම එහිදී ලෝක විවරණ නම් මහා ප්‍රාතිහාර්යයක් පාති.

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් රාශියක් සිදුවී ඇති එහි භාරතීය බුදුදහමේ පරිහානියත් සමග වල්බිහිව ගිය සංකස්ස පුද බිම නව ප්‍රබෝධයක් ඇතිවීම ආරම්භ වුයේ 1957 න් පසුවය. එනම් පණ්ඩිත මඩබාවිට විජයසෝම හිමියන් එහි වැඩමවා පුරාණ ස්තුපය ඉදිරිපිට කුඩා විහාරයක් ඉදිකරවා එහි නේවාසික වෙමින් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට පාසලක්ද ඇරැඹූහ.

අද එය මහා විද්‍යාලයක් බවට පත්ව ඇත. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු නැවත ක්‍රමයෙන් පිරිහී ගියහ. නැවත 1996 න් පසු විශාල දියුණුවකට මග පෑදිණ. ආචාර්ය පණ්ඩිත ජූලම්පිටියේ ඤාණරතන නා හිමියන් එහි වැඩමවා සුදුසු ඉඩමක් බලා එහි දේවාවරෝහණ මෛත්‍රී බුද්ධ විහාරය ඇරැඹූහ. උන්වහන්සේ එහි ඉතා කෙටි කලකින් අංග සම්පූර්ණ විහාරයක් ගොඩනැංවූහ. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සාමාජික මෙහෙවරක්ද ඉටු කරති.

එහි චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකොට කොත් පැළැඳවීමට ඔක්තෝබර් මාසයේ දී කටයුතු සංවිධානය වෙමින් පවතී. ඒ නිමිත්තෙන් සත්වරුවේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදයෙන් හා වැඩමවීමෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන සම්භාවනීය ගිහි පින්වතුන්ගේ සහභාගිත්වයත් ඇතිව උත්සව රාශියක් සිදු කරති.

එමෙන්ම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩමවා රෝපණය කිරීමත් එදින සිදු කැරේ. එම පින්කම් කටයුතු සඳහා සහභාගි විය හැකි බව දන්වමින් ඒ සඳහා විමසීම් 0112850620 ට හෝ 0714441380 හෝ දන්වන්නැයි කෙසෙල්පොත විමලධම්ම හිමියෝ කියති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.