Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්කර හයක පමණ භූමියක් පුරා විහිදී පැතිරී ඇති මාබිම හෙයියන්තුඩුව (තායි පන්සල) තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වෙතට සපැමිණෙන අප තුළ ආකර්ෂණයෙන් පිරි චමත්කාරය දනවන හැඟීමක් ජනිත කරවයි. එහි පැමිණි ගිනි මද්දහන අපව පීඩාවට පත් කළද මේ භූමිය පුරා රෝපණය කැර ඇති විවිධ පැළ සමූහය හෙට දිනයේ දී සුවිසල් වී ඒ දැඩි හිරු රැස් මැඬ මේ බිමට සිසිලස ප්‍රදානය කිරීමට සමත්වනු නියතය.

මනා සැලැස්මක් මත තායිලන්තයේ බෞද්ධ පන්සලක සිරිය කැන්දන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ වන්නේ වසර 2001 දී ය. එය බැලූ බැල්මටම දැවැන්ත ව්‍යාපෘතියක් බව පෙනේ.


දේශීය සම්ප්‍රදායට අනුගත තායි ලෝහ ප්‍රතිමාවක්

භූමියට ඇතුල්වන විට මුලින්ම හමුවන්නේ එහි ඇති සුවිසල් ධර්ම මන්දිරය යි. තායි විහාර නිර්මාණ ආකෘතියට අනුව ගොඩ නැඟී ඇති එම ධර්ම මන්දිරයට පිවිසීමේදී විශේෂත්වයක් දැක ගැනීමට පුළුවන. අඩි 100 ක් පමණ දිග, පළලින් අඩි 60 ක් පමණ වන මේ ධර්ම මන්දිරයට හෙවිලිකර ඇති විශේෂයෙන් සෑදූ උළු කැටයක බර කිලෝ 4 ක් පමණ වේ. එවන් උළු කැට 9000 කින් පියස වසා තිබේ. එවිට වහලයේ පමණක් බර කිලෝ ග්‍රෑම් 36000 ක් පමණ වේ.

වර්ග අඩි 6000 ක් පමණ වන පුළුල් අවකාශයක් වසා සිටිනා කි.ග්‍රෑම් තිස් හය දහසක් පමණ වන දැවැන්ත වහලය හා එය දරා සිටින දැඩි යකඩ බාල්ක සියල්ලේ බර ඔසවාගෙන සිටින්නේ ගොඩනැගිල්ලේ වට බිත්ති පමණි. එවන් දැඩි බරක් දැරීමට සහය වීමට මැද කණු කිසිවක් නොමැති වීම විශේෂයකි. එහි තාක්‍ෂණික ක්‍රමවේදය සුවිශේෂ ය.

පොළව හැඩ කර ඇති සුදුපැහැති බිම් ගඩොල් (Flow Tiles) නිසා අවකාශය තව තවත් පුළුල් වී පෙනෙයි. ධර්ම මන්දිරය තුළට ඇතුළු වන විටම මේ අපරිමිත වූ අවකාශය විසින් රැහැන් පිටින් බැඳුණු සිතුවිලි ලිහා දමමින් නිදහස් සුවය ප්‍රදානය කරනා සෙයකි.

ධර්ම මන්දිරය තුළ ඇති තායි කලා සම්ප්‍රදායට අනුව නිම වූ අසුනක් මත වාඩිවී සිටින ඉරියව්වෙන් ධර්මචක්‍ර මුද්‍රාව පිළිබිඹු කරනා බුදු පිළිම වහන්සේ, අප දැක ඇති පිළිම නිර්මාණ සම්ප්‍රදායට නුහුරු ආකෘතියකි. අපට එය නුහුරු වුවද එම නිර්මාණය තායිලන්තයේ නකොම් පතොම් නම් ඓතිහාසික විහාරයේ දැනටත් පවතින වසර දහසකටත් වඩා පැරණි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියකි.


වසර දහසකටත් වඩා පැරණි තායි බුද්ධ ප්‍රතිමාවක ආකෘතියක්

දකුණු පසින් වන ලෝහයෙන් සාදා ඇති සීවලී මහරහතන් වහන්සේ ගේ ප්‍රතිමාව අපට හුරු දේශීය කලා සම්ප්‍රදායට අනුගතව ඉතා සියුම් ලෙස අඟ පසඟ කලාත්මකව මතුකර ගනිමින් නිර්මාණය කර ඇත.


සීවලී මහරහතන් වහන්සේ ගේ ප්‍රතිමාව

ඉන් අනතුරුව තවමත් වැඩ නිමවී නොමැති විහාර මන්දිරය වෙත පිවිසෙමු. නෙත විචිත්‍රවත් කරමින් සිත තායිලන්තයේ පන්සලක් වෙත සැනෙන් රැගෙන යන මේ විහාර මන්දිරය සම්පූර්ණයෙන්ම ඉදිවෙමින් පවතින්නේ තායි පන්සල් ආකෘතියට අනුවය.

විහාර මන්දිරයේ උස මීටර් 16 කි.(අඩි 56 ක් පමණ, එහි දිග මීටර් 15 ක් පමණ (අඩි 52 ) ද පළල මීටර් 7.5 ක් පමණ ද (අඩි 26 ක් පමණ) වෙයි.

දේශීය බුදු මැදුරක අපට හුරු ස්වරූපයට හාත්පසින්ම වෙනස් ගොඩනැගිලි ආකෘතිය ද තද රත් හා නිල් ආලේපයන් ද, අවට පරිසරයේ ඇති ස්වභාවික හරිත වර්ණයෙන් උඩට මතුවී කැපී පෙනෙනා දර්ශනය නෙත් තදින් පැහැර ගන්නා චිත්‍රයක් සේය. තද පැහැ වීදුරු කැබැලි අලවා කර ඇති මෝස්තර රටා මතට හිරු රැස් වැටී - ඔප දැමූ මාණික්‍යයන් සේ දිදුලන විහාර මන්දිරය සිතක සියුම් සිතිවිලි පරයමින් හදවතට ආමන්ත්‍රණය කරනා සෙයකි. මෙහි කුඹුක් දැවයෙන් සදා ඇති පිවිසුම් දොරටුව මෙන්ම ජනෙල් පියන් තද රත් පැහැ ගන්වා ඇත. එම පියනක ඝනකම අඟල් 2 ක් පමණ වෙයි.

ඇතුළත ඇති තායි සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමාව සහ ආසනය පවා ඉතා විචිත්‍රවත් වීදුරු කැබැලි අලවා දිදුලන සේ නිර්මාණය කරමින් තිබේ. මෙම දසුන් සියල්ල අපට එතරම් හුරු නොවුණද එය තායි සම්ප්‍රදායේ විචිත්‍රවත් නිර්මාණ කෞශල්‍යයේ අගනා කෘතියකි. විහාර මන්දිරය මුදුනේ ඇති කුඩා ඝන්ටාරය සියුම් සුළං පහරටත් සංවේදී වෙමින් සුමිහිරි නාදයක් නගයි. හුදකලා බව මකමින් සජීවි බව ප්‍රදානය කරනා ඒ සියුම් හඬ දිගේ නුහුරු දේශයකට අපව රැගෙන යනවා වැනි ය.


ධර්ම මන්දිරය

තායි දේශයේ වට් ප්‍රා පතොම්වේදී (WAT PHRA PATHOMEHEDI ) රජ මහා විහාරාධිපති ප්‍රාධම්ම පරියත්තිවේදී (Phra Dhamma Pariyatthivedi  ) නාහිමිපාණන් වහන්සේගේ මූල්‍යමය දායකත්වයෙන් ගොඩනැගෙන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙම විහාර මන්දිරය පමණක් ඉදිකිරීමට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇත.


ප්‍රාධම්ම පරියත්තිවේදී නාහිමි

තායි විහාර ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රවීණ ශිල්පියකු වන විරත් නච් පන් (Wirat Nuch pan ) ගේ මූලිකත්වයෙන් තවත් තායි කාර්මික ශිල්පීහු පස් දෙනෙක් මෙහි ඉදිකිරීම් කාර්යයේ යෙදී සිටිති.

මෙවන් වූ අභියෝගාත්මක දැවැන්ත කාර්යයන් රැසක පසුබිම සකසන සවිය නම් තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලී හිමියන් ය.

මෙම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ පැහැදිලි කරමින් උන්වහන්සේ පවසන්නේ, මෙමගින් තායිලන්තයේ හා ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රබෝධය වර්ධනය වන බවයි. මේ වන විට ලංකාවේ විහාරස්ථාන 400 කට වැඩි ප්‍රමාණයකට රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා පූජා කිරීමත් මළ නොබැදෙන පාත්‍ර පූජාවන්, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම්, පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සුනාමියෙන් අවතැන් වූවන්ට නිවාස සාදා දීම ආදි පුණ්‍ය කර්ම රාශියකට මෙම මධ්‍යස්ථානය මුල් වී තිබේ. එමෙන්ම මෙහි පැවැත්වෙන සංස්කෘතික සංදර්ශන දේශන ආදියෙන් ද ආගමික සමාජීය වර්ධනය අපේක්‍ෂා කරයි.

කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘතික භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය හා තායිලන්තයේ මහා චූලාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය ලද ප්‍රථම ලාංකික භික්‍ෂූන් වහන්සේ ද වන රාස්සගල සීවලී හිමියන්ට 1989 වසරේදී ප්‍රා ධම්ම පරියත්තිවේදී නාහිමියන් මුණ ගැසේ. ප්‍රාධම්ම යන නාමය තායිලන්තයේ භික්‍ෂූන් වහනසේ අතර ඉතා උසස් නිලයකි. තායිලන්තයේ ඇති 35,000 ක් පමණ වන විහාරස්ථාන අතුරින් පන්සල් දහසක භාරකාරත්වය උසුලන්නේ ප්‍රා ධම්ම නාහිමියන්ය. උන් වහන්සේ විහාරාධිපතිත්වය උසුලන ප්‍රා පතොම්වේදී රජ මහා විහාරය තායිලන්තයේ ප්‍රථම විහාරස්ථානය වීමද විශේෂයකි. 1991 වසරේදී එම විහාරස්ථානයේ නේවාසිකව වැඩ වසමින් සීවලී හිමියන් තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතියේ වර්ධනය වෙනුවෙන් කැප වේ.


රාස්සගල සීවලී හිමි

1999 වසරේදී අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන්ට මෙන්ම 2000 වසරේ ආචාර්ය මැදගම වජිරඤාණ නාහිමියන්ට තායිලන්තයෙන් ගෞරව ආචාර උපාධි පිරිනැමෙන්නේ අප දේශයේ උසස් භික්‍ෂූන් වහන්සේ පිළිබඳ තායිලන්තයට හඳුන්වා දීම නිසාය.


නිර්මාණ කාර්යයේ නියැලෙන තායි ශිල්පීන්

2000 වසරේ සිට මහානායක හිමිවරුන් මෙන්ම මහා සංඝරත්නය තායිලන්තයට වැඩමවා දෙරටේ බෞද්ධ ප්‍රබෝධය වඩවාලීමට සීවලී හිමි උනන්දු විය.

තායිලන්තයේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා ලංකාවේ විහාරස්ථාන වෙත පූජා කෙරෙන්නේද සීවලී හිමියන් ගේ මූලිකත්වයෙනි.

‘‘ලෝහයෙන් තනන ප්‍රතිමා කලාවට තායි ශිල්පීන් සුවිශේෂී දක්ෂතාවයක් දක්වනවා. මට අවශ්‍ය වුනේ එම දක්‍ෂතාවයන් ප්‍රයෝජනයට ගනිමින් අපගේ උසස් දේශීය සම්ප්‍රදායට අනුගත ප්‍රතිමා ලෝහයෙන් නිර්මාණය කිරීමයි. නමුත් ඒ කාර්ය එතරම් පහසු නෑ.ඒ වෙනුවෙන් අධික මුදලක් වියදම් වෙනවා’’. සීවලී හිමියෝ පවසති.

තායිලන්තයේ ධන පරිත්‍යාගශීලින් කැමැති ඔවුන්ගේ සම්ප්‍රදායේ ප්‍රතිමා ප්‍රදානය කරන්නයි. ඒ වගේම තමයි අපේ විහාරස්ථාන බහුතරයක් ඉල්ලන්නෙත් තායි සම්ප්‍රදායික ප්‍රතිමායි “ සීවලී හිමියන් මේ ප්‍රතිමා පිළිබඳව දරන්නේ එවැනි මතයකි.

කෙසේ හෝ අප දේශය හා තායිලන්තයේ බෞද්ධාගමික සම්බන්ධනය වසර 700 ක් පුරා පිරිත් කළ පිරිත් නූලක් සේ මහා බලසම්පන්නය. අප සංස්කෘතීන්ගේ හර පද්ධතියේ නිසි සුදුසු දේ පමණක් රැගෙන පිවිතුරු බුදු දහමේ සැබෑ පණිවිඩය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට මේ බන්ධනය තව තවත් සවිමත් කර ගත යුතු යැයි සිතේ.ඒ වෙනුවෙන් තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට තව තවත් සවිය ලැබේවායි පතමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.