Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවනට සුගතියට දොරටුව

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී ඇත. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනට එයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනට එයි. සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මංගල කරුණු 38 ටද දානය ඇතුළත් වී ඇත.

දස රාජ ධර්ම වලටද දානය ඇතුළත් වී ඇත. වෙසක් පොසොන් වැනි බෞද්ධයන්ගේ අතිශය වැදගත් පසළොස්වක පෝය දිනයන්හි ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයකම ගමකම මහ දන්සැල් පැවැත්වීමට බෞද්ධයෝ මහත් රුචියක් දක්වති.

‘මහා ප්‍රයිඩ් රයිස් දන්සැල’, ‘මහා කිරිබත් දන්සැල’, ‘මහා නූඩ්ල්ස් දන්සැල’ ආදී වශයෙන් විවිධ නම් වලින් මහත් උද්‍යෝගයෙන් දන්සැල් සංවිධානය කොට වෙසක් සිරි, පොසොන් සිරි නැරඹීමට පැමිණෙන පිරිසට සංග්‍රහ කිරීමට බෞද්ධයෝ කිසි පැකිලීමක් නොදක්වති. සුනාමියෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීමට සියලු ජනතාව ඉදිරිපත් වූ ආකාරය බටහිර රටවලට මවිතයට කරුණක් විය. ම්ලේච්ඡ ප්‍රභාකරන් යටතේ පීඩනයට පත්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ආහාරපාන හා වෙනත් අවශ්‍යතා පරිත්‍යාග කිරීමට බෞද්ධ ජනතාව නොපැකිල ඉදිරිපත් වෙති.

මේ ආකාරයෙන් වෙනත් කිසි රටක දක්නට නැති ලෙස දන්දීමට බෞද්ධයින් නැඹුරු වූයේ බුදුදහමින් පෝෂණය වූ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම නිසා බව නොරහසකි. වෙසක්, පොසොන් උත්සව කාලවලදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මවිතයට හේතුවකි, ශ්‍රී ලංකාවේ දන්සැල් පවත්වන ආකාරය.

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී ඇත. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනට එයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනට එයි. සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මංගල කරුණු 38 ටද දානය ඇතුළත් වී ඇත. දස රාජධර්ම වලටද දානය ඇතුළත් වී ඇත.

මෙසේ සුවිශේෂ තැනක් හිමි වන දානය පිළිබඳ සූත්‍ර පිටකය පුරාමත් ඛුද්දක නිකාය හා විමාන වත්ථු වලත් සඳහන් වෙයි. මජ්ඣිම නිකායේ තෙවැනි කොටසට අයත් ‘දක්ඛිණ විභංග සූත්‍රය’ දානය පිළිබඳ හෙළි කරන සුවිශේෂ සූත්‍රයකි. බුදුරජාණන් වහන්සේ කපිල වස්තු නුවර නිග්‍රෝධාරාමයේදී මේ සූත්‍රය දේශනා කිරීමට විශේෂ හේතුවක්ද තිබිණි. දිනක් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ එතුමිය විසින්ම සකස් කරන ලද සිවුරු දෙකක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට පැමිණියහ. තමන් අතින්ම සකස් කළ එම සිවුරු පිළිගන්නා ලෙස අයැද සිටියාය.

‘ගෝතමිය, එම සිවුරු සංඝයාට දෙන්න’ යැයි බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. නැවත නැවත තෙවරක් ඉල්ලීම් කළද බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ ‘සංඝයාට පිදීමෙන් තමන් වහන්සේට පිදුවා වන්නේ’ යැයි වදාළ සේක. ආනන්ද තෙරුන් වහන්සේද ගෝතමී තෙරණින් වහන්සේ වෙනුවෙන් ආයාචනා කළ සේක. එම අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දානය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කර ඇත.

‘ආනන්දය, පෞද්ගලික දාන 14 ක් ඇත. ආනිශංස ලැබෙන පිළිවෙළින් එය පහත දැක්වෙයි.

1. තථාගතයන් වහන්සේට දෙනු ලබන දානය

2. පසේ බුදුන් වහන්සේට දෙනු ලබන දානය

3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේට දෙනු ලබන දානය

4. රහත්වීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන අර්හත් මාර්ගයට පත් අයට දෙන දානය

5. අනාගාමී ඵලයට පත් අයට දෙන දානය

6. අනාගාමී මාර්ගයට පත් වූ අයට දෙන දානය

7. සකෘදාගාමි ඵලයට පත් වූ අයට දෙන දානය

8. සකෘදාගාමී මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය

9. සෝවාන් ඵලයට පත් වූ අයට දෙන දානය

10. සෝවාන් මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය

11. කාමයන්ගෙන් වෙන්ව තවුස්දම් රකින තවුසන්ට දෙන දානය

12. සිල්වත්ව සිටින තෙරුවන් සරණ නොගිය පන්සිල් සුරකින අයට දෙන දානය

13. තෙරුවන් සරණ නොගිය පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය

14. තිරිසන් සතුන්ට දෙන දානය

බුදුරජාණන් වහන්සේට දෙන දානයෙ ආනිසංස ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකිය. මෙවැනිම විස්තරයක් වේලාම සූත්‍රයේද සඳහන් වෙයි.

සංඝයා වහන්සේට දෙන දාන 7 ක් පිළිබඳ විස්තර එහි සඳහන් වෙයි.

1. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය

2. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු භික්ෂු භික්ෂුණීන් වහන්සේට දෙන දානය

3. භික්ෂූන් වහන්සේට දෙන දානය

4. භික්ෂුණීන් වහන්සේට දෙන දානය

5. මෙතරම් ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ සහ භික්ෂුණීන් වහන්සේ ප්‍රමාණයකට දෙන දානය

6. යම්කිසි භික්ෂු සංඝයා ප්‍රමාණයකට කොට දෙන දානය

7. භික්ෂුණීන් වහන්සේ ප්‍රමාණයකට දෙන දානය.

මේ දාන අතරින් පළමුවන දානය බුදුන් වහන්සේ පිරිනිවන් පෑවද බුදුන් වහන්සේ වෙනුවට සධාතුක කරඬුව සහිතව සිදුකළ හැකිය. මහා සංඝයාට දෙන දානයත්, භික්ෂුන් වහන්සේට දෙන දානයත්, යම්කිසි භික්ෂූන් වහන්සේ ප්‍රමාණ කොට දෙන දානයත් පමණකි, මෙකල දියහැකි වන්නේ.

අනාගත කාලයෙහි සිල් ගුණයෙන් පිරිහුන දුසිල් මහණ පිරිසක් ඇති වෙයි. කාසාව කණ්ඨක නම් එම භික්ෂූන් වහන්සේට දෙන දානයේද ආනිශංස ඉමහත් බව, එම සූත්‍රයෙහි සඳහන් වෙයි.දෙනු ලබන දානය පිරිසුදු විය යුතු ය.

එය ක්‍රම 4 කින් දැක්වෙයි. ඒවා ‘දක්ෂිණ විසුද්ධි’ නමින් හඳුන්වයි.

1. දානය ලබන අය අපිරිසුදුයි. දානය දෙන අය පිරිසුදුයි.

2. දානය ලබන අය පිරිසුදුයි. දෙන අය අපිරිසුදුයි.

3. දන් දෙන අයත්, ලබන අයත් අපිරිසුදුයි

4. දන් දෙන අයත්, ලබන අයත් පිරිසුදුයි.

මේ අනුව පෞද්ගලික දානයට වඩා සාංඝික දානයෙහි ආනිශංස වැඩි ය. ඊට හේතුව එම දානය දෙනු ලබන්නේ භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් කාය සාක්ෂි කොට අතීත, වර්තමාන හා අනාගත යන තුන් කාලයටම අයත් මහා සංඝයා වහන්සේ උදෙසා බැවිනි. වීතරාගී උතුමෙකු විසින් වීතරාගී උතුමකුට දෙන දානය ආමිස දාන අතර උතුම්ම දානය යි. ඊට හේතුව දෙපැත්තම පිරිසුදු වීම යි.

දානානිශංස පිළිබඳ සූත්‍ර පිටකය පුරාමත්, විමාන වත්ථු, ථෙර ථෙරී ගාථා, ජාතක කථා, අපදාන පාලි ආදී තැන්වලත් සඳහන් වෙයි.

සීවලී මහ රහතන් වහන්සේට බුදු සසුනේ ලාභීන් අතර අග්‍ර තනතුර හිමිවූයේ, පෙර දන් දී පුරුදු නිසා ය. බුදුරජාණන් වහන්සේ බෝසත් කල අනන්ත සසර පුරා ඇස්, ඉස්, මස් මහා රාජ්‍යයක් අඹුදරුවන් දන් දී දාන පාරමිතාව පූරණය කළ බව ජාතක කථා හෙළි කරයි. ලෝසකතිස්ස මහ රහතන් වහන්සේට පිරිනිවන් පාන දිනය දක්වාම කුස පිරෙන තරමට ආහාරයක් නො ලැබුණේ, එක්තරා භික්ෂූන් වහන්සේ කෙනකුගේ දාන වේලක් විනාශ කිරීමේ අකුසලය නිසාය.

කෝසල මල්ලිකා බිසව තමන් ගෙනා දවල් ආහාරය බුදුරජාණන් වහන්සේට පූූජා කිරීමේ කුසල විපාකය නිසා ඒ ආත්ම භාවයේදීම කොසොල් රජතුමාගේ් අග බිසව වීමේ භාග්‍යය ලැබුවාය. ගෝපාල මාතාවට මහ රහතන් වහන්සේ කෙනෙකුට දානයක් පිදීමේ කුසල විපාකය මත උදේන රජතුමාගේ බිසව වීමට හැකිවිය.

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජ්‍යා ප්‍රමුඛ දේව පිරිසට අභිධර්මය දේශනා කරන අවස්ථාවේදී මුලින්ම බුදුන් වහන්සේ අසුන්ගත් ඉන්දික හා අංකුර දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගෙන් ඉන්දික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අබියසම සිටියදී මහේශාක්‍ය දෙවිවරුන් අසුන් ගනිද්දී ක්‍රමයෙන් පසුපසට යමින් යොදුන් 12000 ක් ඈතට යාමට අංකුර දිව්‍ය පුත්‍රයාට සිදුවිය. අංකුර දිව්‍ය පුත්‍රයා වසර 12ක් තිස්සේ සියලු වස්තුව යොදා ගනිමින් දන්සැල් පැවැත් වූ අයෙකි. ඉන්දික දිව්‍ය පුත්‍රයාට දෙව්ලොව යාමට ඉවහල් වූයේ රහතන් වහන්සේ නමකට එක් බත් හැන්දක් පමණක් ලැබීමට සැලැස්වීමෙනි.

දානානිශංස පිළිබඳ සීහල වත්ථු කථා, සහස්සවත්ථු කථා, රසවාහිණී ආදි ග්‍රන්ථවලද විවිධ කතා පුවත් දැක්වේ. මෙසේ බුදු දහමින් ලැබී ඇති ආභාෂය අනුව ආමිස දාන, අභය දාන, හා ධර්මදාන කෙරෙහි වඩ වඩාත් යොමුවීමෙන් මෙලොවදී ආයු, බල, සැප, වර්ණ හා ප්‍රඥා ලැබීමටත් සුගති සුව ලැබීමටත් සසර ගමන කෙටි කර ගැනීමටත් අදිටන් කර ගනිමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.