Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් අනුසස් ලද හැකි මහ පින්කම

බුද්ධ කාලයේ ඇරැඹුණු මෙම කඨින චීවර දානය, ථෙරවාද බෞද්ධ රටවල අද දක්වා ඉතා උසස් අන්දමින් සිදු කරගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාවේ පැරැණි බෞද්ධ රජවරු ද කඨින චීවර දානය ඉතා උසස් අන්දමින් සිදු කළ බවට ඓතිහාසික වාර්තා ඇත. පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ වෙනුවෙන් කඨින චීවර දානයක් දෙමි’යි කියා සිතා, එක් දිනකදීම කපු නෙළීම කැටීම ආදිය කොට, චීවර කර්මාන්ත කරවා කප්පිය ගරු භාණ්ඩ සමග අසූවක් කඨින චීවර අසූ තැනකදී පූජා කළේය.

මෙම වසරෙහි භික්‍ෂූන් වහන්සේ වස් සමාදන් වූයේ ජූලි 07 වනදා ය. එතැන් සිට පුරා තෙමසක් වස් කාලය විය. ඔක්තෝබර් මස 03 වන දා පෙර වස් පවාරණය සිදු කරති. එතැන් සිට එනම් නොවැම්බර් මස පසළොස්වක පොහොය දක්වා මාසය චීවර මාසය නමින් හැඳින්වෙයි. පෙර වස් සමාදන් වී, වස් කඩා නොගෙන ආරක්‍ෂා කළ, පෙර වස් පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂූන්ට මෙම චීවර මාසය තුළ කඨින චීවර ලබා ගැනීමේ අයිතිවාසිකම්, ධර්ම විනයානුකූ®ලව පැවරෙයි.

එක් කලෙක වස්සාන සෘතුවෙහි බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සමයෙක “පාවෙය්‍ය” රටේ විසූ තිස් නමක් පමණ සෝවාන්, සකදාගාමී අනාගාමී යන තුන් මඟ ඵල ලත් ආර්ය භික්‍ෂූන් වහන්සේ බුදුරදුන් දකිනු පිණිස සැවැත් නුවර බලා පිටත් වූහ. පා ගමනින් ගමන් කළ ඒ භික්ෂූන් වහන්සේට වස් එළඹෙන දිනය වන විට සැවැත් නුවරට ළගා වීමට නොහැකි විය. එබැවින් අතර මඟ යොදුනක් පමණ ඔබ්බෙහි වූ සාකේත නගරයේ දී වස් සමාදන් වූහ. වස් තුන් මස අවසන් වූ පසු වස් පවාරණය කොට සැවැත්නුවරට යාමට පිටත් වූහ. ඒ අතර ධාරානිපාත වාර්ෂාව වූ හෙයින් කැළඹුණු දිය බොර මඩ සහිත මාර්ගයෙහි තෙමීගෙන, තෙත් වූ සිවුරු වලින් යුතුව සැවැත් නුවර ජේතවනාරාමයට එළඹුණහ.

බුදුරදුන් සමීපයට එළඹුණු එම භික්‍ෂූන්ගෙන් බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේට ගමනේ දී කරදර හිරිහැර වූයේ නැති දැ’යි ඇසූ විට, එම භික්‍ෂූහු තම ගමන් මගෙහි දී වූ ධාරාණිපාත වර්ෂාව නිසා තමන් හැඳගෙන පෙරවගෙන සිටි සිවුරු තෙමී බොහෝ කරදර විඳින්නට සිදු වූ බව, බුදු රජාණන් වහන්සේට සැල කළහ. එවිට බුදුන් වහන්සේ උන්වහන්සේට අනමතග්ගිය දේශනාව වදාරා, මෙම කඨින චීවරය අනුදැන වදාළ සේක. අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්‍ඛුනං කඨිනං අත්ථරිතුං යනුවෙන් මහණනි, වස් විසූ භික්‍ෂූන්හට මම කඨිනයක් අනුදනිමි’යි විනය ප්‍රඥප්තියක් පනවා වදාළ සේක. මෙම කඨින චීවර දානය හැම බුදුරදුන් වහන්සේ නමක් විසින්ම අනුදැන වදාරන ලදී. එසේම එය මාස හතරක් පමණ ප්‍රතිපත්ති පුරා පරිහරණය කළ යුතු වටිනා වස්තුවකි. ඒ නිසා, කඨින චීවර පූජාව, කරන්නාටත් ලබන්නාටත් යන දෙදෙනාටම බොහෝ කුසල් සිදුවන පින්කමකි.ආනිශංස පහක් ලබාදීමට සමත් වන අර්ථයෙන් ස්ථිර යන අරුතින් ‘කඨින’ යනුවෙන් මෙම පින්කම හැඳින්වෙයි. එම අනුසස් වෙනත් තැනකට යා නොදී කඨිනයෙන් ම ලබා දෙන බැවින් ද කඨින නම් වෙයි. කඨිනය යනු, සිවුරක් සඳහා පනවා ගත් ප්‍රඥප්ති මාත්‍රයකි. ව්‍යවහාර වශයෙන් එය සිවුරකි. පරමාර්ථ වශයෙන් එහි පවත්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධාෂ්ඨකයයි. සීමා මාලකයක දී ඥත්තිය දෙවැනි කොට ඇති කර්ම වාක්‍යයකින් සුදුසු භික්‍ෂුවකට කඨිනාස්තරණය සඳහා දිය යුතු චීවරයක් බැවින් මෙහි විශේෂත්වයක් දක්නට ලැබෙයි.කඨින චීවරයක් පූජා කිරීම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා, සික්ඛමානා යන කෙනකුට හෝ දෙවියකුට හෝ කළ හැකි ය. දායකයා විසින් භික්‍ෂු සංඝයාට පිදීමේදී පැවසිය යුතු වාක්‍යය සහ සංඝයා විසින් කඨිනාස්තාරක භික්‍ෂුවට එය පැවරීමේදී කර්ම වාක්‍යය පැවසිය යුතු ආදී වාක්‍ය කීපයක් ඇත. මෙම වාක්‍යයකින් පූජා කිරීමට අපේක්ෂා කරන වස්ත්‍රය, සංඝාඨිය, (දෙපට සිවුර), උත්තරා සංඝය (තනිපට සිවුර) සහ අන්තරවාසකය (අඳනය) යන තුන් සිවුරෙන් එකකට පොහෝනා එකක් විය යුතු ය. චීවරයක් වශයෙන් සකස් නොකරන ලද වස්ත්‍රය වුව ද කඨින ‘සිවුර සඳහා පූජා කරන බැවින් “ කඨින චීවරං සංඝස්ස දෙම” කඨින සිවුර සඝනට දෙමු. යනුවෙන් කියා පූජා කිරීම, විනය සම්ප්‍රදාය වෙයි. සමහරු “ ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දෙම” මේ කඨින දුස්සය හෙවත් වස්ත්‍රය සංඝයාට දෙමු, යැයි කියා ද දෙති. දුස්සය යනු වස්ත්‍රයයි. කලින් මසා සකස් කරන ලද සිවුරක් ද සමහර විට දායකයන් විසින් කඨින සිවුරක් ලෙස පූජා කරනු ලැබේ. කලින් මසා සකසා ගත් සිවුරු, කඨිනයට සුදුසු නොවෙයි. නියම කඨින චීවරය යනු, දායකයන් විසින් සංඝයාට දෙන ලද කඨින චීවර යැයි කියන වස්ත්‍රය නොවේ. භික්‍ෂු සංඝයා විසින් කඨිනත්ථාරක භික්‍ෂුවට දෙන, නිමවන ලද චීවරයයි. කඨින චීවරය පවරනු ලැබූ භික්‍ෂුව විසින් පැරණි සිවුරු “පරික්ඛාර චෝළ” නාමයෙන් පච්චුද්ධරණය කොට හෙවත් අධිෂ්ඨානයන් ඉවත් කොට, කඨිනාස් තරණය කළ යුතු ය.

මේවා වාග් භේදයෙන්ම කළ යුතුයි. කඨින චීවරයක් සුවිසි මහා විපත් වලින් තොර විය යුතුයි. ඒවා විනය ග්‍රන්ථවල සඳහන්ව ඇත. කඨින චීවර පූජාවක් කළ හැකිවන්නේ වසරකට එක් වරක් පමණකි. එයද වසරේ එක් මාසයක් ඇතුළත පමණකි. එයද පෙරවස් සමාදන්ව පවාරණය කළ භික්‍ෂුවක් වෙත පමණකි. එසේම, එය පළමුව දායකයන් විසින් සංඝයාට ද පසුව සංඝයා විසින් සුදුසු භික්‍ෂුවකටද දිය යුතු ය. එදිනම කපා මසා පඬු පොවා සකස් කර ගත් එකක් ද විය යුතු ය. මේ ආදී බොහෝ නීති ඇති බැවින්, මෙය අතිශය දුර්ලභ ගණයේ ඉතා උසස් මහා පුණ්‍ය කර්මයක් ලෙස සලකනු ලැබෙයි. මෙවැනි කඨින චීවරයක් පසු නමකට නොඅඩු භික්‍ෂූන්හට සඟ සතු කොට පුද කළ යුතු ය. එවිට, එම භික්ෂූන් වහන්සේට – එම සිවුර - සිවුරු අඩුපාඩු ඇති භික්ෂු නමකට පැවරිය හැකි ය. එබඳු භික්‍ෂුවක් නැත්නම් සෑම භික්‍ෂුවකගේම කැමැත්ත ඇතිව පංච ආනිශංස හා අෂ්ට මාතෘකා දන්නා මහා ථෙර නමකට හෝ නවක හිමිවරුන්ගෙන් කෙනකුට දිය යුතු ය. එක භික්‍ෂු නමකට එක වාරයකට කඨින සිවුරු එකක් පමණක් ලබා ගත හැකි ය.

කඨින සිවුර ලත් භික්‍ෂු නමට වරප්‍රසාද පහක් හිමි වෙයි. මේ වරප්‍රසාද ලැබෙන්නේ ඉල් මස අවසානයේ පටන් මාස හතරක් එනම් මැදින් පුර පසළොස්වක දක්වා ය. ආරාමයක වසන භික්‍ෂූන්හට නොකියා එම භික්ෂුවට අරමින් පිටව යා හැකි ය . (අනාමන්තවාර) තුන් සිවුරෙන් තමන් කැමති සිවුරක් අරමෙහි තබා යා හැකි ය. (තිචීවර විප්පවාසය) අපේ බත පිළිගන්න යැයි දායකයන් විසින් හෝ අපට බත් දෙන්න’යි භික්‍ෂූන් විසින් හෝ කියා ලබන ආහාරය භික්ෂූන් වහන්සේට අකැපය. එහෙත් කඨිනත්ථාරය ලැබූ භික්‍ෂුවකට එසේ පිළිගැනීමට (ගණභෝජන) හැකි ය. දස දිනකට වඩා අතිරේක චීවර තබා ගැනීම නිසා වන ඇවත, කඨින චීවරය ලත් භික්‍ෂුවට සිදු නොවෙයි. (යාවදත්ත චීවර) කඨිනය අතුළ භික්‍ෂු නමකට අතිරේක වශයෙන් ලැබෙන සියලු පිරිකර, කඨිනානිශංස කාලය තුළදී ලබා ගැනීමට හැකිය. (චීවරුප්පාද)

කඨින චීවර පූජාව අට මහා පින්කම් අතර එකකි. මෙහි අනුසස්, මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවෙයි. මහ මෙර මෙන් මහ සුළඟට නොසැලෙයි. ඒක ඝන වජ්‍ර පර්වතය මෙන් නොබිඳිය හැකි වෙයි. ගරු කුසල කර්මයකි. නාගිත නම් තෙර කෙනෙක් පෙර ජාතියක කඨින සිවුරක් සඟනට පුදා ලද සැප සම්පත් මෙසේ සඳහන් කොට ඇත. “මම මෙයින් අනූ එක් කල්පයකට පෙර බුදු පාමොක් මහ සඟනට කඨිනයක් පිදුවෙමි. ඒ කුසල බලයෙන් මහා කල්ප තිහක් දුගතියකට නොපැමිණියෙමි. අටළොස් කල්පයක්ම දෙව්ලොව සිත් අලවා වාසය කළෙමි. තිස් හතර වාරයක් ශක්‍ර සම්පත් වින්දෙමි. එක් ඉඳි කටු ඇසකට තිස් හය වාරයක් බැගින් සක්විති සම්පත් ලැබුමට හේතු සම්පත් ඇති වුවත්, සසර එපමණ කල් නොසිටි හෙයින් අසූ හය වාරයක් සක්විති රජ සිරි වින්දෙමි. උපන් සෑම තැනකදීම කඨින දානයේ ආනිශංස වශයෙන් සියලු සම්පත් ලැබ, ඉතා සුව සේ කල් ගෙවුවෙමි. දෙව් මිනිස් දෙලොව හැර, කිසි දුගතියක නූපන්නෙමි. ක්‍ෂ්ත්‍රිය බ්‍රාහ්මණ දෙ කුලය හැර, අනික් කුලයක නූපන්නෙමි. මුළු පොළව සුදු කසී සළුවෙන් වසන්නට තරම් පොහොසත් කෙනකු වූයෙමි, මේ කඨින චීවර දානයේ ආනිශංසයෙන් මම දෙව්ලොව උපන් කල ;දවියන් අතරද, මනුලොව උපන් කල මිනිසුන් අතර ද ඉතා ප්‍රිය මනාප කෙනකු වූයෙමි. අවසාන වශයෙන් මම, එම කඨින චීවර දානයේ ආනිශංසයෙන් අමා මහ නිවන ද ලබා ගත්තෙමි’යි නාගිත හිමියෝ බුදුරදුන් ඉදිරියේ දී ප්‍රකාශ කළහ.

බුද්ධ කාලයේ ඇරැඹුණු මෙම කඨින චීවර දානය, ථෙරවාද බෞද්ධ රටවල අද දක්වා ඉතා උසස් අන්දමින් සිදු කරගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාවේ පැරැණි බෞද්ධ රජවරු ද කඨින චීවර දානය ඉතා උසස් අන්දමින් සිදු කළ බවට ඓතිහාසික වාර්තා ඇත. පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ වෙනුවෙන් කඨින චීවර දානයක් දෙමි’යි කියා සිතා, එක් දිනකදීම කපු නෙළීම කැටීම ආදිය කොට, චීවර කර්මාන්ත කරවා කප්පිය ගරු භාණ්ඩ සමග අසූවක් කඨින චීවර අසූ තැනකදී පූජා කළේය. එසේම කෝට්ටේ රාජධානියේ රජකම් කළ සයවන පරාක්‍රමබාහු මහ රජතුමා වසරක් පාසා රුහුණු, මායා, පිහිටි යන ත්‍රි සිංහලයෙහි මහා සංඝයා වහන්සේට කඨින චීවර පූජා කළේය. එතුමා තුන් දහස් හාරසිය තිස් දෙකක්ම කඨින චීවර පූජා කළ බව කියනු ලැබේ. දුටුගැමුණු මහ රජතුමා කඨින චීවර විසි හතරක් විසි හතර වාරයකදී පූජා කළ බව සඳහන් වෙයි. මහනුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා ද මේ අන්දමට කඨින චීවර පූජා කළහ. මේ කරුණු සැලකිල්ලට ගෙන සැදැහැ ඇත්තෝ මේ උදා වූ චීවර මාසයෙහි ඉතා සැදැහැයෙන් තිසරණ පන්සිල් රකිමින්, පොහෝ දින පෙහෙවස් ද රකිමින් මෙබඳු උතුම් පින්කම්වලට සම්බන්ධව දෙලෝ දියුණුව ඇති කරගැනීමට උත්සාහ ගත යුතු ය.

තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.