Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය නියෝජනය කරන උපදේශක කමිටුවක් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් පත් කළ අතර එහි පළමු සැසිවාරය පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවසේ දී පැවැත්විණි.
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි , රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරි වලේබොඩ ගුණසිරි හිමි, කෝට්ටේ සාමගී‍්‍ර සංඝ සභාවේ අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ අකුරැටියේ නන්ද හිමි, නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ අධ්‍යක්‍ෂ නාගොඩ අමරවංශ හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ රැසක් මෙම සැසිවාරයට සහභාගි වූහ. මිලින්ද මොරගොඩ මහතා සමග මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහත්වරු හා අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහුද එම අවස්ථාවට සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වෙයි. මෙහිදී සංඝාධිකරණ පනත හා කතිකාවත වැනි තීරණ ක්‍රියාත්මක වන තෙක් මහා සංඝ රත්නය වෙනුවෙන් විශේෂ සමථ මණ්ඩල ක්‍රමයක් ඇති කිරීමට යෝජනා වූ අතර, මාස තුනක් ඇතුළත සියලු නිකායයන් හා සංඝ සභාවලට එහි පසුබිම අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම් දී සාකච්ඡා කිරීමෙන් පසු එවැනි සමථ මණ්ඩල ස්ථාපිත කරන්නට සලකා බැලිය හැකි බවට තීරණය කෙරිණි.

ජාතික නාමල් උයන විසිවන සංවත්සරයට සමගාමීව ජතික නාමල්උයන ලොවට හඳුන්වාදීමට උරදුන් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් හට දීර්ඝායුෂ හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ චීවර පූජාව පසුගියදා හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී සිදු කැරිණි. එහිදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසින් පැන්වඩා පින් අනුමෝදන් කළ අයුරු.

නේපාලය ගැන ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත කරුණ වන්නේ සිදුහත් උපත සිදු වූ ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ වීමය. නේපාලයේ සෙසු ප්‍රදේශවල කරන ලද සංචාරයන්ගේ් විස්තර ඇතුළත් කරමින් දීපාල් සූරියආරච්චි විසින් රචිත ‘දෙවියන් දිවමන් බුදුන් උපන් රට’ කෘතියේ පිටපතක් ශ්‍රී ලංකාවේ නේපාල තානාපති දුර්ගා ජී. හත්තාරයි මහත්මා වෙත පසුගිය දා පිළිගන්වනු ලැබීය. ඒ අවස්ථාවට සුනේත්‍රා සූරියආරච්චි මහත්මියද සහභාගි වුවාය. ‘දෙවියන් දිවමන් බුදුන් උපන් රට’ සරසවි ප්‍රකාශනයකි.

පරිසර අමාත්‍යාංශය, තාරුණ්‍යයට හෙටක් වැඩසටහන සහ ටච්වූඩ් පදනම එක්ව ලෝකයේ ශීඝ්‍රයෙන් වඳවී යන ශාඛ අතර 3 වන ශාඛය වූ සඳුන් ගස රැක ගැනීම සඳහා අරඹා ඇති සඳුන් අරණ දීප ව්‍යාප්ත ව්‍යාපෘතියට සමගාමීව කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අරඹා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ විහාර භූමි තුළ සඳුන් පැළ 5000 ක් සිටුවීමේ වැඩසටහනට අනුව ගම්පහ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහලගම, විද්‍යාරවින්ද පිරිවෙන් විහාරස්ථාන භූමියේ රෝපණය කිරීම සඳහා සඳුන් පැළයක් අමාත්‍යවරයා, නියෝජනය කරමින් ඒ මහතාගේ මාධ්‍ය ලේකම් ඩී.ඒ. හෙට්ටිආරච්චි මහතා පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන හිමියන් වෙත පිරිනැමූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය – නිට්ටඹුව, සමූහ, ජෙනට් ජයසිංහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.