Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනගාරික ධර්මපාල තුමාගේ ජන්ම සමරුව දා දඹදිව දී උත්සව රැසක්

මහාබෝධි සමාගමේ නිර්මාතෘ අනගාරික ධර්‍මපාලතුමාගේ 145 වන ජන්ම ජයන්තිය 2009 සැප්තැම්බර් මස 17 දා අති උසස් අන්දමින් සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවතනාහිමියන් කටයුතු යොදා ඇත. ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ කල්කටාවේ ශ්‍රී ධර්මරාජික චේතියවිහාරය, බුද්ධගයාව, බරණැස ඉසිපතන මිගදාය, ලුම්බිණිය, කුසිනාරාව, නවදිල්ලි නුවර, ඔරිස්සාව, ලක්නව්, ආද්‍රා යන ස්ථානයන්හි අති උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ සිදුවන උත්සවය දාන, ශීල, භාවනා, තෑගි බෙදාදීම්, රෝගීන්ට ආහාර දීම් ආදියට අමතරව ජන්ම ජයන්ති සභාවක් සවස 05.00 ට සිදුවේ. එහි ප්‍රධාන අමුත්තා ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ජී.ජී.ඒ.ඩී.පාලිත ගනේගොඩ මැතිතුමාය. උත්සවයේ මුලසුන බුද්ධගයාවේ ජත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ මහාලේකම් ආචාර්ය වරසම්බෝධි ස්වාමින් වහන්සේය. ප්‍රධාන කථිකයා වාරාණසී සංස්කෘතික විශ්වවිද්‍යාලයේ ශ්‍රමණවිද්‍යා සංකායේ මහාචාර්ය බ්‍රහ්මදේව නාරායන් ශර්මා මැතිතුමාය. බරණැස ඉසිපතන මිගදාය මූලගන්‍ධකුටි විහාරයේ සිදුවන උත්සවයේ මුලසුන වාරාණසී සංස්කෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කුටුම්බ ශාස්ත්‍රී මැතිතුමාය. ප්‍රධාන කථිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාන්‍ධි ආජාද් මැතිතුමායි. ප්‍රධාන අමුත්තා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන සහ පූජාභූමි සංවර්ධන අමාත්‍යය රෝහන කුමාර දිසානායක මැතිතුමාය.

ධර්‍මපාල පා පන්දු තරගයේ ජයග්‍රාහකයින්ට තෑගි බෙදා දීමට අමතරව බුද්ධ පූජා, සංඝදාන සහ රෝගීන්ට කෑම බෙදාදීම ආදිය සිදුවේ. මෙදින උත්සව කටයුතු සඳහා සම්පූර්ණ බරපැන උසුලන්නේ ශ්‍රී ලංකාවේ පරමවිඥානාර්ථ සමාගම මගිනි. බුද්ධගයාවේ සිදුවන උත්සවයේ ප්‍රධාන අමුත්තා විනිශ්චයකාර අරුතාභ බරුවා මැතිතුමාය. ප්‍රධාන කථිකයා උතුරු ඉන්දීය රජයේ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේන්ද්‍රසිං මැතිතුමාය. උත්සවයේ මුලසුන රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය කෝ.ආනන්ද හිමියන් විසිනි. බුද්ධ පූජා, පෙරහර, සංස්කෘතික සංදර්ශන ආදී විශේෂාංග රැසකින් මෙකී උත්සවය සමන්විත වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.