Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැහැල්ලු බව, තණ්හාව අවම කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද භාවිත කළ හැකිවේ. තෘෂ්ණාව පාලනය කිරීම තුළ එය ක්ෂය කර ගැනීමේ මඟට ප්‍රවිෂ්ට වීමට පුද්ගලයාට හැකි වෙයි.

සමාජගත ජීවිතයක් ගත කරන සෑම පුද්ගලයෙකුගේම ඒකායන අපේක්‍ෂාව වන්නේ තමන් ගෙවන ජීවිතය සතුටින් සුවදායක ලෙස ගත කිරීමටයි. සෑම පුද්ගලයෙකුම සැපයට කැමැති බවත් සැපය අපේක්‍ෂා කරන බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. (සුඛ කාමානි භූතානි) මේ නිසා අප කරන සෑම ක්‍රියාවක ම අවසාන අපේක්‍ෂාව වන්නේ සැපයයි.

එහෙයින් පුද්ගල තරාතිරමකින් තොරව හැමදෙනාටම ඇති හැකි අයුරකින් සැපවත් ජීවිතයක් ගෙවීමට සෑම දෙනාම උත්සාහ කරයි.

බුදු දහම පෙන්වා දෙන්නේ සාමාන්‍ය පුහුදුන් පුද්ගලයා තෘප්තිමත් කිරීම දුෂ්කර කටයුත්තක් වන බවයි. (අතිත්තෝ) ඒ නිසා තම සැපය උදෙසා සීමාවකින් තොරව පහසුකම් රැස් කිරීමට පෙළඹීම පුද්ගලයා තුළ දැක ගත හැකි ස්වභාවික තත්ත්වයක් බව වටහා ගත යුතු ය. එහි එක්තරා ආකාරයක ධනාත්මක අගයක් ද දැකිය හැකි ය.

පුද්ගලයා ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නේත්, වඩාත් ඉහළ වැටුපකින් යුතු රැකියාවක් කරන්නේත්, ඉතා හොඳින් ධනය ඉපයිය හැකිය කියා විදේශගත වන්නේත් මෙම අවශ්‍යතාවන් සපුරා ගැනීම උදෙසායි. ඒවා වඩාත් යහපත් කර ගැනීම සඳහා යි. එසේ නැතිනම් වඩාත් හොඳින් ලබා ගැනීම සඳහායි. ලැබෙන වැටුප ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නොවන්නේය කියා උද්ඝෝෂණය කරන්නේත්, අදාළ තනතුරට වැටුප් නොගැළපෙන්නේය කියා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නේත් ඒ නිසාම ය. එමෙන්ම සිදු කරන හැම ව්‍යාපාරයක් ම සිදු කරන්නේත්, ඒවායේ අරමුණ ගොඩ නැඟී ඇත්තේත් සැපය කේන්ද්‍ර කරගෙනයි.එසේම නව තාක්‍ෂණය බිහි වන්නේත් පුද්ගල පහසුකම් වැඩිකර පුද්ගල ජීවිතය සුවදායී කරලීම පිණිස ය.

එසේ වූවත් ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින් තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අසීමිත ධනය රැස් කිරීමට ගන්නා උත්සාහයත්, අවශ්‍යතාවයකින් තොරව භාණ්ඩ පරිහරණය කරන්නට කටයුතු කිරීමත් තුළ ජනිත වන්නේ අසහනයයි. එම උත්සාහයේ සීමාව කොපමණද? කොතනකද? කියා කියන්නට නොහැකි වේ. ඒ නිසා සෑහීමකට පත් නොවීම තුළ සරල බව ඉක්මවා යයි. එමෙන්ම ජීවිතය සුවදායක කර ගැනීමේ ප්‍රයත්නය තුළ සැහැල්ලු බව බිඳ වැටේ නම්, එහි දී ගොඩනැඟෙන්නේ මානසික අසහනකාරීත්වයක් බව තේරුම් ගත යුතු ය.

සෑහීමට පත්වීම හා සැහැල්ලු බව තුළ මානසික සහනය ඇති වේ. එය ඇති වන්නේ තමාගේ සිත තුළ ඇති සතුට මුල් කරගෙනයි. ඒ සතුට සිත තුළ ඇති වූ විට ගොඩනැංවෙන සිතුවිලි සමබර වේ. තමාට කොතරම් පහසුකම් ලැබුණත් ඒවා වැඩි කර ගැනීමට හෝ අන් අයට ලබා නොදී තමාම සතු කර ගැනීමේ අපේක්‍ෂාව තම සිතෙන් බැහැර කරලයි. ඒ නිසා අති ධාවනකාරී බවකින් තොරව කටයුතු කිරීමේ සංයම බව පුද්ගල මනස තුළ නිර්මාණය වේ. ඒ නිසායි බුදුන් වහන්සේ සැහැල්ලු බව (සල්ලහුකවුත්ති) අතිශයින් අගය කරනු ලබන්නේ.

සැහැල්ලු බව ඉක්මවා සංකීර්ණත්වය කරා පුද්ගලයා ළංවන විට පුද්ගලයා සරල මානසික පීඩනයකින් පීඩා විඳියි. එම මානසික අසහනය කායික අසහන දක්වා පරිවර්තනය විය හැකි ය. මේ නිසා චාම් සරල බවකින් යුක්තව ජීවිතය සකස් කර ගන්නට කටයුතු කිරීම තුළ සතුට ඇතිවේ. බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සතුට පරම ධනය බවයි. (සංතුට්ඨි පරමං ධනං) සතුට ගොඩ නඟා ගත යුතු ආකාර තුනක් උන්වහන්සේ අවධාරණය කරන සේක. එනම්

01. යථා ලාභ – ලැබෙන දෙය හොඳ වුවද, නරක වුවද එය භාරගෙන නැවත නැවත ඒ පිළිබඳ නොසෙවීම තුළින් සෑහීමකට පත්වීම.
02. යථා බල – තමාට ඔරොත්තු දෙන පමණට ගැනීම හා ඔරොත්තු නොදෙන දේ ගැන නොසොයා සෑහීමකට පත්වීම.
03. යථා සාරුප්ප – තමාට ගැළපෙන දෙය පමණක් ගැනීම හා නොගැලපෙන දේ ගැන නොසෙවීම තුළින් සෑහීමකට පත් වීම.

මෙයින් බුදුන් වහන්සේ පුද්ගලයා තුළ සහනය ගොඩනඟා ගැනීම සඳහා මානසිකව වර්ධනය කරගත යුතු කරුණු 03 ක් පැහැදිලි කරන සේක. ඒ තුළින් උන්වහන්සේ පුද්ගල අක්‍රීය බව අපේක්‍ෂා නොකළ අතර මානසික සහනයෙන් යුතු පුද්ගල පිරිසක් නිර්මාණය කිරීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දුන්හ.

ඒ වගේම සැහැල්ලු බව, තණ්හාව අවම කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස ද භාවිත කළ හැකිවේ. තෘෂ්ණාව පාලනය කිරීම තුළ එය ක්ෂය කර ගැනීමේ මඟට ප්‍රවිෂ්ට වීමට පුද්ගලයාට හැකි වෙයි. තෘෂ්ණාව නිසා පුද්ගල සිත තුළ ජනිත වන සංකීර්ණමය සිතුවිලි ඔහුව කරදරයට පත් කරයි. අසහනකාරී බවට පත් කරයි. එය වර්ධනය වූ විට ශෝකයෙන් පීඩා විඳීමට, බියෙන් දුක් විඳීමට සිදුවෙයි. මේ නිසා ජීවිතයට සැහැල්ලුබව හුරු කිරීම තුළින් මානසික සහනයෙන් යුතු සරල සංයම ජීවිතයක් ගෙවීමට පුද්ගලයාට හැකිවේ. ඒ නිසා සරල දිවියක් ගෙවීමට අවශ්‍ය පසුබිම අප සෑම දෙනාම සකස්කර ගත යුතු වේ. එය මානසිකව සකස්කර ගත යුතු ධර්මතාවයක් බව ද සිහිතබා ගත යුතු වේ. ඒ වගේම රැස් කිරීමෙන් ලබා ගන්නා ලද මානසික තෘප්තියට වඩා ඉහළ තෘප්තියක් අත් හැරීමෙන් ලද හැකි බව ද ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු මය. සැහැල්ලු පැවැත්මක් ඇති කර ගැනීමට අසීරු පුද්ගලයන් පිළිබඳවද ධර්මයේ සඳහන් වේ. එහිදී එබදු පුද්ගලයන්ගේ ගති ලක්‍ෂණ කිහිපයක් ඛ්ඳුනා ගත හැකි ය. එනම්,

1. අත්‍රිච්ඡතා - තමාට කෙතරම් තිබුණත් එයින් සෑහීමකට පත් නොවී අනුන්ගේ සම්පත් ප්‍රාර්ථනා කිරීම මේ ලක්‍ෂණයෙන් යුතු පුද්ගලයන්ගේ ස්වභාවයයි. හැම විටම තමාට ලැබෙන දෙය අනුන් සමඟ සන්සන්දනය කිරීමටත්, තමාට ලැබෙන්නේ වටිනාකමින් අඩු දේ බවත්, අන් අයට ඉතා වටිනා දේ ලැබෙන බවත් සිතමින් හැම විටම සෘණාත්මක ලෙස කල්පනා කරමින් අතෘප්තිමත්ව අසහනයෙන් ජීවිතය ගත කරයි. මේ නිසා මෙබඳු ලක්‍ෂණ ඇති තැනැත්තා තුළ සැහැල්ලු බව කෙලෙසකවත් දැකිය හැකි නොවේ.

2. පාජිච්ඡතා - ලාභ අපේක්‍ෂාවෙන් නැති සුදුසුකම් පෙන්වීමත් එසේම යමක් භාර ගැනීමේ දී නැත්නම් එකතු කිරීමේ දී (මුදල් හෝ භාණ්ඩ) අකමැත්ත පෙන්වා යටිහිතින් බොහෝ බලාපොරොත්තු ඇතිකර ගැනීමත් මෙබන්දන්ගේ ලක්‍ෂණයයි.

3. මහිච්ඡතා - මේ අයගේ ස්වභාවය අධික ලාභය අපේක්‍ෂාවෙන් තමන් තුළ ඇති ගුණ ප්‍රදර්ශනය කිරීම හා ප්‍රචාරය කිරීමයි.

මේ නිසා මෙවැනි ගති ලක්‍ෂණ ඇත්තන් තෘප්තිමත් කිරීම ඉතා අසීරු, අපහසු කාර්යයක් වේ. මහා සාගරයට කෙතෙක් ජලය ගලා ගිය ද එය පිරී ඉතිරී නොයන්නා මෙන් අධික ලාභ අපේක්‍ෂාවෙන් යුතු තැනැත්තන්ගේ සිත් තෘප්තිමත් බවින් පිරී ඉතිරී නොයයි.

ඒ වගේම සමාජයේ ජීවත් වන අනික් පුද්ගලයන් අනුකරණය කිරීමට උත්සුක වන පුද්ගලයා ද සෑහීමට පත් නොවන්නකි. තමාට කෙතරම් ප්‍රමාණවත්ව තිබුණ ද ඊට වඩා වැඩි යමක් ඇති අයකු දුටු විට ඒ හා සමගාමී වන්නට යත්න දරයි. ආහාර පාන, ඇඳුම්, පැළඳුම්, නිවාස, වතුපිටි, යාන වාහන රැකියා යන මේ හැම දෙයකින්ම අන්‍යයන් හා සමාන වීමට හෝ ඊට වඩා වීමට ක්‍රියා කරයි. ඒ සඳහා අධිකව වෙහෙසෙයි. නමුත් ඒ කාර්යය අසාර්ථක වූ විට දොම්නස් සහගතව සන්තාපයෙන් අසහනයෙන් හා අතෘප්තිමත්ව ජීවිතය ගත කරයි. මේ නිසා නොලැබූ දේම ප්‍රාර්ථනා කරනවා මිස ලැබූ දේ පිළිබඳව සංතෘප්තියක් ගොඩනඟා ගැනීමට ක්‍රියා කරන්නේ නැත. එම නිසා එබඳු තැනැත්තන් මුළු ජීවිත කාලයම ගෙවා දමන්නේ අසතුටිනි. අතෘප්තියෙනි. අනුකරණයේ දී වඩාත් ප්‍රමුඛව මේ දේ සඳහා නැඹුරු වන්නේ තරුණ පිරිසයි. පුද්ගල ජීවිතයේ ඉතා වැදගත් සන්ධීය අවධිය තාරුණ්‍යයි. තරුණකම තුළ අනුකරණයට පෙළඹීම මගින් ඔවුන් තුළ ගොඩනැඟෙන්නේ ජීවන අතෘප්තියයි. ඔවුහු බොහෝ විට අනුකරණය කරන්නේ ජනපි‍්‍රය තලයේ පුද්ගල චරිත වල යම් යම් ගති ලක්‍ෂණයන් ය. එහෙත් මේ චරිත වල ගැඹුරක් හෝ යථාර්ථයක් ඔවුන්ට දැක ගත නොහැකි විට ඇති වන්නේ මානසික ඝට්ටනයකි. ඒ නිසා බොහෝ විට එය තරුණ අසහනය ලෙස හුවා දක්වයි.

නමුත් බෞද්ධ සමාජයේ තරුණයන් බුදුන් වහන්සේගේ, මහරහතන් වහන්සේගේ උත්තම ගති ස්වභාවයන් අනුකරණය කිරීමට උත්සුක වන්නේ නම් ඔවුන්ගේ ජීවිත තුළ ඇති කර ගත හැකි සහනය අප්‍රමාණය. මානසික සුවතාවය ඉතා ඉහළ ය. ඒ නිසා සැහැල්ලු බව ජීවිතයට පුරුදු පුහුණු කර ගත යුත්තේ තාරුණ්‍යයටත් පෙර කුඩා අවධියේ සිට ය. එවිට මුළු ජීවිතයම සහනශීලීව ගත කිරීමේ අවස්ථාව හැම දෙනෙකුටම හිමි වේ. එයින් සමාජයේ ගැටුම් අවම කර ගැනීමටත්, සහනශීලී සමාජයක් නිර්මාණය කර ගැනීමටත් අවස්ථාව උදා වේ. ඒ නිසා ලොකු කුඩා බවකින් තොරව සෑම දෙනාම සැහැල්ලු බව ජීවිතයට පුරුදු පුහුණු කරගත යුතු ය. බුදුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට එය පුද්ගල විභවතාවකි. නිවන් සාධනය අරමුණු කර ගත් පුද්ගලයා තුළ ගොඩනඟා ගත යුතු අත්ථ කුසලයකි. සැහැල්ලු බව ජීවිතය සඳහා හුරු කරවීමෙන් තරගකාරී අතෘප්ති සහගත, අසහනයෙන් යුතු ජීවිතයකින් වියුක්තව දැඩි තෘප්තිමත් බවින් හැම දෙනාටම ජීවිතය වින්දනය කළ හැකි වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.