Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විශ්වය හසුරුවන පංච නියාම ධර්ම

විශ්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉදප්පච්චයතා මූල ධර්මය අවබෝධවීමත් සමග හේතුඵල ධර්මතාවයට අනුව විශ්වයේ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාක්‍ෂියට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ දර්ශනය මගින් එතෙක් පැවති භාරතීය දෘෂ්ටි සිල්ල නිශ්ප්‍රභා විය. විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. ඒ අනුව උතු, බීජ, ධම්ම, චිත්ත හා කම්ම යන නියාම ධර්ම පහ මගින් සියලු සිද්ධි අර්ථ දැක්විය හැකිය.

කාලයෙන් නිරපේක්ෂ අවකාශය වනාහි නිරන්තර විපරිනාමයට පත්වන සිද්ධි සහ සංයුතිවලින් සැදුම් ලත් එකකි. එම සමස්තය නම් වූ විශ්වය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ථ, රස, ඕජා යන ශුද්ධාෂ්ටයෙන් (ක්‍ෂුද්‍රාෂ්ටයෙන්) සමන්විත රූප ධාතුව වෙයි. රුප්පනය වීම හෙවත් අනවරත විපරිනාමය එහි ප්‍රධාන ධර්මතාවය යි. ඒ විපරිනාමය ඉදප්පච්චයතා න්‍යායට යටත් ය. ධම්ම නියාමයෙන් පැහැදිලි කෙරෙන, ස්වභාවයෙන් සිදුවන ඒ සියල්ල ස්වභාව ධර්මය යි. ජීව අජීව සියල්ල ඒ යටතට සංගෘහිත වේ. සතර මහා ධාතුන්ගේ සමවායෙන් සැදුම්ලත් ඒ සියලු දේ තුළ කර්කෂ බව හෙවත් තද - මොළොක් බව, ගලායන, කැටි කෙරෙන බව, වැඩෙන දිරන බව හා හැකිළෙන පිම්ඹෙන බව යන සර්ව සාධාරණ ගුණ අඩුවැඩි සම වශයෙන් ඇත.

පස්, ගල්, කඳු ඇළ, දොළ, ගංගා, ඉර, සඳ තාරකා ආදී සියල්ල එක් ගොඩකටත්, ගස්වැල් හා සත්ත්ව සමූහය තවත් ගොඩකටත් ගෙන අජීව හා ජීව යන කොටස් දෙකකට මෙකී රූප ධාතු වලින් සැදුම් ලත් සමස්ත විශ්වය බෙදනු ලැබෙයි. ජීව හා අජීව දෙකේ වෙනස කුමක්ද? පස්, ගල්, ගංගා හා මැරුණු කොටස් ආදී සියලු අජීව අවිඤ්ඤාණක වස්තූන්හි අවස්ථා විපර්යාසයක් හා දිරායාමක් (ජරා) ප්‍රකට වුවත්, ඒවා සැදුම් ලත් රූප කලාපයන්ගෙන් නව රූප කලාපයන් බිහිවීමක් ප්‍රකට නොවේ. සංසේදජ සත්ත්ව උපත මේ ස්වභාවයට ප්‍රතිපක්ෂයයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් එය විඤ්ඤාණයේ එළඹීමක් මත සිදුවන්නකි. එසේ නැතිව අජීව අවිඤ්ඤාණක වස්තුවල ස්වභාවයක් නොවේ. ගල් කැටයක් යම් තැනක තබා වර්ෂ ගණනාවක් ඉක්ම ගිය විට බැලූවොත් එහි, එය තුළින්ම ජනනය වන වැඩීමක් දැකිය නොහැකිය. පදාර්ථයන් ගේ ක්‍ෂය වීමක් පමණක් දැකිය හැකිය. ඊට බලපාන ධර්මතාවය කුමක්ද? එක්කෝ සෘතු විපර්යාසය නිසා විය හැකිය. නැතහොත් එහිම ඇති තේජෝ ධාතුවේ ධර්මතාවය වන දිරා යාමේ අනිත්‍ය ලක්ෂණය නිසා විය හැකිය. එනිසා අවිඤ්ඤාණක අජීව වස්තූන්ගේ විපරිනාමයට පාදක වන්නේ උතු හා ධම්ම නියාම ධර්මයන් පමණක් බව පෙනේ.

අවිඤ්ඤාණක ජීව වස්තු ගණයට අයත් වන ගස් වැල් ආදියේ ස්වභාවය කුමක්ද? ඒවා කෙරෙහිද උතු හා ධම්ම නියාම ධර්මයන්ගේ බලපෑම පවතී. නමුත් අජීව වස්තුන්ගේ මෙන් නොව ඒවායේ රූප කලාපයන්ගේ් ක්‍ෂයවීමත්, ආහාර ප්‍රත්‍යයෙන් නව රූප කලාපයන් ගේ හට ගැනීමත් පවතී. යම් තැනෙක බීජයක් හෝ පැළයක් රෝපනය කළවිට, අනෙකුත් ප්‍රත්‍යයන් එළඹීමෙන් එහි වැඩීමක් හෙවත් නව රූප කලාපයන්ගේ හට ගැනීමක් ඇතිවෙයි. එය බීජ නියාම ධර්මතාවයයි. නමුත් මේ බීජ නියාම ධර්මය ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇති එකකි. මේ අනුව අවිඤ්ඤාණක ජීව වස්තූන්ගේ පැවැත්ම කෙරෙහි උතු, බීජ, ධම්ම යන නියාම ධර්ම තුනම බලපායි.

ඊළඟට වැදගත්ම ප්‍රභේදය වන්නේ සියලුම සත්ත්වයින් අයත්වන සවිඤ්ඤාණක ජීව වස්තූ®න් ය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස ඕජා ක්‍ෂුද්‍රාෂ්ටකයට සම්බන්ධ වන්නා වූ පස්වැනි බල ශක්තිය වන විඤ්ඤාණය සත්ත්වයෙකු නිර්මාණය කරයි. සත්ත්ව ශරීරයකින් විඤ්ඤාණය පහවූයේ ද එවිට එය අවිඤ්ඤාණක අජීව වස්තු ගණයට වැටෙයි. මළ සිරුරක් දිරාගිය දර කඩකට උපමා කෙරෙන්නේ එබැවිනි. කායානුපස්සනාවේ සයවැනි පබ්බයේ සිට දාහතරවැනි පබ්බය තෙක් වූ නව සීවථිකය (උද්ධුමාතක , විනීලක, විපුබ්බක ආදී අවස්ථා නවය) මගින් විස්තර කෙරෙන්නේ මේ ජරා ස්වභාවයයි. නිර්වාණ අවබෝධය පිණිස (නිබ්බානස්ස සච්ඡිකිරියාය) පවතින්නා වූ ඒකායන මාර්ගය (ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ) වන සතර සතිපට්ඨානයේ පළමුවැන්නද කායානුපස්සනාව යි. නව සීවථිකය අරබයා අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් විපස්සනාව වඩන්නාට මළ සිරුරක් කෙරෙහි උතු හා ධම්ම නියාම ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යභාවය අවබෝධ වන්නේ්ය.

දැන් අපට විමසා බැලීමට ශේෂව ඇත්තේ සවිඤ්ඤාණක සත්ත්වයාගේ ස්වභාවයයි. සත්ත්වයාගේ ඝන ශරීරය ද පෙර කී සියලු වස්තු මෙන්ම පඨවි ආදී ක්‍ෂුද්‍රාෂ්ටක සමවායෙන් වූ රූපකලාපයන්ගෙන් ම සෑදී ඇත. එබැවින් උතු, බීජ, ධම්ම යන නියාම ධර්මයන්ගේ බලපෑමට සත්ත්ව ශරීරය ද අයත් ය. එකී වස්තූ®න්ට සිදුවන සෑම විපරිනාමයක් ම සත්ත්ව ශරීරයට ද ඒකාන්තයෙන් ම සිදුවෙයි. ඒ අනුව සත්ත්වයාද ස්වභාව ධර්මයේ ම ඒකකයකි. මිනිසාද සත්ත්වයෙකි. මේ ශුද්ධ ධර්ම දර්ශනයට අනුව මිනිසා ද පෘථග්ජනයෙකු නොවේ. ස්වභාවයෙන්ම මිනිසා පෘථග්ජනයෙකුය යන අනිවාර්ය ලක්ෂණය ගනී නම් ඔහුට කවරදාකවත් පෘථග්ජන භාවයෙන් මිදිය නොහැකිය. නමුත් පෘථග්ජන කාණ්ඩයට මිනිසා (සත්ත්වයා) අද වැටෙන්නේ කුමක් නිසාද? සත්ත්වයා නිර්මාණය කරන පස්වැනි බලවේගය වූ විඤ්ඤාණය ඊට හේතු ප්‍රත්‍ය වෙයි. ඒ අනුව සියල්ලට ම පොදු වූ පෙර කී නියාම ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යතාවය ඉක්ම වූ ශක්ති සංස්කරණයක් විඤ්ඤාණය මගින් සිදුවන බව පැහැදිලිය. විඤ්ඤාණය මගින් සත්ත්වයා තවත් නියාම ධර්මයන් දෙකක පාලිතයෙකු බවට පත් කෙරයි. චිත්ත නියාමය හා කම්ම නියාමය යනු දෙකයි. මේ ධර්ම ද්වය අවිඤ්ඤාණක ජීව හෝ අජීව වෙනත් කිසිම වස්තුවකට බල නොපායි. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන ප්‍රසාද රූප පහවෙත උපදින විඤ්ඤාණය, චෛතසිකයන් ගේ ප්‍රත්‍යයෙන් කර්ම සිත්, විපාක සිත් හා ක්‍රියා සිත් බවට පෙරළෙයි. ඒ ස්වභාවය ධම්ම නියාම ලක්ෂණයයි. සත්ත්වයා සංසාරගත කරවන්නේ කර්ම සිත් මගිනි. එය කර්ම සිත්වල ස්වභාවය යි. කර්ම සිත් මගින් සත්ත්වයා උත්පත්ති භූමි තිස් එකෙන් කුමකට හෝ පමුණුවයි. කර්ම සිත නම් වූ හේතු සිතට ඵල සිත වන්නේ විපාක සිතයි. ඒ අනුව කර්මය විපාකය පිණිස එළවන බලවේගය කම්ම නියාමයයි.

මනුෂ්‍යයෙකු දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ සතර අපාගත වූවෙකු නිර්මාණය වනනේ කම්ම නියාම ධර්මයේ බලපෑමෙනි. එම සංස්කරණය සංඛාර නම් වෙයි. කම්ම නියාම ධර්මයෙහි පාලිතයෙකුව සිටින තාක් සත්ත්වයා සාංසාරිකයෙකු වෙයි. යම් දවසක යම් මොහොතක කම්ම නියාම ධර්මය විජයග්‍රහණය කොට මුලිනුපුටා අහෝසි කිරීමට කෙනෙකුට හැකි නම් හෝ සසර ගමන නිම කළා වෙයි. මෙහිදී ක්‍ෂය කෙරෙන්නේ නියාම ධර්මය නොව ඒ ධර්මතාවය ඇති කරවන්නා වූ හේතු පද්ධතියයි.

මේ ක්‍ෂය කිරීම කෙරෙන්නේ කෙසේද? ඒ ක්‍රමවේදය පැහැදිලි කරනු ලබන්නේ චිත්ත නියාම ධර්මය මගිනි. විශ්වයේ ඇති අති ප්‍රබලතම නියාම ධර්මය එයයි. භව පැවැත්ම හෙවත් සංසාරය සහ භව නිරෝධය හෙවත් නිවන යන දෙකම අපට ඇති උරුම දෙකකි. කාය, වචී, මනෝ වශයෙන් සියලු සංස්කාර රැස් කරවනු ලබන්නේ සිත මගිනි.

සිතට ඇති ඒ හැකියාව සර්වබලධාරී මැවුම් කරුවෙකුගේ බලපරාක්‍රමයෙන් ලත් එකක් නොව චිත්ත නියාම ධර්මයේ ස්වභාවයයි. සමථ විපස්සනා වශයෙන් සම්‍යක් වර්ධිත සිතකට සංස්කාර රැස්කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නතර කිරීමේ හැකියාවද චිත්ත නියාම ධර්මයේ සුවිශේෂ බලයකි. කර්ම රැස් කිරීමේ ක්‍රියාවලිය සහමුලින්ම එමගින් නැති කළ විට එයට තවත් කරන්නට දෙයක් ඉතිරිව නැත. නමුත් කයක් නැතිව සිතට නොවිසිය හැකි ධර්මතාවයට අනුව, තත් භවයේ කාය නිරෝධය වනතුරු සිත සුවසේ වෙසෙයි. එම ස්වභාවයේ සිත් ක්‍රියා සිත් නම් වේ. ඒ සිත් දරා සිටින්නා රහතන් වහන්සේ ය.

චිත්ත නියාම ධර්මය පිළිබඳ තවත් වැදගත් හෙළිදරව්වක් තථාගත ධර්මයෙන් අපට විවෘත කර දෙයි. ‘අසරීරං ගුහාසයං’ යනුවෙන් දැක්වෙන සිතට සමස්ත විශ්වයේ සියල්ල සමග සම්දන්ධ විය හැකිය. තවද අනෙකුත් සියලුම නියාම ධර්මයෙන් ස්වකීය පාලනයට ගත හැකි වීම චිත්ත නියාම ධර්මයේ සුවිශේෂ ලක්ෂණයකි. පරචිත්ත විජානන, දිබ්බසෝත, දිබ්බ චක්ඛු ආදී ඤාණ වශයෙන් දක්වා සිත් ගැන අප අසා ඇත. අවකාශය විනිවිද යන මෛත්‍රී චිත්ත ශක්තිය ගැන ධර්ම ස්පර්ෂය ලැබූ බෞද්ධයිනට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

එහෙත් ද්වේශ සිතට එසේ යාමට අවසරය නැත. මේ අනුව උතු ,බීජ ධම්ම, චිත්ත, කම්ම යන නියාම ධර්මයන් පහම සත්ත්වයාගේ පැවැත්මට හේතු ප්‍රත්‍යවෙයි. තවද චිත්ත කම්ම නියාම දෙකට අනුව භව චරනය සහ භව තරණය යන දෙකම සකස් කර ගත හැකි සත්ත්වයා මිනිසාය. මෙකී නියාම ධර්මතා සත්ත්වයා කෙරෙහි සමස්තයක් ලෙස බලපානවා මිස, ප්‍රතිශතයක් ලෙස ගෙන සියයට විස්සක් කර්ම නියාමයට වෙන් කර දැක්වෙන ගණිතමය පදනමකින් ඒවායේ ස්වභාවය ප්‍රමාණ කොට දැක්විය නොහැකිය යි සිතමි. එහෙත් සියල්ල කර්මයෙන් වේය යන්න බුදු දහම ප්‍රතික්ෂේප කරයි.

පහනක් දැක් වූ විට එහි දැල්ල, වර්ණය, ප්‍රමාණය, උණුසුම ආලෝකය යන සියල්ලම අපට අත් විඳිය හැකිය. පහත නිවී ගිය විට ඒ සියල්ලම අන්තර්ධාන වෙයි. එලෙසම බුද්ධ පරිනිර්වාණයේදී නොහොත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදී මෙකී නියාම ධර්මයන් සියල්ලම, පහන නිවී ගියා සේ, අහෝසි වෙත්.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.