Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නැගෙනහිර ඉන්දියාවේ හිරු දෙවොල නරඹන්නකුට යා හැකි ගමන් මාර්ග දෙකක් වෙයි. පූරි හරහා වූත් බුවනේෂ්වර් හරහාත් ඒ මාර්ග දෙක වැටී තිබේ. මෙයින් බුවනේෂ්වර් නරගයේ ප්‍රසිද්ධ දුම්රිය පළක් ඇති හෙයින් දුම්රියෙන් යාමට අදහස් කළෙමු.

බුද්ධ භූමිය වැඳපුදා ගත් පසු ගයා දුම්රිය පළින් බුවනේෂ්වර් යාමට ගත් තීරණය ක්ෂණික තීරණයක් විය. කලින් දුම්රිය අවසර පත් නොගෙන එවැනි දිගු වෙහෙසකර ගමනකට එළැඹීම නොකළ යුත්තකැයි ඉන්දියානු මිතුරන් අවවාද කළ මුත් ඒ ගමන කෙසේ හෝ යා යුතු විය. මන්ද එය දීර්ඝ කාලීන සිහිනයක් වූ හෙයිනි. උසස් පෙළ පංති වලදී බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව කියවා කවදා හෝ ඉටු කර ගත යුතු යැයි දුටු සිහිනය සැතැපුම් 1200 ක දුරින් අප කැඳවමින් සිටි හෙයිනි.

ජීවිතයේ පළමු වරට අනගාරික ධර්මපාලතුමා දෙවි කෙනකු යැයි සිතා සිතින් පිහිට ඉල්ලා රාත්‍රී 2 ට දුම්රියට නැග ගතිමු. (දුම්රිය අවසර පත් ගැනීම සඳහා රාත්‍රී දෙකක් බලා සිටින්නට සිදු විය) වායු සමනය කළ ශීඝ්‍රගාමී දුම්රියෙහි අසුන් නොවූයෙන් දුම්රිය වැසිකිළි අසල වූ රෙදි ගබඩාව භාර සේවකයාගේ අසුනෙහි වාඩි වන්නට මඳ වේලාවකට පසු ඔහු අවසර දුන්නේය. තවත් පැය භාගයකින් ළඟා වූ දුම්රිය පළේදී එක් අසුනක් ලැබුණු අතර තවත් පැයකින් දියණිය හා එකට අසුන් ගත හැකි වූයේ යුවළක් බැස ගිය හෙයිනි.

බිහාර් ප්‍රාන්තයට ආ ගමන මෙන් නොව ඔරික්සා ප්‍රාන්තයට යන ගමන සිත් බඳී. අලුයම් අරුණෙහි දැවටුණු කඳු වැටිද නිල් පැහැ කෙත් බිම් ද පෙනී නොපෙනී වහා පලා යයි. මද්දහනෙහි දුම්රිය බුවනේෂ්වරයට ළඟා විය යුතුව තිබූ නමුත් කිසිවකු රේල්පීලි මත දිවි පුදා තිබුණෙන් ගමනාන්තය වන විට අඳුරු වැටෙමින් තිබුණි. කාලය පිරිමසා ගත යුතුය. නන්නාඳුනන දේශයකට තරුණියක ද සමඟ රැයෙහි යන ගමන සුරක්ෂිත දැයි සිතිය යුතු විය. බුවනේෂ්වර් පුරයෙහි ඕනෑ තරම් ආරක්ෂිත නවාතැන් පළවල් ඇතිමුත් එහි නැවතී පසුවදා දහවල් මදුරාසි යන දුම්රියට පැමිණිය නොහැකි වනු ඇත. පිටත්විය යුතු යැයි සිත තීරණය කළ හෙයින් ලාබයට ත්‍රිරෝද රියක් කුලියට ගත ඛ්ැකිව තිබූ මුත් ඉන්දියානු රුපියල් පන්සීයක් ගෙවා ආරක්ෂිත කුලී රියකට නැගුණෙමු.

යම්තම් එළිය කරන ලද සුළු නගර වීදි හැරුණු කොට කිලෝ මීටර් 65 ක් පමණ වූ ඒ පැය දෙක තුනක ගමනේ අඳුරෙහි පරිසරය විඳ ගත වූයේ නාසයෙන් පමණි. කමත්වලින් ගලා ආවේ සුපුරුදු ඉන්දියානු තිරිඟු සුවඳ නොව අපේ ගමේ කමත්වල අලුත් වී හා ඉපනැලි වල සුවඳය. කුඩා එළියක් සහිත පැල්පතක මඤ්ඤාක්කා තැම්බෙන සුවඳ ද ඇදී එන ඉදුණු වැල වරකා සුවඳ ද ආගන්තුක ගමනේ බිය දුරලමින් නහයට දැනේ. විශ්වාසවන්ත රියැදුරු කී ලෙස නිදහස් වාතාශ්‍රය හැසිරෙන ලෙස සැලසුම් කරන ලද අඩු බිත්ති සහිත ලාබදායි පන්තාස් නිවාස ක්‍රමයේ තරු දෙකක හෝටලයකට අප රැගෙන යන ලදී.

කොනාරක් පිහිටා ඇත්තේ පූරි දිස්ත්‍රික්කයේ ය. අද පූරි නමින් හැඳින්වෙන්නේ දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා දන්ත යුවළ විසූ දන්ත පූරයයි. පූරි නගරය ඇත්තේ කොනාරක් සිට කිලෝමීටර් 35 ක දුරිනි. කොනාරක් දෙවොල සාදා ඇත්තේ ලංකාවේ දඹදෙණි යුගයට සමගාමීව 13 වන සියවසේ විසූ ගංගා වංශික නරසිම්හ දේව රජු විසිනි. කොනාරක් යන නම වැටී ඇත්තේ ද මේ දෙවොල නිසාය. කෝණ + අර්ක යන්නෙන් කෝණය ද අර්ක යන්නෙන් සූර්යා ද හැඳින්වේ. කොනාරක් අර්කාශේෂ්ත්‍ර යනුවෙන් ද හැඳින්වේ. නිර්මාණය වන්නේ රෝද සහ එහි ගරාදියි. සෑම රෝදයකටම දවාල හා රාත්‍රිය හැඟවෙන එළිය හා අඳුරු පැත්තක් තිබේ. අඩි 10 ක විශ්කම්භයක් ඇති මෙම රෝද 24 න් දවසේ පැය 24 නිරූපිතය. රෝද පට්ටමෙන් ඇතුළු වටය කුඩා ගල් බිංදු වලින් සමන්විත වේ. ගරාදි එක් කරන ගල් කඩ ඇණය මත ඇඟිල්ලක් තැබූ විට දවාලක නම් අතෙහි සෙවණැල්ල රෝදයෙහි එළිය අඩෙහි ද රැයෙහි නම් අඳුර ඇති අඩෙහි ද පතිත වේ. ඒ සෙවණැල්ල පතිත වන ආකාරය අනුව ඒ මොහොතෙහි වෙලාව ඔරලෝසු වෙලාවේ අන්තිම විනාඩියට ගණනය කළ හැකිය.

සියවස් 8 කට පෙර මේ දෙවොල වෙරළෙහි පිහිටි බවත් එහි ථූපයක මෙන් ගෝලාකාර වහලයක් තිබූ බවත් කියැවේ. එහි කාන්දම් බලය නිසා පෘතුගීසි නැව් විනාශ වූ හෙයින් ඒ වහලය වනසා ඇත. එහි වූ ප්‍රධාන හිරු පිළිමය පූරි නගරයට ගෙන යන ලදැයි කියැවේ. හිරු නගින මොහොතේ ප්‍රථම රැස් දහර සිප ගන්නා ලෙස ඒ පිළිමය නිර්මාණය කර තිබී ඇත. අද දක්නට ලැබෙන පිළිමද පිහිටුවා ඇත්තේ නගින හිරු සහ බහින හිරුගේ රැස් දහර පතිත වන ආකාරයෙනි.

හිරු උදයෙහි තම රථයෙන් සංචාරය අරඹන විට අතුරුදන් වන ඬශා කුමරිය ද අඳුර පලවා හරින්නට දුන්නක් අතින් ගත් ඌෂා කුමරිය ද හිරු දෙවියන්ගේ රියදුරු අරුණ ද පහළින් නිර්මාණය කොට තිබේ. සුරතල් මුහුණින් යුතු උදා හිරුගේ ළපටි තාරුණ්‍යයත් මද්දහන් හිරුගේ තෙදවත් බවත් පළ කැරෙන අතර බැස යන මහලු හිරුගේ හැකිළුණු දුක්ඛිත පෙනුම අපගේ සිත් සංවේගයෙන් පුරවයි.

දෙවොල හා වට හා පදනමෙහි බිත්ති වල සූර්යා ලෝකයෙන් ජීවය ලබන විශ්වයෙහි මිහිපිට සියලු දේ කැටයම් කොට තිබේ. කොටන, පොළන, සී සාන, ගොතන, දරුවන් වදන හා හදන මහලු කල සියල්ල හැරදා නික්මෙන මේ සියලු මිනිස් ක්‍රියාකාරකම් ද සියලුම ශිල්ප හා විද්‍යාවන්ට අදාළ දේ සංගීත භාණ්ඩ, සංගීත කලා ආදී සියල්ලම ද කැටයමට නගා ඇත. එසේම වාත්ස්‍යායනයන්ගේ කාමසූත්‍රය ඉක්මවන අම්මා මුතුන් කාලයෙහි නෑසු ලොව ඇතැයි සැලකෙන සියලුම කුණුහරුප ද (මෙයට වෙනත් වචනයක් නොදනිමි) ජීව ප්‍රමාණයෙන් හා කුඩා ප්‍රමාණයෙන් කැටයමට නගා ඇති අයුරු දක්නට ලැබේ.

ජනප්‍රවාදවලින් කියැවෙන්නේ දෙවොල සාදන ලද්දේ ක්‍රිෂ්්ණ දෙවියන්ගේ පුත් සම්බා විසින් බවය. ක්‍රිෂ්ණ දෙවියන් සිය බිරිය ජම්බාවතිය සමඟ දිය නාමින් සිටියදී සම්බා නාන තොටට ඇතුළු වීම නිසා කළ ශාපයෙන් පුතුට ලාදුරු වැළදී ඔහු සූර්ය දෙවියන් යැද ශාපය ඉවත් කොට ගෙන සුව වී කෘතඥතාව පුද කිරීම සඳහා මේ දෙවොල සෑදීලු. ඉතිහාසය කියන්නේ් මුස්ලිම් ආක්‍රමණිකයන් පළවා හැරීමට ලැබීම නිසා ගංගාවංශික නරසීම්හ දේවරජු විසින් හිරු පූජාවක් ලෙස නිර්මාණය කළ බවයි. කෙසේ වෙතත් මුළු ලොවම එකම නිර්මාණයකට ගත් විලාසය නම් ඇදහිය නොහැක්කකි. යොදාගත් තාක්ෂණය කෙතරම් විශිෂ්ටද කිවහොත් අකුණු සන්නායකයක් ද යොදා ගෙන ඇති අතර උදා හිරු ප්‍රථමයෙන් සිප ගන්නේ කොනාරක් බිමය. ඒ බිමෙහි මුළු දවස පුරාම හිරු දැකිය හැකිය. බෝග මණ්ඩපය මායා කෝවිල ආදී අතුරු නිර්මාණ ගසක් ද ඒ බිමෙහි ඇති අතර මුදල් ගෙවා නැරඹිය හැකි කෞතුකාගාරයක් ද වේ. කිලෝමීටර් 2 ක් පමණ නුදුරින් සම්බා දිය නාන ලදැයි සැලකෙන මුහුදු වෙරළට ද පැමිණිය හැකිය.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු කොනාරක් භාරතීය උරුමය පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස ද සැලකේ. මුළුමනින්ම ගලින් නිර්මිත කොනාරක් ලෝක පූජිත කලා කෙතකි.

බුවනේෂ්වර් නගරයේ සිට මෙන්ම පූරි සිට ද කොනාරක් දක්වා ඉතා විශිෂ්ට බස් සේවයක් තිබෙන බව අපට දැනගත හැකි වූයේ පසුවදායි. ගාස්තුව ඉන්දියානු රුපියල් 10 ක් වැනි සුළු මුදලකි. (එහෙත් මුදල් වටින්නේ හැම විටම නොවේ. සංචාරකයන්ට වඩා වටින්නේ කාලයයි)

කොනාරක් සිට බුවනේෂ්වර හරහා ආපසු එන ගමනේ පරිසරය සැබෑ නෙතින් විඳ ගත හැකි විය. කුඹුරුවලින් ද, පොල්, මඤ්ඤක්කා, කොස් ආදී ගසින් ද සෙවණ වූ ඒ පෙදෙස හරහා යන ගමන වැස්සකින් පසු දඹුල්ල හරහා යන්නාක් වැනිය. හේමමාලී කුමරියට මේ සමාන පාරිසරික අත්දැකීම පහසුවක් වන්නට ඇත. නැගෙනහිර ඔරික්සා ප්‍රාන්තයේ භූ විසමතා ද ලංකාවේ භූ විසමතාවලට නෑකම් කියයි. මගදී හමුවන පිප්ලි අති සුන්දර සිහින පුරවරයක් වන්නේ එහි වීදි දෙපස එල්ලා ඇති අපූරු අත්කම් නිසාය. කණ්ණාඩි අල්ලන ලද වෙසක් කූඩු වැනි ගෘහ අලංකරණ, අත්බෑග්, බඳපටි, පසුම්බි වැනි මේ හැම දෙයකටම කණ්ණාඩි අල්ලා තිබේ. බුත්සරණෙහි නාලාගිරි දමනය නරඹන්නට පැමිණිය වුන් හැඳි පැළැදි කණ්ණාඩි අව් රස් ගැසී දිලිණැයි විද්‍යාචක්‍රවර්ති පවසන්නේ මේ නිසා දැයි සිතේ. ලංකාවේ තරම් විශාල නැතත් කුඩා තරමේ වට්ටක්කා ගෙඩි තරමේ වූ පැණි වෑහෙන වරකා ගොඩවල් ද රුපියල් 5 කට ඕනෑ තරම් පොල් කුරුම්බා ද කිලෝව රුපියල් 200 කට වූ කජු ද ඇති පිප්ලි නගරය ඔරිස්සා ප්‍රාන්තය හා ලංකාව සමඟ ඇති නෑකම ඉඟි කරයි.

පෙරළා බුවනේෂ්වරයට එන ගමනේ නොසිතූ විරූ වාසනාවක් පහළ විය. ඒ නැගෙනහිර දිස්ත්‍රික්කයේ උණුසුම් දේශගුණයට නුහුරු සිහිල් පරිසරයක් හරහා පෙරළා එද්දීය. ඉඟුරු කැබැල්ලක් ද දෙහි බෑවක් ද සමඟ අත් යන්ත්‍රයෙන් මිරිකු දියනුමුසු සීතල මිහිරි උක් යුෂ වීදුරුවක් ද බී දුර්ලභ ඉන්දියානු අත්දැකීමක් වූ හෙයින් එහි කඳු මුදුනකින් දිස් වූ චෛත්‍යය බලන්ට යා යුතු යැයි ගත් තීරණය ජීවිතයේ වැදගත්ම තීරණයක් වූයේ එය චණ්ඩාශෝක රජ අවි අත්හැර අවිහිංසාවාදී බෞද්ධයකු වූ ස්ථානය වන හෙයිනි. ඒ ධවුල්පූර් පෙදෙසයි. චෛත්‍යය ගොඩනංවා ඇත්තේ ජපන් භික්ෂුවක විසිනි. එහි කොත වෙනුවට ඡත්‍ර 7 ක් නංවා ඇති අතර චෛත්‍යය ගර්භය ද සුපුරුදු ක්‍රමය වෙනස් වන්නේ ඒ වටා ඉපදීම බුදුවීම, දම්සක් පැවැත්වීම, පිරිනිවීම ආදිය ඇතුළට නෙරන ආකාරයෙන් නෙළා ඇති හෙයිනි. මිහින්තලය වැනි පඩිපෙළකින් නැගිය යුතු කඳු මුදුනෙහි දැකිය හැකි නෙත්පහන් කරවන රමණීය නිරාමිස සෞන්දර්යය රණකාමී අධිරාජ්‍යයකු නිරායුධ කොට දණ නමන්නට පෙළඹවීම පුදුමයක් නොවේ. අද එතැන විශ්ව ශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ. චන්ඩාශෝක අවි බිම තැබූ හෙයින් ද නැතහොත් එහි ස්වභාවිකව ඇති විශ්ව ශක්තියෙහි බලපෑම නිසා දැයි හරිහැටි නිශ්චය කළ නොහැකි මුත් ශාන්ත හිස් බවකින් තටු සලා ඉගිල්ලිය හැකි තරමේ නිදහස් ළය පිරී යන ආනන්දය නම් ඒ කඳු මුදුනට ළඟා වන කවරකුට හෝ අත්විඳිය හැකි යැයි සිතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.