Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්ෂූන් වහන්සේට සංගීතය පමණක් අකැප ඇයි?

කිසියම් ආගමක් හෝ දර්ශනයක් ජනතාවට සමීප කිරීමේදී අද දවසේ පවතින තරඟකාරි ජීවන රටාවට ගැළපෙන ලෙස එය සිදු කළ යුතු ය. එහිදී බහුතර ජනයා කැමති තැනකින් ආරම්භ කර අවශ්‍ය තැන දක්වා එම ජනතාව මෙහෙය විය යුතු ය. එනම් පිරිත් ශ්‍රවණය කිරීමට මැලිකමක් දක්වන ශ්‍රාවකයන් පවා සංගීතමය ලෙස ඇති ආගමික නිර්මාණ රසවිදීමට කැමති ය.

2009.08.23 දින ලක්බිම පුවත්පතේ මලවි බමුණුගම නමැත්තෙකු විසින් හෑගොඩ විපස්සි නමැති ස්වාමින්වහන්සේ සමග කළ සංවාදයක් ඇසුරින් භික්ෂූන් වහන්සේට සංගීතමය කටයුතුවලට සම්බන්ධ වීම අකැප යැයිද එය මහා ශාසනික අපරාධයක් ලෙසද තහවුරු කිරීමට යත්න දරා තිබිණි.

මෙය ලියන මා ලිපිය මගින් විවේචනයට ලක්වී ඇති භික්ෂූන් වහන්සේගේ සංගීත නිර්මාණ පරිශීලණය කර ඇති ශ්‍රාවකයෙක්මි. එම ලිපිය කියවීමෙන් මා තුළ ඇතිවූයේ දැඩි කලකිරීමකි. එයට හේතුව ශාසනය තුළ අද දවසේ මීට වඩා ක්ෂණිකව නිවැරැදි කළ යුතු වැරැදි ඉතා අධික ප්‍රමාණයක් පවතින මොහොතක කුමන ක්‍ෂේත්‍රයකින් හෝ ශාසනය වෙනුවෙන් ධනාත්මක යමක් සිදුකිරීමට තරුණ භික්ෂූන් වහන්සේ නමක් ගන්නා උත්සාහය ද්වේශ සහගත ලෙස තවත් භික්ෂුවක් විසින් හෙළාදැකීමයි. කළ යුතුව තිබුණේ එම ස්වාමින් වහන්සේගේ කටයුතු වල වැරැදි ඇත්නම් එය දෙස සානුකම්පිතව බලා එය නිවැරැදි කිරීමට හා එය වැඩිදියුණු කිරීම සඳහා කරන විවේචනයක් මිස එම තරුණ ස්වාමීන්වහන්සේගේ උත්සාහය පැළවුණු තැනම විනාශකිරීමට ගන්නා කුහක විවේචනයක් කිරීම නොවේ. එසේම ජන විඤ්ඥානයට දැඩිබලපෑමක් කළ හැකි මෙවැනි තේමා යටතේ පුවත්පළ කිරීමේදී පක්ෂග්‍රාහිත්වයකින් තොරව සැමගේම අදහස් ලබා ගනිමින් සමතුළිත ලෙස එම අදහස් සමාජ ගත කිරීම වගකීම් සහගත මාධ්‍යකින් ඉටුවිය යුතු යුතුකමකි.


බිබිලාදෙනියේ මහානාම හිමි

විපස්සි හිමියන්ගේ මූලික විවේචනයක්ව තිබුණේ මූලික වශයෙන්ම භික්ෂුවකට නැටුම් ගැයුම් වැයුම් අකැප බවයි. එහෙත් එම ලිපියේම තවත් තැනක භික්ෂූන් වහන්සේ විසින් චිත්‍ර කැටයම් වැනි කළා නිර්මාණ සිදුකිරීම වරදක් නොවන බවත්, ඒවා අනුමත කරන බවත් දක්වා තිබුණි. උන්වහන්සේගේ මෙම ප්‍රකාශ දෙකේ පවතින පරස්පරතාවය අබමල් රේණුවක තරම්වත් මොළේ ඇත්තෙකුට වැටහේ.

මාගේ අදහස නම් සංගීත අධ්‍යක්ෂණ කටයුතුවල යෙදෙන එම තරුණ භික්ෂුවත් එය විවේචනය කරන විපස්සි හිමියනුත් දෙදෙනාම මේ පවතින සමාජ ක්‍රමයේ නිර්මාණයන් බවයි. උන්වහන්සේලා දෙදෙනාම අඩුවැඩි වශයෙන් මෙම සමාජයේ බලපෑමට හසුව තිබේ. උන්වහන්සේලාට මෙම සමාජයෙන් වියුක්තව ජීවත් විය නොහැක. එසේම අද දවසේ අප පසුකරන මෙම යුගය බුදුන් දවස භාරතීය සමාජය තුළ හෝ මහින්දාගමනයෙන් මුල්කාලයේ ලාංකීය සමාජයේ පැවැති දාර්ශනික පිපාසාවෙන් ආධ්‍යාත්මික විමුක්තිය ගවේෂණය කිරීමට මුල්තැන ;දන සමාජයක් නොවේ. මෙය ලෞකික සැප සම්පත් වලට මුල්තැන දෙන ඒවා විවිධ මාධ්‍යන් තුළින් අගය කරන සංකීර්ණ සමාජයකි. එම නිසා සාමාන්‍ය සමාජ බුද්ධියක් ලෙස අද දවසේ ජීවත්වන භික්ෂුවගෙන් අතීත භික්ෂුවක් තුළ පැවැති ඇවතුම් පැවතුම් ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු නොවෙමු. ඒ කිසිවකුට පහසුවෙන් පවතින සමාජ ක්‍රමයට එරෙහිව උඩුගම් බලා යා නොහැකි නිසාවෙනි.

වැදගත් කාරණය නම් සංගීත කෘතියක් නිර්මාණය කිරීමේ මූලික පියවර කිහිපයක් වන පද රචනය සහ තනු නිර්මාණය භික්ෂුවක් විසින් සිදුකිරීම ගැටලුවක් නොවන බවයි. නමුත් සංගීත අධ්‍යක්ෂණය පමණක් මහා අපරාධයක් බව විපස්සි හිමියන් පවසයි. මෙයද දැඩි පරස්පරයක් ඇති ප්‍රකාශයකි. ඕනෑම කලාකෘතියක් සිදුකිරීමේදී එම නිර්මාණකරුවා තුළ ඊට පාදක වූ සංසිද්ධියට අනුව යම් කම්පනයක් ඇතිවේ. එය ඒ ආකාරයෙන්ම එම කලා කෘතිය පරිශීලනය කරන රසිකයාටද දැනවීමට ඇති හැකියාව කලාකරුවෙකු සතුව ඇති ප්‍රතිභාව වේ. නමුත් මාගේ දැනීමේ හැටියට ගීත රචනයක් සිදුකිරීමේදී ගීත රචකයෙකු තුළ මැවෙන චිත්තරූප සහ ජනිතවන චිත්තවේගයන් තරම් ප්‍රබල හැඟීමක් සංගීත අධ්‍යක්ෂවරයෙකුට ඇති නොවේ. එයට හේතුව ප්‍රධාන වශයෙන් ඔහු කටයුතු කරන්නේ නාද මාලාවන් සමග වන නිසාවෙනි.

ගීත රචනා කිරීම භික්ෂුවකට අකැප නොවන දෙයක් බව උන්වහන්සේ පැවසීමෙන් මට වැටහෙන්නේ ගීත රචනා කේෂ්ත්‍රය තුළ ලාංකීය බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ භික්ෂූන් වහන්සේ කිහිප නමක් අප රට තුළ සිටින නිසා උන්වහන්සේලා ඍජුව විවේචනය වේ යැයි බියක් විපස්සි හිමියන් තුළ ඇති බවයි. ඒ වෙනුවට තවමත් අංකුර අවදියේ සිටින කුඩා හිමි නමකට එරෙහිව විපස්සි හිමියන් විසින් එල්ල කරන විවේචනයේ මුගුරු ප්‍රහාරය දකින ඕනෑම කෙනෙකුට මතකයට නැගෙන්නේ “නිවටයා දුටුතැන එළුවාද නිකට පානා වැනි” ක්‍රියාවක් ලෙසය. විපස්සි හිමියන්ට අනුව එම භික්ෂූන් වහන්සේ ගේ උත්සාහය බරපතළ වරදක් වුවත් බුදු සමය සහ සංගීතයේ නව ප්‍රවණතා පිළිබඳ දන්නා බොහෝ බෞද්ධ ජනතාව එය සාධනීය උත්සාහයක් බවත් ඒ සඳහා ආශීර්වාද කරන බවත් පවසා තිබිණි. ඒ බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික බෞද්ධ පුවත්පතක් වන බුදුසරණ පුවත් පතේ කතුවැකියක් පවා පළකරමින් සාර්ථක කර තිබුණි. කිසියම් ආගමක් හෝ දර්ශනයක් ජනතාවට සමීප කිරීමේදී අද දවසේ පවතින තරගකාරි ජීවන රටාවට ගැළපෙන ලෙස එය සිදු කළ යුතුය. එහිදී බහුතර ජනයා කැමති තැනකින් ආරම්භ කර අවශ්‍ය තැන දක්වා එම ජනතාව මෙහෙය විය යුතුය.

එනම් පිරිත් ශ්‍රවණය කිරීමට මැලිකමක් දක්වන ශ්‍රාවකයන් පවා සංගීතමය ලෙස ඇති ආගමික නිර්මාණ රසවිදීමට කැමතිය. එම නිසා සංගීතය භාවිතා කරමින් වැඩිපිරිසක් වෙත දහම් පණිවිඩය රැගෙන ගොස් ඔවුන්ගේ සිත් සතන් ආධ්‍යාත්මිකව සුවපත් කිරීමට එම හිමියන් ගන්නා උත්සාහය වරදක් වන්නේ කෙසේද? භාවනාමය සංගීතය (Meditation Music) ආධ්‍යාත්මික සංගීතය (Spiritual Music) සේම සංගීතමය මානසික ප්‍රතිකාර (Music therapy) ආදිය සංගීතයේ නව භාවිතයන් ලෙස සංවර්ධනය කරමින් වඩාත් සුවපත් ජීවිතයක් ගොඩනැගීම සඳහා බොහෝ රටවල් භාවිතයට ගනී.(ශ්‍රී ලංකාව ඇතුළුව) මේ පිළිබඳව අවම අවබෝධයක් උන්වහන්සේ සතුව (හෑගොඩ විපස්සි හිමියන් ) පැවතියේ නම් මෙම විවේචනය මීට වඩා වෙනස් වනු ඇත. සංගීත අධ්‍යක්ෂණ කටයුතුවලට සම්බන්ධ එම භික්ෂූන් වහන්සේගේ නිර්මාණ ඇසුරු කිරීමෙන් සහ උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් මා හට හැඟී ගියේ උන්වහන්සේ , පවතින කසිකබල් සංගීත රැල්ලේ තවත් එක් කොටස්කරුවකු වීමට නොව ආධ්‍යාත්මික සංගීත ක්‍ෂේත්‍රයේ සංවර්ධනය තුළින් ලාංකීය මෙන්ම ලෝක බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා කිසියම් මෙහෙයක් සිදුකිරීමට උත්සාහ දරන බවය. ඒ තුළින් බුදු සමයටත් රටටත් ලෝකයටත් භික්ෂුවක් ලෙස තමාගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම ඉටු කිරීමටයි උන්වහන්සේ වෙහෙසෙන්නේ.

මෙය ලියන මාද එම තරුණ භික්ෂූන් වහන්සේ සම්බන්ධව සර්ව සුබවාදීව සිතන්නේ නැත. ඒ පෘථග්ජනයින් ලෙස අප සැමගෙන් වැරැදි සිදුවිය හැකි නිසාවෙනි. නමුත් මා ප්‍රකාශ කරන්නේ විපස්සි හිමියන්ට අනුව උන්වහන්සේ වරදක් සිදුකර ඇත්නම් ඒවා නිරපේක්ෂව නොව සාපේක්ෂව (යුගයට සාපේක්ෂව) සලකමින් ඒවා නිවැරැදි කරමින් ශාසනයේ දියුණුව සඳහා එවැනි භික්ෂූන්ගේ ශක්තිය හා නිපුණත්වය ප්‍රයෝජනයට ගන්නවාද නැත්නම් ඒ පිළිබඳව ද්වේශ සහගත විවේචන එල්ල කරමින් උන්වහන්සේලාගේ සිවුරු හැරයාමට කටයුතු සලස්වනවා ද යන්න සිතා බැලිය යුතු බවයි.

තෙරුවන් සරණයි

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.