Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
නුවණැති සත් පුරුෂයා ‘විචක්ඛණො දිට්ඨෙව, ධම්මෙ උභයෙන වඩ්ඪති’ යනුවෙන් ඔහු දෙලොවම ජයග්‍රාහී තැනැත්තෙකු වන්නේමය. මෙම සුවිශේෂ සත්පුරුෂ ගුණ දහමෙහි ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව හා ධන ධාන්‍ය, අඹුදරු නෑසියන් ගව මහිෂාදී සම්පත් ද ලැබ රාජානුග්‍රහය ද කීර්තිය ද ගුණවත් සත් පුරුෂයා උත්සාහයෙන් ලබාගන්නේ ය. (අං.නි. වඩ්ඩී සූත්‍රය)


ප්‍රශ්නය
ප්‍රාණඝාතය, පරපණ නැසීම බුදු දහමෙහි විකසිත වන්නේ තමා උපමානය වශයෙන් සලකා ‘අන්තුප්පනායික ධම්ම පරියාය’ වශයෙන් අවධාරිතවය. ප්‍රාණඝාත විරමණය පිළිබඳව බෞද්ධ ආකල්ප ඉහත සඳහන් ධර්මන්‍යාය ද ඇසුරු කරමින් පැහැදිලි කරන්න.


පොළොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමාව

පිළිතුර
සංයුක්ත නිකාය වෙළුද්වාර සූත්‍රාගත අනුවාදය අනුව ගැහැවියෙනි! තමා උපමානය වශයෙන් දක්වා ඇති දහම් නය අනුව මම මෙසේ නුවණින් මෙනෙහි කරයි. මම වනාහී ජීවත්වනු කැමැත්තෙමි. මරණයට අකමැත්තෙමි. දුක පිළිකෙව් කොට සුව කැමත්තෙමි. යමෙක් මගේ දිවි තොර කරන්නේ නම් මට එය දුක පිණිස වන අතර මට එය පි‍්‍රයමනාප ද නොවන්නේ ය. එසේ නම් අනෙකෙකුද මා මෙන්ම දිවි තොර කිරීම ඔහුට අපි‍්‍රය අමනාප දෙයක්ම වන්නේ ය. මෙසේ නුවණින් සලකා ප්‍රාණඝාතයෙන් වළකන්නේ ය.

පණිවායෙන් වෙන්වීමේ ගුණ තමා උපමානය වශයෙන් ප්‍රතිවේධය කළ ඔහු එහි ගුණ කියයි. ප්‍රාණඝාතයෙහි දූෂිත බව බුදුරජාණන් වහන්සේ විවරණය කොට ඇත්තේ. කරුණු දෙකක් කෙරෙහි විශේෂ සැලකිල්ල යොමු කරමිනි. එනම් අගැයුම්ශීලි අංශය සහ සිද්ධි වාචක අංශය යන සදාචාර ප්‍රස්තුත විෂය මූලික කොටගෙනයි. තමා උපමානය වශයෙන් ගෙන අනුන්ට හිංසා නොකළ යුතු ය. යන්න මෙහිදී අගැයුම් ශීලී අංශය වෙයි. එවන් තීරණයක් ගත යුත්තේ සියලු සතුන් දඬුවමට බියය. ජීවත් වීමට කැමැති ය. මරණයට අකමැති ය. සැප කැමතිය. දුකට අකමැතිය යන සිද්ධි වාචක අංශය පදනම් කොට ගෙනය.


ප්‍රශ්නය
උපතින් බටහිර දේශයක ජනිත වූවත් පෙරදිගට බෙහෙවින් ඇලුම් කළ සුප්‍රසිද්ධ කවියෙකු බුදුන් වහන්සේ දුටු අයුරුය මේ. බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්‍ෂයේ පිපුණු මලයි. මල පිපෙන්නේ අසීමිත ලක්‍ෂ සංඛ්‍යාත සියවස් ගණනකට පසුවයි. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත් ඇද හැලෙන දයාව නමැති මකරන්ධයෙනුත් ලෝකය ප්‍රමුදිත වෙයි. මේ අපරදිග සුප්‍රසිද්ධ කවියාගේ නම කුමක්ද? ඉහත සඳහන් පාඨය ඇතුළත් ග්‍රන්ථයේ නම කුමක්ද?

පිළිතුර
එඩ්වින් ආර්නෝලඩ් නමැති කවියාගේ (ආසියාවේ ආලෝකය) නම් බුද්ධ චරිත කාව්‍යයේ ඉහත සඳහන් පාඨය සඳහන්ව ඇත.


ප්‍රශ්නය
ඉපැරණි පුරාවිද්‍යා ගවේෂණ වලදී බෝධි සත්ව ප්‍රතිමා බොහොමයක් හමුවී තිබේ. විශේෂයෙන් අනුරාධපුර අභයගිරි සම්ප්‍රදායට අයත් විහාර රැසක එම බෝධිසත්ව ප්‍රතිමා හමුවී ඇත. හැඳින්වීමක් කරන්න.

පිළිතුර
අනුරාධපුර අභයගිරි පෙදෙසේ සන්නිපාත ශාලාව අසල තිබී හමුවූ බෝධිසත්ව ප්‍රතිමා දෙකක පාද කොටස් දෙකක් පමණක් සොයාගෙන තිබේ. ඒ හැර දිග්ගලට බටහිරින් ඇති ආරාමයේ ස්ථූපයට ඊසාන දිගින් විශාල ප්‍රතිමා ගෙය බෝධිසත්ව ප්‍රතිමා සඳහා වෙන්වූවක් සේ අනුමාන කළ හැකි ය. තවද අභය ගිරි ව්‍යාපෘතියේ කැණීම් වලින් බෝධි සත්වයන්ගේ යැයි සැලකිය හැකි ගල් පිළිමයක උඩකොටස හමුවිය. හිටි පිළිම සඳහා පද්මාසන එහි දක්නට ලැබෙයි. තවද බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණයෙහි විශාලතම ප්‍රතිමාව මොනරාගල දිස්ත්‍රික්කයේ දඹේ ගොඩදී හමු වී ඇත.


ප්‍රශ්නය
ඉපැරැණි කලාත්මක කෘතීන් අතර සඳකඩ පහණට හිමි වී ඇත්තේ අති විශේෂ ස්ථානයකි. වැදගත්ම සඳකඩ පහන් දෙක පිහිටා තිබෙන්නේ කුමන ප්‍රදේශයකද. ඒවායෙහි අන්තර්ගත සුවිශේෂත්වය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
අනුරාධපුර අභයගිරි පෙදෙසේ කලාත්මක විශිෂ්ටතම නිර්මාණ දෙකක් බටහිර දිගින් හමුවී ඇත. විශාල සඳකඩ පහන පංචාවාස ඒකකයේ මැද ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩිපෙල අවසානයෙහි දී හමුවෙයි. දෙවැන්න එතැනට වයඹ දෙසින් කඳු ගැටය මත ඇති බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැඟිල්ලේ දොරටුවෙහි පඩිපෙළ කෙළවර වෙයි. සඳකඩ පහන් නිර්මාණයේ ගිනිදැල්, සිව්පා පන්තිය, ලොකු ලියවැල හංස පන්තිය, කුඩාලිය වැල් මැද පද්මයද වෙයි.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ දඹදිව ඉදිපතන මිගදාය නම් වූ ඓතිහාසික පුදබිම පිළිබඳව කෙටි සටහනක් ලියන්න.

පිළිතුර
ධර්ම චක්‍ර ප්‍රවර්ත සූත්‍ර දේශනාව සිදු වූ ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදාය නම් වූ ඓතිහාසික ස්ථානය හඳුනාගැනීමට හැකිව තිබීම භාග්‍යයකි. එම ස්ථානය වර්තමානයෙහි හඳුන්වනු ලබන්නේ ‘සාරානාථ’ යන නාමයෙනි. ධර්ම යාත්‍රාවේ යෙදුණු අශෝක අධිරාජයා එම ස්ථානයට පැමිණ එහි ශිලාස්ථම්භයක් පිහිටවීය. ඉසිපතනයෙහි ධම්මික ස්ථූපය දම්සක් සූත්‍ර දේශනාව සිදු වූ ස්ථානය වශයෙන් සලකනු ලැබේ. අනගාරික ධර්මපාලතුමා විසින් ලඳු කැලෑ වලින් වටවී අබෞද්ධයන්ගේ අනාදරයට ලක්ව තිබූ සාරානාථය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට සිදුකළ නියාමක මෙහෙය අති විශාලය. මූලගන්ධකුටි විහාරය ඉදිකරවා පුරාවස්තු සුරක්‍ෂිත කොට එහි ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවමින් සිටි එතුමා අවසන් හුස්ම හෙලුවේද මෙම ස්ථානයෙහිදීමය. ප්‍රාග් බෞද්ධ යුගයේ පටන් නානාවිධ සෘෂීන්ගේ යෝග භූමියක් වූ හෙයින් ඉසිපතන නමින් ද සතුන්ගේ අභයභූමියක් වූ හෙයින් ‘මිගදාය’ යන නමින්ද ප්‍රකට බව බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ වලින් අනාවරණය වෙයි.

අඤ්ඤකොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග භික්‍ෂූන් ධර්මාභි සමය ලබා පැවිදි උපසම්පදා ලබා ගත් ශ්‍රේෂ්ඨ ස්ථානය මෙයයි. එයින් පැවිදි උපසම්පදා කර්මයේ පමණක් නොව බෞද්ධ භික්‍ෂු ශාසනයේ ආරම්භයද සිදු වූ ස්ථානය කසීරට බරණැස ඉසිපතන මිගදායයි. බුද්ධ ශාසනය වෙත පිරිස් ඇදී ඒ මේ ප්‍රවණතාව ඉසිපතනයෙන්ම සිදු වූ අතර උපාසක උපාසිකාවන් බිහි වී ශ්‍රාවක පිරිස් වර්ධනය වී ධර්ම ප්‍රචාරය ආරම්භ වූයේ ද ඉසිපතන මිගදායේ සිට ය.
 


ප්‍රශ්නය
මිනිසා විසින් කරනු ලබන (සංචෙතනික) (සිතින් සිතා) ක්‍රියා බුදු දහමෙහි කුසල හා අකුසල යන නිර්වචන දෙක යටතේ විවරණය කොට තිබේ. බෞද්ධ කර්මවාදී දේශනා පාඨයන් ඇසුරුකොට විවරණය කරන්න.

පිළිතුර
‘කර්ම’ යන වචනයෙහි තේරුම ක්‍රියාව යන්නයි. සිතා මතා කරන ඕනෑම කායික වාචසික හෝ මානසික ක්‍රියාවක් කර්ම ලෙස හඳින්විය හැකි ය. තුන් දොරින් කරන ක්‍රියා යන්නෙන් මේ සියල්ල ගැණේ. සියලු කුසල හා අකුසල ක්‍රියා කර්ම නම් වෙයි. චෙතනා පූර්වක හැම ක්‍රියාවකම ප්‍රධාන ලක්‍ෂණය වන්නේ ඵලාසක්ත භාවයයි. (විපාක දීමේ හැකියාවක් ඇති බව) එනම් කිසියම් ඵලයක් අපේක්‍ෂා කිරීමයි. එබඳු හැම ක්‍රියාවකටම සාධාරණ වූ අවස්ථා තුනක් දක්නට ලැබේ.

1. චේතනාව
2. ක්‍රියාව
3. විපාකය

කිසියම් ක්‍රියාවක් කිරීමට පළමුවෙන් සිතිය යුතුය. සිතීමෙන් අනතුරුව සිතූ දෙය ක්‍රියාවට නැංවෙයි. විපාකය ක්‍රියාවෙහි ප්‍රතිඵලයයි. මෙයින් චේතනාව (සිත) පෙර ගමනක යෙදෙයි. පසුව එන විපාකය පශ්චාත් ගාමී වෙයි. චේතනාව හා විපාකය අතර ක්‍රියාව වූ නිසා (චෙතනා + විපාක) අන්තර් ගාමී වෙයි. කුසලා කුසල කර්මයන්ගේ සමුදයට (හටගැනීමට) නිධාන තුනක් (මූලික හේතු) බුදුරජාණන් වහන්සේ වදාළහ. ලෝභ, දෝස, මෝහ යනුවෙන් අකුසල පක්‍ෂයට ද අලෝභ අදෝස අමෝහ යනුවෙන් කුසල පක්‍ෂයට ද දැක් වූයේ එම චේතනායි. මිනිසා විසින් ලෝභ - දෝස මෝහ යන චේතනා මූලික කරගෙන කරනු ලබන ක්‍රියා අකුසල (පව්, නරක) ක්‍රියා වූවත් ඒවායෙහි ඵලය දුක් වේදනාවක් බවත් පැහැදිලි කළහ. එසේම අලෝභ – අදෝස අමෝහ යන චේතනා මුල් කරගෙන කෙරෙන ක්‍රියා කුසල් හෙවත් (පින් යහපත්) ක්‍රියා බවත් ඒවායෙහි ඵලය ගෙවත් විපාකය සුවදායක බවත් බුදුරදුන් වදාළහ.


ප්‍රශ්නය
මිනිස් ලොව උපත ලද අයෙක් තමන් කළ කුසල කර්මයන්ගේ විපාක වශයෙන් මහ සම්පත් ඇති මහාසාර කුලවල උපත ලබන බව බෞද්ධ පොත පතෙහි සඳහන් වෙයි. මෙම මහා සාර කුල සඳහන් කරන්න.

පිළිතුර
මහාසාර කුල පහක් පෙළ දහමෙහි ඇතුළත් වෙයි.

1. ගෘහපති මහාසාර
2. බ්‍රාහ්මණ මහාසාර
3. ක්‍ෂත්‍රිය මහාසාර
4. ප්‍රදේශ මහාසාර
5. චක්‍රවර්ති මහාසාර

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.