Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ගැටලුවට විසඳුම ඔබ තුළ යි’

නරක සිතිවිලි නිසා ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ තහවුරු වන්නේ, දැඩි ලෝභය හෙවත් ආශාව, ද්‍රෝහීකම, ක්‍රෝධය ඊර්ෂ්‍යාව, මානය, කපටිකම, උඩගුකම යන ගති පැවතුම් ය. මෙම සිතිවිලි සිතක පහළ වේ නම්, එතැන යහපත් ක්‍රියාවක් සිදු වේ දැයි කල්පනා කළ හැකි ද? මෙබඳු සිතිවිලි පහළ වූ කල පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් පහළට ඇද වැටෙනවා මිස, උසස් වීමක් සිදු නොවේ.

ඔබට දුරකථනයෙන් කතා කොට යමෙක් බැණ වැදුණහොත් ඔබේ සිත කොතරම් සසල වන්නේ ද? ඔබ කොතරම් රත් වන්නේ ද? ඔබ ද පෙරලා බැණ නොවදින්නේ ද? ඔබ ඒ ඔස්සේ ගමන් කොට කොතරම් හිත දූෂණය කොට ගනී ද? කී දෙනෙකුට ඒ ගැන කියා ඔබේ පැත්තට යොමු කර ගැනීමට උත්සාහ කරන්නේ ද? නිකරුණේ මට අසවලා බැන්නේ මන්දැයි කී වරක් සිතන්නේ ද? මේ එක් සිදුවීමක් නිසා ඔබේ කටයුතු කොතරම් ප්‍රමාද වූයේ ද? සිත කෙතරම් දූෂිත වූයේ ද? සිතින් පිටවුණු සිතිවිලි කො තරම් විෂ සහිත ද?

සිතක ආවේගයක් පහළ වීමට බලපාන ප්‍රධාන කරුණු තුනක් පෙන්වා දිය හැකි ය. එනම්,

ලෝභ (ආශාව)
දෝෂ (තරහව)
මෝහ (මුළාව - මෝඩකම)

මෙම කාරණා තුන හේතු කොටගෙන චිත්තාවේග පහළ වෙයි. යම් තරුණයකුට යම් තරුණියක් කෙරෙහි මනාපයක් පැහැදීමක් ඕනෑකමක් ලෝභයක් ආශාවක් පහළ වූයේ නම්, ඔහු එය කුමන ආකාරයකින් හෝ ඇයට ප්‍රකාශ කිරීමට උත්සාහ ගනියි. ප්‍රකාශ කොට අභිප්‍රාය අසාර්ථක වූයේ නම් ක්‍රෝධය, හට ගනියි. පළිගැනීමට සිතයි. එයින් ඇතැම් විට මනුෂ්‍ය ඝාතන දක්වා දුර දිග ගොස් බන්ධනාගාරවල පවා වසන තත්ත්වයට පත් වෙයි. මෙබඳු සිදුවීම් කොතෙකුත් දක්නට ලැබේ. මේ ආදී ක්‍රමයට මනසට ගලා එනු ලබන චෛතසික සංකල්පවලින් චිත්ත අභ්‍යන්තරයෙහි ආවේග ක්‍රියාත්මක වෙයි. ඇතැම් ආවේග සති, මාස, අවුරුදු ගණන් ක්‍රියාත්මක වෙයි. එබඳු ආවේග පළිගැනීම් බද්ධ වෛරය දක්වා ගොස්, සංසාරයට පවා එකතුවෙයි. කාලි යකින්නී කතාන්තරය එවැනි බද්ධ වෛරයකට නිදසුනකි.

ධන ආවේගයක් පහළ වූ විට ඇතැම් මිනිස්සු ක්‍ෂණිකව යම් යම් ;ද් පරිත්‍යාග කිරීමට පෙළඹෙති. දාන මාන ආදී යහපත් කටයුතු කිරීම, අසරණයන්ට උදවු කිරීම, ආදී සමාජ සුභසිද්ධියට ඵලදායි ක්‍රියාවල නිරත වෙති. යහපත් ආවේග කොතරම් පහළ වුවත් ඉන් සමාජයට කිසි බාධාවක් නොවෙයි.

මනුෂ්‍ය ප්‍රජාව ලොව කොතැනක, සිටියත් ඔවුන්ගේ යහපත් හා අයහපත් ආවේගවල ස්භාවයෙහි වෙනසක් නැත. එයට ජාති, ආගම්, කුල, ගෝත්‍ර ආදී කිසි භේදයක් නැත. ඉංගී‍්‍රසි ජාතිකයාට, යුරෝපීය ජාතිකයාට අපි‍්‍රකානු ජාතිකයාට, සිංහල ජාතිකයාට, දෙමළ ජාතිකයාට කියා වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම වැනි සිතිවිලිවල වෙනසක් නැත. ක්‍රියා කරන ස්වභාවය එක් එක් කෙනාට වෙනස් වුවත්, සිතිවිල්ලේ ස්වභාවයෙහි වෙනසක් නොපෙනෙයි. ආවේග ක්‍රියාත්මක වන්නේ, අළු යට තිබෙන ගිනි පුපුරු මෙනි. ඒ සඳහා ඇතැම්විට විශාල කාල පරාසයක්ද ගත නොවෙයි. ඒවා ක්‍ෂණික ක්‍රියාත්මක වීම, ක්‍ෂණික ආවේග ලෙස ද හැඳින්වෙයි.

මජ්ක්‍ධිම නිකායෙහි විතක්ක සන්ඨාන සූත්‍රයෙහි ආවේග පාලනය කර ගන්නේ කෙසේ දැයි විස්තර වෙයි. ආවේග පාලනය නොකර ඒවාට රිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමට මඟ හරින්නේ නම් මහත් විනාශයක් සිදු වෙයි. එම නිසා සිතෙහි හට ගන්නා අභිප්‍රායන් සිතින්ම පාලනය කර ගැනීම බුද්ධිමත් ක්‍රියා මාර්ගය යි. ඉහත සඳහන් සූත්‍රයට අනුව පස් ආකාරයකට ආවේග පාලනය කළ හැකි බව කියැවෙයි.

යම් කිසි කෙනකුට ලෝභ සහගත, ද්වේශ සහගත, මෝහ සහගත, පවුකාර සිතක් පහළ වූයේ නම්, කළ යුතු වන්නේ එම අරමුණට වෙනස් වූ කුසල සහගත අරමුණ මෙනෙහි කිරීම යි. උදාහරණයක් ලෙස දක්ෂ වඩුවෙක් සියුම් ඇණයක් ගලවා දැමීම දැක්විය හැකිය. එය අන්‍ය නිමිත්ත පරිචය ලෙස දැක්වෙයි.

තවද යම් පුද්ගලයකුයට ලෝභ සහගත වූ ද, ද්වේශ සහගත වූ ද, මෝහ සහගත වූ ද යම් පව්කාර සිතිවිලි උපන් කල්හි, මේ කල්පනා අකුසල ය, මේ කල්පනා වැරැදි ය, මේවාහි විපාකය ආදීනවය දරුණුය ආදී වශයෙන් සිතා, බැහැර කළ යුතු ය. උදාහරණ ලෙස අලංකාරයට කැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හදිසියෙක් බලු කුණක් සර්ප කුණක් බෙල්ලේ වැටීමෙන් එය වහා ඉවත ලන්නාක් මෙන්, ඉවත් කළ යුතු ය. එය, ආදිනව ජරමය ලෙස විස්තර වෙයි.

යම් පුද්ගලයකුට එබඳු පවුකාර, ලෝභ සහගත, ද්වේෂ සහගත අකුසල සිතිවිලි තව තවත් උපදී නම්, ඔහු ඒවා ඇතිවීමේ මූල ස්වභාවය සෙවිය යුතු ය, එම මුල් හේතු සාධක මෙනෙහි කළ යුතු ය.

එවිට එම නරක නපුරු සිතිවිලි පහව යයි. එය චිතක්ක සන්ඨාන සූත්‍රයෙහි දක්වන්නේ ඉක්මනින් යන පුරුෂයෙක් මම කුමට ඉක්මනින් යන්නේදැයි සිතා සෙමින් යෑම වැනි වෙයි. මම කුමට සෙමින් යන්නේ දැයි සිතා හිඳ ගැනීම වැනි බව යි. මම කුමට හිඳගෙන සිටීදැයි සිතා වැතිරීම වැනි බව යි. මේ ආකාරයට යම් කිසි පුද්ගලයෙක් පහසු ඉරියවු සොයන්නාක් මෙන්, මෙනෙහි කරන්නාක් මෙන්, යම් කල්පනාවක මූලස්ථානය සොයන තැනැත්තා තුළ අකුසල චේතනා දුරුව යයි. එය විතර්ක මූල භේදය ලෙස විස්තර වෙයි.

යම් පුද්ගලයෙකුට ලෝභ සහගත වූ පවුකාර ලාමක සිතිවිලි උපදින්නේ නම්, එම තැනැත්තා මහත් වීර්යයෙන් කුසල් සිතින්, අකුසල් සිත මැඬලිය යුතු ය, පෙරැලිය යුතු ය, නැරඹිය යුතු ය. එවිට අකුසල් සිත පහව යයි. එය උපමාවකින් කියන්නේ නම් බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයකුගේ හිස හා කඳ හෝ ගෙන වෙලයි ද, ඔහුට එම පුරුෂයාගේ් ග්‍රහණයෙන් මිදීමට අපහසු වන්නා සේම, කුසල සිතින් අකුසල සිත මැඬලිය යුතු ය යන්නයි. එය අභිනිග්ගහණ පර්ඡය ලෙස විස්තර වේ.

මේ අනුව යම් පුද්ගලයෙක් තුළ උපදින අවේග පාලනය කළ හැකි බව විතක්කසන්ඨාණ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. මේ ආකාරයට විවිධ සූත්‍ර ධර්ම තුළ චිත්තාවේග පාලනය කරන ආකාරය උගන්වා ඇත. භාවනානුයෝගී පුද්ගලයකුට රාගාදී සිතිවිල්ලක් සිතට ගලා ආ ක්ෂණයෙන් පිළිකුල් භාවනාව අට්ඨී ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා... ආදී වශයෙන්) මෙනෙහි කිරීමෙන් එම සිතිවිල්ල පහව ගොස්, ප්‍රකෘති තත්ත්වයට පත්වීමට හැකි වෙයි.

පාදක සටහන්

සිංහල විශුද්ධි මාර්ගය
(පණ්ඩිත මාතර ශ්‍රී‍්‍රධර්ම වංශ හිමි)
සී.ස. මාතර වෙළෙන්දෝ (මුද්‍රණය 14, 15 පිටු)
ධම්ම පදය, යමක වග්ගය හා චිත්ත වග්ගය,
1 ගාථාව (පූජ්‍ය වැලිගම ඥාණරතන නා හිමි)
අභිධර්මය, චිත්ත කාණ්ඩය
මජ්ඣිම නිකාය, සාල්‍යෙයක සූත්‍රය
ධම්ම පදය, කාලි යක්කිනී නිදාන කථාව
මජ්ක්‍ධිම නිකාය, විතක්ක සන්ඨාන සූත්‍රය
(නැදිමාල සංස්කෘතික මධ්‍යස්ථාන මුද්‍රණය)
බෞද්ධ භාවනා ක්‍රම හා මනෝ චිකිත්සාව
(මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ)
මජ්ක්‍ධිම නිකාය, සබ්බාසව සූත්‍රය
(නැදිමාල සංස්කෘතික මධ්‍යස්ථාන මුද්‍රණය)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.