Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මනස නිරෝගී කරන භාවනාව

ඔබ කුමන භාවනාවකට යොමු වුවත්, ඒ සඳහා බුද්ධ දේශනා පිළිබඳ හොඳ වැටහීමක් ඔබට තිබිය යුතුම යි. ගොඩනැගිල්ලක් තනන විට ශක්තිමත් පදනමක් තිබිය යුතු යි. අන්න ඒ අකාරයට ම ඔබ භාවනාව ප්‍රගුණ කළ යුතු බුද්ධ භාෂිතය අනුව ම යි.

දැන් බුද්ධ දේශනා විදේශිකයන් අතර පවා ඉතා ප්‍රකට යි. ඒ ඒ අදාළ භාෂාවලින්, අදාළ ජනතාව මේවා වටහා ගත්තා යැයි කිසි කෙනකු කලබල විය යුතු නැහැ. බොහෝ විදේශිකයන් ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රිපිටකය කියවනවා. ඒ අය ත්‍රිපිටකය පාළියෙන් නො කියවා ඉංග්‍රීසියෙන් කියවනවා ය යන්න, ප්‍රශ්නයක් නො වේ. අප එය සිංහලෙන් වටහා ගැනීමත්, ඉන්දියාව් දී හින්දි බසින් ධර්මය කතා බස් කිරීමත් සිදු වනවා. මෙය දැන් අරුමයක් නො වේ. දැන් අපි ගත්තොත් අදාන්ච හාමුදුරුවෝ තායි භාෂාවෙන් දේශනා කළේ. පාලියෙන් නෙවෙයි නේ.

භාවනා පිළිබඳ සමාජයේ ප්‍රකට ව ඇති මිථ්‍යා අදහස් නිසා බොහෝ අය භාවනාවට බිය වී සිටිනවා. සමහරුන් ඉන්නවා ඇත්තට ම භාවනාවෙන් විපුල ප්‍රයෝජන ගත හැකි, සමාධියක් වඩවා ගත හැකි අය. එහෙත් මේ අනියත බිය නිසා භාවනාවට යොමු නො වී සිටිනවා. සමාජයේ හිස් මත කිහිපයක් නිසා මෙවැනි පුද්ගල කුසලතා අකාලයේ වැනසී යනවා.

සමහරුන් ඉන්නවා ජීවිතේට ම භාවනාවක් කරන්නේ නෑ. ඒ ගැන හිතන්නේවත් නැහැ. ඒ විතරක් නෙවේ භාවනාවක් කරන කෙනකුට කරන්න දෙන්නෙත් නෑ.

ඉතින් මෙවැන්නෙක් ක්‍රමයෙන් වයසට යනවා කියා හිතමු. එවිට ඔහුට සිදුවන්නේ කුමක් ද? ඔහු ගේ සිහිය, වීර්යය, ඥානය පිරිහෙනවා. ක්‍රමයෙන් වියපත් වෙද්දී මේවා කිසි විටෙක දියුණු වන්නේ නෑ නේ. මේ කෙනා නිරෝගී ව තුරුණු වියේ සිටි කාලයේ දී ඔහු මේවා දියුණු කළේ නැහැ. ඔහු දැන් තම ජීවිතයට සිදු කර ගෙන තිබෙන්නේ. සුඵපටු හානියක් නම් නොවෙයි. වියපත් වූ විට ඔහුට ඉතිරි වන්නේ මොනවා ද? ඔහු ජීවිතයේ දී ලද අත්දැකීම් පමණක් සෙවණැල්ලක් සේ ඔහු ගේ පසුපසින් පැමිණෙනවා පමණයි.

මං මෙතැන දී කැමැති යි, මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබට හෙළි කරන්නට. මෙරට ප්‍රමුඛ පෙළේ නීතිඥවරයකු ගේ ජීවිතයේ අවසාන අවස්ථාවේ දී ඔහුට පිරිත් දේශනා කරන්නට මම ගියා. ඒ කාලේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැතියා මට මතකයි. ඉතින් මා ඒ පුද්ගලයාට පිරිත් කියා අවසන් කළා විතරයි, ඔහු එතැන සිටි අයකුට කතා කොට ඇසුවා දැන් විකට් කීයක් ගියා ද කියලා. ඔහුට පිරිත් දේශනාවත් ඇහිලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩා විස්තරයක් විදියට යි. ඇත්තෙන් ම මෙය ඉතා ම සංවේග ජනක තත්ත්වයක්.

තවත් අත්දැකීමක් තිබෙනවා. එය තමයි වරක් ඈත පළාතක ගිය විටෙක එක්තරා දියණියක් මා වෙත ඇවිත් කීවා, ‘අනේ ස්වාමිනී, මගේ අම්මා අයහපත් උපතක් ලබන්නට යනවා. ඒ ගැන යමක් කරන්න’ කියා. මේ කියන වෙලාවේ දී ඇගේ මවු හිටියේ මරණාසන්න ව. ඒත් එම මව ඉතා ඇලුම් කළා මුදල්වලට. හැමදෙනා ම ඈට දෙන මුදල් ඈ ඇඳ යට, කොට්ටවල හංගලා තිබුණා. මං ඉතින් ඇයට කරුණු කියලා පිරිත් කීවා. හොඳ වෙලාවට, මේ මානසිකත්වය යටතේ ඈ මියැදුණේ නැහැ. මැරුණා නම් ඊට අනුකූ®ල තැනකට තමයි යන්නේ. මේ සියලු දේට හේතුව භාවනාවක් වශයෙන් සිත දියුණු නො කිරීමයි.

ධර්ම ශ්‍රවණයෙන් සතිපට්ඨානය අනුව සිත දියුණු කළ කෙනාට තමා තුළ උපදින අකුසල් වහා වැටහෙනවා. ‘එවිට ඒවා ප්‍රහාණය කිරීම පහසු යි. ඒත් මේ වැටහීම නැතිව යි බහුතරයක් දෙනා ජීවත් වන්නේ. ඉතින් පහුගිය දිනක එවැනි මවු කෙනෙක් රෝහලක් වෙත ගියා. ඒ අම්මා ගෙදරක ඉතා හොඳින් ජීවත් වූ කෙනෙක්. ඒත් ඒ වන විට ඇගේ තත්ත්වය බරපතල නිසා, වෛද්‍යවරුන් කීවා ඈ වහාම රෝහල් ගත කරන්නැයි කියා. ඈට ආහාර දෙන්නට තහනම් කළා. හැකි වුණේ බීම වර්ග බොන්න දෙන්න විතරයි. ඒත් ඈට ඕනෑ වුණා බත් කන්න. ඈ නිතර දරුවන්ගෙන් ඉල්ලා හිටියා බත් දෙන්න කියා. ඒත් ඒ ඉල්ලීම ඉටු වුණේ නෑ. මෙයින් ඈ තුළ ද්වේශය ඉපැදුණා. ඈ මරණාසන්න වුණේ ද්වේශයෙන් පීඩිත වූ සිතකින් යුතුව. ඈ ඒ අවස්ථාවේ කියා සිටියා, ඈට බත් නොදුන් අය ගෙන් පළිගන්නා බව.

ඉතින් ඈ මියැදුණා. යක්ෂණියක් ව ඉපිද ඇවිත් ඒ ගෙදර අයට හිංසා කරන්නට පටන් ගත්තා. ඈ, ඇගේ ජීවිත කාලයේ දී භාවනාවක් ප්‍රගුණ කර තිබුණා නම් , ඇගේ සිතේ අකුසල් උපදින විට ම වටහා ගැනීමේ ශක්තියක් ඇති වනවා. ජීවිතය ගැන අනවබෝධයෙන් ගත කරන අතරතුර මිනිසුන් භාවනාව ගැන විවිධ අදහස් පළ කරාවි. ඒත් අවසාන මොහොත ළඟා වන විට තමාට පිහිටට වෙනත් කිසි ම කෙනෙක් එන්නේ නෑ. ආවත් කරන්න පුඵවන් දෙයක් ඇත්තේත් නෑ.

භාවනාව තුළ ම යි කෙනකු ගේ සිහිය පිහිටන්නේ. කිසියම් හෙයකින් සිහිය නැතිවෙනවා නම්, ඒ භාවනාව වැරැදි එකක් බව ඔබ වටහා ගත යුතුයි.

එදිනෙදා ගිහි ජීවිතය ගත කරන අතර ම ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රම ඉදිරිපත් කරන ලෙසට යි, අප වෙත බොහෝ අය ලිපි යොමු කොට ඉල්ලා තිබුණේ. මේ අයට මුලින් ම කිව යුතු යමක් තිබෙනවා. එනම් ඔබ නො දන්නවා වන නමුත් ඔබට මේ සංසාර ගමනේ දී ඉතා වටිනා සම්පත්තියක් තමයි මේ උදා වී තිබෙන්නේ. මෙය ධර්මයේ දී හැඳින්වෙන්නේ ක්ෂණ සම්පත්තිය යන නමින්. එය පුද්ගලයකුට උදාවන දුර්ලභ වාසනාවක්. විශේෂ වශයෙන් සිතන්නට පුද්ගලයකු මෙවිට යොමු වනවා. එසේ සිතන්නට හැකි පුද්ගලයාට ධර්මය මුණ ගැසී, ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිවීම යි, ක්ෂණ සම්පත්තිය. මේ සම්පත්තිය අහිමි වීම නිසා ම තමයි, සංසාරයේ ගමන් කරන සත්වයින් දුකින් දුකට පත්වන්නේ, දුර්ලභ මිනිස් දිවියක් ලබා සිටින අප වටහා නො ගන්නා කරුණක් තමයි, මේ ආයු කාලය ඉතා වේගයෙන් ගෙවී යන බව. එවිට අත්වන අනිවාර්ය මරණයෙන් අනතුරුව අපට සිදුවන්නේ කුමක්ද?

ඉතින් මෙන්න මේ ආකාරයට විශාල පිනක් හේතුවෙන් දුර්ලභ ව ඔබ ලද මිනිස් භවය අර්ථවත් කරන්නේත්, සුවපත් කරන්නේත් භාවනාව යි. මිනිස් සිතක් මොන තරම් දියුණු කළ හැකි දැ’යි කියා බොහෝ දෙනකුට අවබෝධයක් නැහැ. එහෙත් මේ කාරණාව ඉතා හොඳින් ප්‍රායෝගික තලයකට ගෙන ආවේ බුදුරජාණන් වහන්සේ යි. ඉතින් ඒ විද්‍යාව අනුව අපටත් පු¼ඵවන් අපේ සිත් දියුණු කරන්නට. මෙය සිදු කළ හැකි වන්නේ භාවනාව අනුව යි. එහි දී බුද්ධ භාෂිතය ම මුල් තැන්හි ලා සලකාගෙන, භාවනාව ප්‍රගුණ කළ යුතුයි. භාවනාව පිළිබඳ වන එක් එක් පුද්ගලයන් ගේ මතිමතාන්තරවලින් නම්, ඔබ ගේ හිස පුරවාගන්නට එපා.

භාවනාවක් ප්‍රගුණ කිරීමට යොමු වූ විට ඔබ ගේ සිත වේගයෙන් දියුණු වන ආකාරය, ඔබට ම වටහා ගත හැකි යි. සිත දියුණු කිරීමේ විද්‍යාව ඇත්තේ අප භාග්‍යවතුන් වහන්සේ වෙත ම පමණයි. එම නිසා උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා සිතින්, පැහැදිලි පදනමක් මත පිහිටා, ඔබ ඔබ ගේ භාවනාව ඇරැඹිය යුතු යි.

මෙසේ භාවනාවකට යොමුවන ඔබට තිබිය යුතු ම තවත් ගුණාංගයක් නම් වීර්යය යි. නැතහොත් අධිෂ්ඨානය යි. බොහෝ විට කෙනෙක් භාවනාවට යොමු වී කෙටි කලක් ඇතුළත, ඒ පුද්ගලයා ගේ වීර්යය හීන වී යනු අපට දැකගත හැකි යි.

භාවනාව නිසා දියුණු වන සිත හේතුවෙන් ඔබ තුළ ගොඩ නැඟෙන මහා පෞරුෂය අභිමානය ගැන,ඔබ තුළ ම පැවැතිය යුතුයි මනා වැටහීමක්. මේ අවබෝධය, ඔබ ගේ අධිෂ්ඨානය ශක්තිමත් කරවීමට හේතුවක්.

මවිට ඔබේ සිතේ මෙතෙක් පැවැති ද්වේශය, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණ ඔබ වෙතින් ගිලිහී යනු ඔබට වැටහේවි. මේ හේතුවෙන් ම ඔබේ සිත තව දුරටත් සුවපත් වීමත්, සිතේ නිරන්තර සතුටක් පැවතීමත් වැළැක්විය නො හැකි යි.

අන් අය ගේ දියුණුව දැක සතුටු විය හැකි සිතක් ඔබට ඇති වේවි. මේ මුදිතාව, ඔබේ විශාල ජයග්‍රහණයක්. මේ තත්ත්වයට ඔබ පැමිණි විට ඔබේ සිත තව දුරටත් දියුණු කළ හැකි බව වටහා ගන්න.

භාවනාවක් ප්‍රගුණ කළ විට ඔබට ඔබේ මනස නිසි ලෙස හැසිරවීමේ හැකියාව ද ලැබේ. මේ ක්‍රමානුකූ®ල හැසිරවීම ඔස්සේ ඔබේ අභ්‍යන්තරය පාරිශුද්ධ බවට පත්වනවා. මෙයින් ඔබ සුවපත් වනවා. එසේ ම, භාවනාව නිසා ඔබ අධ්‍යාත්මිකව බලසම්පන්න තත්ත්වයකට පත්වනවා. එය ඔබේ ජීවිතයට සුවිශාල ශක්තියක්.

භාවනාවකට යොමු වීමට පෙර, ඔබ හොඳ සූදානමක සිටිය යුතු යි. ඔබේ සිත දියුණු කිරීමට අදාළ සියලු උපදෙස් බුද්ධ දේශනා තුළ පවතින බවට ඔබ තුළ වන වැටහීම, මෙහි දී ඉතා වැදගත්.

සමථ සහ විදර්ශනා වශයෙන්, භාවනාව දෙකොටසකි. මේ දෙකින් ම සිදුවන්නේ, ජීවතාවබෝධය යි. සමථ භාවනාවෙන් සිත දියුණු වෙද්දී, විදර්ශනාවෙන් ප්‍රඥාවයි වැඩෙන්නේ. සමථ භාවනා දියුණු කිරීමෙන් ඔබේ සිතේ විසිරීම නැති වී, සිත කර්මණ්‍ය වනවා. එයින්, යමක් අවබෝධ කර ගැනීමට සුදුසු තත්ත්වයට – ඔබ පත්වනවා.

යමක ඇත්ත ස්වභාවය දැකීමට විදර්ශනා භාවනාව උපකාරී වනවා. ඇත්ත වශයෙන් ම මේ දෙවර්ගය ම ඔබ ප්‍රගුණ කළ යුතු යි. ඊට පෙර ඔබේ ඉල්ලීම් ඉටු කරනු පිණිස කිසියම් සරල භාවනාවක් මෙවර අපි ඉදිරිපත් කරමු.

දැන් අප දන්නවා අපේ ජීවිත ගමනේ දී අපට ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, සැප, දුක් ආදී සියලු දේට මුහුණ දීමට සිදු වන බව. සාමාන්‍ය මිනිසා මේ හැම අවස්ථාවකදී ම ඉතා සතුටට හෝ දුකට පත්වන බව දක්නට ලැබෙනවා. එහෙත් මෙය ජීවිතවල පොදු ස්වභාවය බවත්, මේ සියලු අවස්ථාවල දී මැදහත් සිතින් පැවැතිය යුතු බවත් බොහෝ දෙනා වටහා ගෙන නැහැ. මේ සඳහා අප උපේක්ෂාව පුරුදු කළ යුතු යි. දුක් කරදර නිසා ඇතිවන පීඩාකාරී මානසිකත්වය, උපේක්ෂාව හුරු කළ පුද්ගලයකුට ඇති නොවේ. එසේ ම එවැන්නෙක් සැප, සතුට හේතුවෙන් උද්දාම වන්නේ ද නැත.

මෙසේ අටලෝ දහමින් කම්පා නො වීමට නම්, ඔබ ප්‍රගුණ කළ යුත්තේ උපේක්ෂා භාවනාව යි. මෙයින් ඔබට චිත්ත සමාධියක් ද ගොඩනඟා ගත හැකි ය.

ගිහි ජීවිත ගත කරන බහුතරයකට මේ භාවනාවෙන් විපුල ප්‍රයෝජන ලද හැකි බැවින්, මෙවර අපි ඒ භාවනාව විස්තර කරමු.

ඒ සඳහා,මේ පාඨ උගත යුතු වෙයි.

මම ලාභය නිසා සතුටු නොවෙම්වා
අලාභය නිසා දුක් නොවෙම්වා
ප්‍රශංසා නිසා සතුටු නොවෙම්වා
නින්දා නිසා දුක් නොවෙම්වා
යසස නිසා සතුටු නොවෙම්වා
අයස නිසා දුක් නොවෙම්වා
කායික සැපයෙන් සතුටු නොවෙම්වා
කායික දුකකින් දුක් නොවෙම්වා
මානසික සැපයෙන් සතුටු නොවෙම්වා
මානසික දුකකින් දුක් නොවෙම්වා
ශාන්ත සුවයට පත් වෙම්වා

මෙය, මම ආදී වශයෙන් පටන් ගෙන, මා මෙන් ම මාගේ නිවැසියෝ, අසල්වැසියෝ, ගම්වැසියෝ, නගර වැසියෝ, පළාත් වැසියෝ, රට වැසියෝ, ලෝකවාසීහු, සියලු ම සත්වයෝ... ආදී වශයෙන් මෙනෙහි කළ යුතු යි.

සාකච්ඡා කළේ තනූජා ධර්මපාල
‘සදහම් සිත් මල් යාය 11’ කෘතියෙනි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.