Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමෘද්ධියේ සොඳුරු මඟ

දෘෂ්ටි නොගෙන දාර්ශනික ඇසින් ලොව බලන්න.’ගොජ දමන ආශාව‘ හා ගිනිගන්නා වූ ද්වේශය නිසා යා යුතු නොයා යුතු මඟ නොහඳුනන මෝඩකම දහමින් සැනසුණු අයගේ ස්වභාවය නොවෙයි. මිනිසත්කම පාගාගෙන දහසක් දුර්ගුණ හැඟීම්වලට වහල් වූ මිනිසුන් රෝග කාරක බව ධර්මය දන්නා අය දනිති. චාම් දිවිපැවැත්ම අල්පේච්ඡතාවය, සංවේදී බව යනාදී යහපත් බෞද්ධ සාර ධර්ම මිනිසුන් තුළ වර්ධනය කරගත යුතුයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

“උට්ඨානවතො සතිමතො -
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්මජීවිනො -
අප්පමත්තස්ස යසෝහි වඩ්ඪති

පින්වත්නි,

අද අපි ජීවත්වන්නේ නැගී සිටිය යුතු උද්‍යෝගයෙන් පෙරට පැමිණ වාද භේද ඉවතලා සිහි බුද්ධියෙන් අපේ සියලු ප්‍රශ්න විසඳාගෙන මේරට සශ්‍රීකත්වය කරා යා යුතු කාල පරිච්ඡේදයකයි ඉතිහාසය අනුව ජවය අපට තිබෙනවා. විපත සැපත ලෙස සිතා උට්ඨාන වීර්යයෙන් නිදිගත් නෙතු හැර බලන්න.

එදා ‘එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් සොයාගෙන හෝ නැති අවධියක අමු මස් කමින් වස්ත්‍ර නැතිව මිනිසුන් කැලේ සතුන් මෙන් ජීවත් වූ කාලයේ අපි ‘ථූපාරාමය හැදුවා’ සාගර වගේ වැව් හැදුවා. ‘වැවයි දාගැබයි’ යන උදාර සංකල්පයට අනුව කුස පිරී සිත සැනසී සමඟියෙන් ජයගත්තා. උඩ බැලුවත්, යට බැලුවත් කෑමට අහර නැති දිය පොදක් නැති ඇතැම් රටවල අදත් ඇටසැකිළි සේ එහෙ මෙහෙ යන පණ නැති ‘ඒඩ්ස්’ වැනි මරණාන්තික අවස්ථාවල පසුවෙන මිනිසුන් ගැන සිතන විට මේ පින්බිම, මේ මිනිසුන්, මේ කලාගාරය, මේ අධ්‍යාත්මික සැනසිල්ල මේ හරිත වන උයන් දෙස බලා අපට සැනසීම සතුට කොපමණ අත්විඳිය හැකිදැයි සිතා බලන්න. අලසකම, උදාසීන ගති ජීවිතයට එක්කර නොගත යුතු මලානික චින්තනය අප රටේ තිබුණේ නැහැ. මත් පැන්, දුම්වැටි, මත්කුඩු ; මේවා රටක් ජාතියක් විනාශ කරන බටහිර පුරුදු කල්යල් බලා උත්සාහයෙන් කටයුතු කළොත්, අනුන්ට අතපා ජීවත් නොවී සිටින්නට හැකිවෙයි. උදාසීන මාවතේ කිසිදාක ඔබට සම්පත් ලද නොහැකියි.

පෞරුෂයෙන් පිරිහුණු ඇතැම් බෞද්ධ අය බුද්ධ දේශනා පිළිබඳ නිවැරැදි වැටහීමක් නැති නිසා ගුප්ත සංකල්පවල හිරවී බාහිර බලවේග පසු පස යාම විලාසිතාවක් වගේ. දුවන්නන් වාලේ දුවන දුටු ගමන් කලකිරෙන දුටු ගමන් පහදන එක බෞද්ධකම නොවෙයි. “පරිප්ලව පයාදස්ස පඤ්ඤානපරිපුරති”. ඉපිලෙන සැදැවන්තයින්ට ඥානය, බුද්ධිය කල්පනාව නැත.

බුද්ධ දේශනාව මිනිසා ‘කේන්ද්‍රකොට දෙසූ දහමක් ජීවිතයෙන් පිටස්තර දහමක් නැත. ඉරහඳ වගේ ප්‍රකට විශ්වාසය ඇදහීමට වඩා නුවණින් තමාම, ප්‍රත්‍යක්‍ෂයෙන් දතයුතුයි. ඒ සඳහම් මඟ මිථ්‍යා දෘෂ්ඨික ප්‍රතිපදා තුළින් යා නොහැකි ය. ආර්ය මාර්ගය, ආර්ය පර්යේෂණය බාහිර සමයන් තුළ නැත. ලාභ ප්‍රයෝජන තකා අනාර්ය මාර්ගයේ ගමන් කළත් මිථ්‍යා දෘෂ්ඨික නම් විමුක්ති සුවයක් නැත. ‘මිච්ඡා දිට්ඨි නාම පරම වජ්ජා’ මිසදිටු බව තරම් වැරැදීමක් වරදක් තවත් නැහැ. බෞද්ධකම කියන්නෙ කුමක් හෝ ආගමේ නාමයෙන් කිරීම නොව බුද්ධියෙන් තෝරා බේරාගත් නිවැරදි මඟකි.

බුදුරජාණන් වහන්සේ නොපෙනෙන දෙවියෙක් හෝ නොපෙනෙන බලයක් ඇති ගුප්ත චරිතයක් නොවෙයි. එසේම යාඥාව හා ආඥාව බැහැර කළා. ඒ නිර්මල දහම අදටත් ජීවමාන ශාස්තෘවරයෙකි. උන්වහන්සේගේ ශාස්තෘවූයේ ද ධර්මයයි. එය උත්තරීතරයි. අසමසමයි.

සුචරිතය මෙන්ම ප්‍රඥාවෙන් යථාර්ථය දකින සක්‍රීය හැකියාව මිනිසා තුළ පවතින බැවින් උත්සාහය ස්ථානෝචිත ප්‍රඥාව, මනා සිහිය අධිෂ්ඨානය තුළින් විශිෂ්ටත්වය කරා යා හැකි ය.

“දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ” දෘෂ්ටි නොගෙන දාර්ශනික ඇසින් ලොව බලන්න.’ගොජ දමන ආශාව‘ හා ගිනිගන්නා වූ ද්වේශය නිසා යා යුතු නොයා යුතු මඟ නොහඳුනන මෝඩකම දහමින් සැනසුණු අයගේ ස්වභාවය නොවෙයි. මිනිසත්කම පාගාගෙන දහසක් දුර්ගුණ හැඟීම්වලට වහල් වූ මිනිසුන් රෝග කාරක බව ධර්මය දන්නා අය දනිති. චාම් දිවිපැවැත්ම අල්පේච්ඡතාවය, සංවේදී බව යනාදී යහපත් බෞද්ධ සාර ධර්ම මිනිසුන් තුළ වර්ධනය කරගත යුතුයි.

ඉහත සඳහන් ගාථාවේ අදහස් වන යසස කුමක් ද? එය ඇති කරගන්නා මූලික කරුණු හතක් පෙන්වාදී ඇත. ‘යසස’ යනුවෙන් අදහස් කරන්නේ දියුණුවයි. අඩුවක් නැතිව තමාගේ බලාපොරොත්තු සියල්ල සමෘර්ධවීම තුළ ඇති සතුටයි. ‘ආධිපත්‍ය’ භෝගසම්පත්තිය, කීර්ති සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ඤාතිසම්පත්තිය, සම්මානය යන මේ කරුණු පරිපූර්ණත්වයයි.

මේවා නිකම් ඉබේ ලැබෙන්නෙ නැහැ. දෙවියන්ට යාතිකා ගීතිකා ගැයීමෙන් හෝ පෙර කර්මයෙන්ම ලැබෙනවායැයි සිතනවාට වඩා පුද්ගලයාගේ උට්ඨාන වීර්යය සිහිය, පිරිසුදු ක්‍රියා හා වචන නුවණැති බව සංවර පැවැත්ම ධාර්මික ජීවිතය අප්‍රමාදී බව යන සප්ත කරුණු විශේෂ වශයෙන් හේතුවන බව මේ ගාථාවේ අදහසයි.

‘නාචිතකයනෙතා පුරිසො මිසෙසමධිගච්ඡති’ නොසිතන්නා විශේෂත්වයකට නොපැමිණේ. සිතන අය ඉදිරියට නොසිතන අය එකම තැනක. එයයි ස්වභාවය. අද අපට ලැබී ඇති වපසරිය අවස්ථාව මොහොත ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම හැර ගුප්ත බලවේග පසුපස යාම තේරුමක් නැත. හැඟීම්වලට වහල්වුවහොත් මිනිසා තිරිසන් ස්වභාවයට ඇද වැටේ. අපට මිනිසත් බව ලැබුණේ තිරිසන් බවෙන් ‘ඔබ්බට යාමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

“උට්ඨානවතො” උට්ඨාන වීර්යය හෙවත් පුරුෂ බල පරාක්‍රමය දියුණුවට යොදා ගැනීමයි. වැරැදි දේට යොමුකළ වීර්යය, ‘මිච්ඡා ව්‍යායාමයයි. මිච්ඡා දිට්ඨිය පෙරටු කොට යන ගමන අසාර්ථකයි. සම්මා දිට්ඨිය පෙරටු කොට යන ගමන ප්‍රතිඵල සහිතයි. වෙහෙස මහන්සි වී උපයන ධනය පොදු පරමාර්ථ ඔස්සේ භුක්තිවිඳීම ප්‍රසංසනීයයි.

තරුණ ජවය හා හැමදෙනාගේම දුක නිවන්නට යොදා ගතහොත් සියලු ගැටුම් ප්‍රශ්න විසඳේවි. අපට බොහෝවිට අතීතය අමතක වෙනවා. එදා පැවති අවදානම දුක වේදනාව පසුකර ඇති මේ මොහොතේ ජාති, ආගම්, කුලමල, ප්‍රදේශ භේද ඉවතලා රටේ සමෘද්ධියට ඇපකැප විය යුතු ය.

සතිමතො, හොඳ සිහියෙන් එළඹෙන මොහොත සුපරීක්‍ෂාකාරීව ජීවත් විය යුතු ය. සුචිකම්මස්ස - පිරිසුදු කාය කර්ම, වචීකර්ම හෙවත් සතුන් මැරීම සොරකම් කිරීම, කාම මිථ්‍යාචාර සහ අයහපත් වචනයෙන් ජීවත්වීමය.

නිසම්මකාරීනො - නුවණින් විනිවිද දැකීමයි.

සඤ්ඤතස්ස ඉන්ද්‍රිය සංවරයන් ඒ අනුව විනය ගරුක බව අපට අවශ්‍යයි.

ධම්ම ජීවිනො - ධාර්මික ජීවිතය මත්ද්‍රව්‍ය, මත්කුඩු, මස් වෙළඳාම ආදී අධාර්මික නරක අශෝබන විපත් සලසන දෙයින් වෙන් වී සිටීමයි.

අප්පමත්තස්ස - අප්‍රමාදී බවයි. මේ ගාථාවේ සඳහන් සියලු, කරුණු ඕනෑම පුද්ගලයෙකු නගා සිටුවීමට ‘යසස’ පිණිස හේතු වේ.

චරිත ශක්තිය නොපසුබට වීර්ය, පිරිපුන් බව සියලු බාධක මැඩ පවත්වා ඉදිරියට යෑමේ ශක්තිය සමඟ බුද්ධි ශක්තිය සියුම් ක්‍රියාකාරීත්වය හා ජව සම්පන්න බව ප්‍රබල අරමුණු කරා ගමන් කරන ඕනෑම කෙනෙකු දිරිමත් කිරීමට හේතුවනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.