ඇහැලියගොඩ නගරයේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින්ද අවිස්සාවේල්ල රත්නපුර මහා මාර්ගයේ සිට කෙටි දුරකින් පිහිටි මාහර පුරාණ විහාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉපැරැණි පුද බිමකි. මෑත කාලයේ දී මෙම විහාරස්ථානය සබරගමු පළාත තුළ වැඩි ප්‍රසිද්ධියක් උසුලනුයේ දෛනික ‘බෝධිපූජා පැවැත්වීම’ පිළිබඳවය.
මෙහි විහාරාධිපතීත්වය ඉසිලූ පූජ්‍ය පනාවල සෝමරතන හිමිපාණන් විසින් අරඹන ලදුව උන්වහන්සේ අපවත්වීමෙන් පසු විහාරාධිපතීත්වයට පත් පූජ්‍ය අස්ගඟුලේ විමලරතන හිමිපාණන් විසින් දියුණු තත්ත්වයට පත් කළ ‘මාහර ශ්‍රී සෝමරතන දහම් පාසල’ මෙම විහාරස්ථාන බල ප්‍රදේශයේ බොදු දරු දැරියනට සදහම් තෝ තැන්නකි. විහාරස්ථානයේ ඉපැරැණි බවට සාධක වශයෙන් දැනට දක්නට ලැබෙන සෙල්මුවා ‘කැඳ ඔරුව‘, ‘ගල් ඒදණ්ඩ’ සහ විහාර ගෙය තුළ ඇඳ ඇති මහනුවර යුගයට නෑකම් කියන වටිනා සිතුවම් ද වෙයි. වෙල් එළියකට මුහුණලා තරමක කඳු ගැටයක් මත තේජස් ලීලාවෙන් වැජඹෙන බෝධීන් වහන්සේත්, වෙහෙරත, විහාර මන්දිරයත්, විහාරස්ථානය පරිපූර්ණ කරයි.
මාහර පුරාණ විහාරයේ වත්මන් දියුණුවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මාහර, වියලගොඩ සහ පොල්වත්ත යන විහාරත්‍රයාධිපති පූජ්‍ය අස්ගඟුලේ විමලරතන හිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ ඇප කැපවීමයි. මීට ඉහතදී රුපියල් ලක්‍ෂ පහක පමණ වියදමකින් බෝධීන් වහන්සේ වටා ‘රන් වැටක්’ ඉදි කරවූ උන්වහන්සේ ඉතා මෑතකදී අත ගැසුවේ වඩාත් බැරෑරුම් කර්තව්‍යයකට ය. ඒ දහ අට රියන් හිටි පිළිම වහන්සේ නමක් ඉදි කරවීමට ය.
ඉකුත්දා ගිහි පැවිදි ප්‍රභූන් සහ බොදුනුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ‘අනිමිසලෝචන පූජාව‘ විදහා දැක්වෙන එම බුදු, පිළිම වහන්සේගේ ‘නේත්‍ර ප්‍රතිෂ්ඨාපන’ පුණ්‍ය කර්මය සිදුවිණ. මෙම බුදු පිළිමය නිර්මාණය කිරීම සදහා වැය වූ මුදල රුපියල් ලක්‍ෂ 35 කි. අසරණ සරණ පතා බෝධි පූජා පැවැත්වීම වසර 35 ක් තිස්සේ දෛනිකවම සිදු කරන විමලරතන හිමියෝ සෑම බෝධි පූජාවක්ම අවසන රජයට, ත්‍රිවිධ හමුදාවට රටට සහ ජනතාවට සෙත් පැතීමට ද අමතක නොකරති.
|
|||||||
|
©
2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම |