Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ධර්මදූත සේවා පෝෂණය අරමුණු කරගත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අභ්‍යන්තර සිසුන් සඳහා මෙන් ම බාහිර සිසුන් සඳහා ද පාඨමාලා ගණනාවක් පවත්වාගෙන යනු ලැබේ. දේශීය මෙන් ම විදේශීය සිසුන්ට ද අධ්‍යාපන කටයුතු සඳහා දොරටු විවෘත වී ඇති අතර, දැනට විදේශීය සිසුන් 180 ක් පමණ ඉගෙනීම් කටයුතු කරන අතර, මෙරට වැඩි ම විදේශීය සිසුන් ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය ලබන මෙරට විශ්වවිද්‍යාලය පද්ධතිය තුළ ඇති එක ම විශ්වවිද්‍යාලය වේ. විදේශ රටවල ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතන පිහිටුවමින් සිය පාඨමාලා තුළින් බුදුදහම හා පාලි භාෂාව ප්‍රචලිත කිරීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වෙනත් විශ්වවිද්‍යාලය මෙන් උපාධි පාඨමාලා පැවැත්වීමේ අරමුණෙන් ම පිහිට වූ ආයතනයක් නොවේ. ජාතික වශයෙන් මෙන් ම අන්තර් ජාතික වශයෙන් වැදගත්, එමෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලය පද්ධතියේ ද සාමාජිකත්වය උසුලන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාලය පද්ධතිය තුළ සුවිශේෂ වූ භූමිකාවක නිරත ව සිටින විශ්වවිද්‍යාලයකි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දහසය වැනි උපාධි ප්‍රදානෝත්සවය කොළඹ 07 බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේ දී 2009.08.21 දින පැවැත්වේ. මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී දේශීය මෙන් ම විදේශීය සිසුන් 617 ක සංඛ්‍යාවක් උපාධි ලැබීමට නියමිත ව ඇත.

දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල දී සිය කාලය, ශ්‍රමය කැපකරමින් චිරාත් කාලයක සිට ඒ පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රකාශන පළ කිරීම වෙනුවෙන් මෙවර සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධිය සිංගප්පූරුවේ වැඩ වෙසෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශවවිද්‍යාලයට අනුබද්ධිත බෞද්ධ හා පාලි සිංගප්පූරු කොලීජියේ ආයතනාධිපති පූජ්‍ය ආචාර්ය පාතෙගම ඥානාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ප්‍රදානය කිරීම ද සුවිශේෂී සිද්ධියකි. එමෙන් ම හෙළ බසට මෙන් ම පාලි, සංස්කෘත භාෂා පෝෂණයට සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් ඒ තුළින් විශාල උගතුන් පිරිසක් බිහිකිරීමට නැණ පහන් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විමල් ජී.බලගල්ල මැතිඳුන්ට ද මෙවර සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන උපාධියක් පිරිනැමීම දේශයේ අනන්‍යතාවය රැකීමට ගත් සුවිශේෂී පියවරකි.

මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමෙහි ලා සුවිශේෂ වූ කාර්යභාරයක නියැලුණු ගෞරවාර්හ මහාචාර්ය වල්පොල රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, මෙහි ප්‍රථම මහෝපාධ්‍යාය ගෞරවාර්හ ආචාර්ය කාක්කපල්ලියේ ශ්‍රී අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, අගමැති රණසිංහ ප්‍රේමදාස යන මැතිතුමන්ලාත් ඉටු කළ සේවාව මේ අවස්ථාවේ දී ඉමහත් කෘතවේදී ව සිහිපත් කළ යුතු වේ.

ජීවන මාර්ගවලින් උපයාගත් ධනය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරණ සිසුන්ගේ නැණ පහන දැල්වීමට දායක වූ ත්‍යාගශීලීන් ද ඉතා මත් කෘතවේදී ව සිහිපත් කළ යුතු වේ. සිය අධ්‍යාපන ක්‍ෂේත්‍රවලින් විශිෂ්ට දස්කම් දක්වන ලද ගිහි පැවිදි සිසුන්ට ත්‍යාග ප්‍රදානය සිදුවීම ද මෙම උපාධි ප්‍රධාන උත්සවයේ දී සිදු කරනු ලැබේ.

1981 අංක 74 දරණ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පණතෙන් ප්‍රතිෂ්ඨාපිත වී, 1995 අංක 37 දරණ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල (සංශෝධන) පණතෙන් මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ හා පරිපාලන ව්‍යුහය සකස් වී ඇත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පණතට අනුව පහත සඳහන් අරමුණු ළඟාකර ගැනීමට විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක විය යුතු බව සඳහන්වේ.

. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බුද්ධාගම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා බෞද්ධ ධර්මය සහ විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම.

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පාලි භාෂාව, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය හැදෑරීම ප්‍රවර්ධනය කිරීම සහ වර්තමාන ලෝක තත්ත්වයට ගැලපෙන පරදි එම අධ්‍යාපනය නංවාලීම,

පිරිවෙන්වල, පාසල්වල සහ ඒ හා සමාන ආයතනවල බුද්ධාගම හා පාලි භාෂාව ඉගැන්වීම සඳහා භික්‍ෂූන් වහන්සේලා සහ ගිහි ශිෂ්‍යයින් පුහුණු කිරීම.

ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සහ සියලු ම ගිහි ශිෂ්‍යයින් අතර ආචාර ධර්මානුකූ®ල පැවැත්ම හා මානසික ශික්‍ෂණය පවත්වාගෙන යෑම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,

ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අභ්‍යන්තර සිසුන් සඳහා මෙන් ම බාහිර සිසුන් සඳහා ද පාඨමාලා ගණනාවක් පවත්වාගෙන යනු ලැබේ. ඩිප්ලෝමා, ශාස්ත්‍රවේදී, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ශාස්ත්‍රපති, දර්ශනපති සහ ආචාර්ය උපාධි මෙම විශ්වවිද්‍යාලය මගින් දැනට දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද පවත්වා ගෙන යනු ලැබේ. මෑතක දී දහම් සරසවිය ඩිප්ලෝමා වැඩ සටහන දීපව්‍යාප්ත ව පවත්වමින් මෙම විශ්වවිද්‍යාලය කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී. කාන්තා පාර්ශ්වය සඳහා මෙම විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයන් වශයෙන් ලියාපදිංචි වී සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවකාශ ලබා දී ඇත.

දේශීය මෙන් ම විදේශීය සිසුන්ට ද අධ්‍යාපන කටයුතු සඳහා දොරටු විවෘත වී ඇති අතර, දැනට විදේශීය සිසුන් 180 ක් පමණ ඉගෙනීම් කටයුතු කරන අතර, මෙරට වැඩි ම විදේශීය සිසුන් ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය ලබන මෙරට විශ්වවිද්‍යාලය පද්ධතිය තුළ ඇති එක ම විශ්වවිද්‍යාලය වේ. දේශීය වශයෙන් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු හෝමාගම, ගුරුඵගෝමී මාවතේ පිහිටි විශ්වවිද්‍යාලය තුළින් ක්‍රියාත්මක වේ. බාහිර පාඨමාලා සහ පශ්චාත් උපාධි සඳහා බාහිර ලියාපදිංචි වූ සිසුන්ගේ දේශන කොළඹ 07, බෞද්ධාලෝක මාවතෙහි අංක 214 දරන ස්ථානයෙහි පිහිටි කාර්යාලීය භූ®මියේ දී සති අන්ත දිනයන්හි පවත්වනු ලැබේ.

විදේශ රටවල ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතන පිහිටුවමින් සිය පාඨමාලා තුළින් බුදුදහම හා පාලි භාෂාව ප්‍රචලිත කිරීමට ද පියවර ගෙන ඇත.සිංගප්පූරුව, මැලේසියාව, බටහිර ජර්මනිය, එංගලන්තය, ස්කොට්ලන්තය, ඇමෙරිකාව සහ දකුණු කොරියාව යනාදි රටවල අනුබද්ධ ආයතන ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු අනුබද්ධ ආයතන වැඩි ම ප්‍රමාණයක් පවතින එක ම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වීම ද සුවිශේෂී කරුණකි.

බෞද්ධ අධ්‍යාපනය නංවාලීම සඳහා සෑම රජයක්ම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මෙහි දී පෙන්වාදීම යුතුකමක් වේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉදිරි කටයුතු සාර්ථක ව පවත්වාගෙන යෑම සඳහා අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාවගේ එකමුතු ව බෙහෙවින් ඉවහල් වී ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමි.අධ්‍යයන අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාවට පොදුවේ ආවේනිකවූ ගැටලුවලට විසඳුම් සොයන අභියෝගවලට ද වෙනත් විශ්වවිද්‍යලය මෙන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ද මුහුණ දී සිටී.

එවකට ගරු අග්‍රාමාත්‍ය ධූරය දැරූ දැනට අතිගරු ජනාධිපති ධූරය දරන මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ වර්තමාන රජයෙන් විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 518ක් වෙන් කර දී තිබුණි. එම ප්‍රතිපාදන නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තිබිය යුතු ගුණාංග ඇතුළත් අති නවීන ගොඩනැගිලි සංකීර්ණයක් විශ්වවිද්‍යාලය සතු ව පවතී.

විශ්වවිද්‍යාලය පවත්වාගෙන යෑමේ දී ගැටලු හා දුෂ්කරතා මතු වුව ද අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාවගේ ඕනෑ එපාකම් ක්‍ෂණික ව හඳුනාගෙන ඒ අනුව පරිපාලන කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ධූරය උසුලන පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතු¼ඵ පාලක සභාව සිය කාර්ය නිවැරදි ව සහ ක්‍රමානුකූලව ඉටු කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ. මේ සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහාය ඉතා කෘතවේදීව සිහිපත් කළ යුතුවේ. එමෙන් ම ශිෂ්‍ය සංගමයෙන් විශ්වවිද්‍යාලය පරිපාලනයට ලැබෙන පූර්ණ සහාය ද අමතක කළ නොහැක.

විශ්වවිද්‍යාලයේ පරිපාලන කාර්යයන් සාර්ථක ව ගෙන යෑමට ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමා ප්‍රමුඛ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ද මෙම විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධියට සිය ප්‍රමුඛ අවධානය යොමු කිරීම ප්‍රශංසනීය කටයුත්තකි.

මෙම ලිපිය අවසන් කිරිමට පෙර ඉන්දියාවේ ප්‍රථම අගමැති පණ්ඩිත් ජවහල්ලාල් නේරුතුමා බුදුදහම පිළිබඳ දැක්වූ අදහස උපුටා දැක්වීම කාලෝචිත බව පෙනී යයි.

”අර්බුද, අරගල, වෛරය, භීෂණය ගහණ මේ ලෝකයෙහි බුදුහිමියන්ගේ සංදේශයේ ආලෝකය සූර්යා සේ බැබලේ. ජලකර බෝම්බ, පරමාණු බෝම්බ පිළිබඳ යුගයේ දී පමණක් බුදුහිමියන්ගේ සංදේශය ලොවට අවශ්‍ය වෙන අන් යුගයක් නොමැති තරම්ය.”

බුදුහිමියන්ගේ සංදේශයේ ශක්තිය හා සත්‍යතාව අවුරුදු දෙදහස් පන්සීයක් ගෙවී යෑම නිසා තව තවත් අධික වූවා පමණි. අපි ඒ අමරණීය සංදේශය සිහිපත් කොට ගනිමු. ඒ ඉගැන්වීම අනුව අපගේ අදහස් හා ක්‍රියා පටිපාටිය හැඩ ගස්වා ගනිමු.

ඒ නිසා අපට උපේක්‍ෂාවෙන් මුහුණ පෑ හැකි වනු ඇත. එමෙන් ම සම්මා දිට්ඨිය හා සම්මා වායාමය තරමකට හෝ දියුණු කර ගැනීමටත් අපට ඒ බුද්ධ සංදේශය ඉවහල් වනු ඇත.

තිස් වසරක ආසන්න කාලයක් සිරිලක උතුරු හා නැගෙනහිර පළාතේ කලුවළාවක් සේ වසාගත් ත්‍රස්ත ක්‍රියාවන් මුඵමනින් ම නිමා වී ඇත. එබැවින් උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවට සූර්යාලෝකය සේ දීප්තිමත් ව බබළන බුදුහිමියන්ගේ සංදේශයේ ශක්තිය අමා ගඟක් සේ සඳහම් සිලිලාර නඟමින් ගලා යාමට කටයුතු කළ යුතු කාලය ද එළඹී ඇත.

අවසාන වශයෙන් 16 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධි ලබන සියලු ම දේශීය මෙන් ම විදේශීය උපාධිලාභීහු 617 දෙනා දේශයට පමණක් සීමා නො වී සකල ලෝකවාසී ජනතාවට නිර්මල බුදුදහම ප්‍රචාරණය කිරීම තුළින් ශිෂ්ට සම්පන්න ගුණගරුක සමාජයක් බිහි කිරීමට නියමුවෝ වෙත්වා යි බැති සිතින් ප්‍රාර්ථනා කරන අතර, ඉදිරියේදී එවැනි ලොවක වැඩදායී ශාස්ත්‍රධරයන් බිහි කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ශක්තිය සහ සියලු දෙනාගේ ම පූර්ණ සහයෝගය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.