Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර – කුඩාරත්මලේ වෙහෙරබැන්දකුටිය රජමහා විහාරස්ථානය


දර්ශනීය බුද්ධ ප්‍රතිමාව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූජනීය අටමස්ථානයට ආසන්නව ශාවස්තිපුර, කුඩා රත්මලේ වෙහෙර බැන්දගල (කුටියෙ පන්සල) විහාරස්ථානය පිහිටා ඇත. එම පූජා භූමිය තුළ කුරුළු වර්ග 82 ක් පමණ වාසය කරති. මෙය ජෛව විවිධත්වයෙන් පිරි සුන්දර පරිසරයක පිහිටියේය.


කළු ගලින් නිම කර ඇති බුදු ගෙය

ගල් පර්වත මුදුනේ පිහිටා ඇති බුදුගෙය නිසා විහාරයට නව ආලෝකයක් මෙන්ම වටිනාකමක් ලැබී ඇත. එය නව ආකෘතියකට නිර්මාණය කර ඇත. ජලජ ජීවීන් විශාල ප්‍රමාණයක් ඇති ජලාශ මෙම කුඩා භූමිය තුළ දැක බලා ගත හැක. මෙම විහාරස්ථානයට නැෂනල් ජියොග්‍රැෆි විස්කෝන්සස් විශ්වවිද්‍යාලයෙන් ජෛව විවිධත්ව සඳහා වටිනා කුසලානයක් ද ලැබී තිබීම විශේෂයකි.

නාච්චාදුව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, දිස්ත්‍රික් ශාසනාරක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරන වැලිසර ජිනවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙහෙර බැන්ද කුටිය රජමහා විහාරාධිපති ලෙස වර්තමානයේ විශාල සේවාවක් සිදු කරති. උන්වහන්සේගෙන් සිදුවන සමාජ මෙහෙවර සුවිශේෂී වෙයි.


පරිසරය සුන්දර කරන පොකුණක්

නාච්චාදූව ගම්මානයට විදුලිය ලබා ගැනීම, මං මාවත් තාර දමා සකස් කරදීම, ගම තුළ විශ්‍රාම සුවයෙන් පසුවන දිළිඳු අයට විශ්‍රාම වැටුපක් ලබා දීම ග්‍රාමයේ අවමංගල්‍යයක දී ඉක්මණින් රුපියල් 5000/- ක මුදලක් ලබා දීම, අසනීප වී රෝහල් ගත ගෘහමූලිකයන් සිටින පවුල් වලට රුපියල් 5000/- ක සහන මුදලක් ලබා දීම, සෑම අලුත් අවුරුදු දාම කිරිපිඬු දානය පිරිනැමීම, වසර ගණනාවක සිට සෙනසුරාදා සහ බදාදා යන දිනවලදී ජනාධිපතිතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම ඇතුළු සමාජ සත්කාර්යයන් රැසක් විහාරස්ථානය ප්‍රමුඛ කරගනිමින් විහාරාධිපති වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවීම අගය කළ යුතු අමිල මෙහෙවරකි. මේ ගම්මානය තුළ කසිප්පු වැනි මත් දියර විකිණීම නතර කර ඇත. ගම්මානයේ සියලු දෙනාගේම සහයෝගය මෙන්ම විහාර භාරකාර මණ්ඩලයේ සභාපති කේ. අබේසුන්දර ඇතුළු අනෙක් සාමාජිකයන් සහ දායක පිරිස් හැමවිටම විහාරස්ථානය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරති. වෙහෙර බැන්ද කුටිය රජමහා විහාරයේ විහාර සංවර්ධන පදනම, විහාර භාරකාර පදනම, විහාර කාර්ය සාධන සමිතිය රාහුල මාතා සමිතිය සමාධි ශීල භාවනා සමිතිය, මහින්ද ධර්ම ගවේශී පදනම, ශ්‍රී ජිනවංශ තිස්ස ජනසහන පදනම ඉතා සාර්ථක මෙහෙයකට දායකත්වය සපයයි. දහසකුත් එකක් වැඩ අතර ලොකු හාමුදුරුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සිංහලෙන් ලියා මුද්‍රණය කර ඇත.

දාන ශීල, භාවනා වැඩසටහන් පෝය හතරටම ඉතා සාර්ථකවම කරගෙන යන අතර වෙසක් පෝය දින සිල් සමාදම් වන උපාසක උපාසිකාවන් සඳහා අංග සම්පූර්ණ දන් වේලක් නායක හාමුදුරුවන් හා විහාරස්ථානය මූලික වෙමින් ලබා දෙති.


විහාරස්ථානයේ සුන්දර ස්ථාන

දර්ශණීය පොකුණු 07 ක් මෙම විහාර භූමිය ආශ්‍රයේ ඉදිකිරීම ජිනවංශ තිස්ස හාමුදුරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වන විට දර්ශනීය ජල පොකුණු 5 ක්ම තනා වැඩ නිම කර ඇත. ජලජ ජීවීන්, ජලජ පැළෑටි දුර්ලභ ගණයේ මත්ස්‍යයින් එම පොකුණු තුළ දක්නට ලැබේ.

අනුරාධපුර අටමස්ථානය වැඳ පුදා ගෙන යන වන්දනා කරුවන්ට ශ්‍රාවස්තිපුර කුඩා රත්මලේ වෙහෙර බැන්ද කුටිය පන්සල වෙත ද පැමිණිය හැක. මෙම විහාර භූමිය තුළ දී රමණීය පරිසරය ආශ්වාදය කරමින් සැදැහැති සිතුවිලි වර්ධනය කර ගැනීමට සුදුසු පසු බිමක් නිර්මාණය කර තැබීම අගය කළ යුතු ය.


විහාරාධිපති වැලිසර

ජිනවංශ තිස්ස හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.