Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අරි අටගි මගෙන් බැහැර වීම පසුගාමී ස්වභාවයක් නොවේ ද?

‘බුදුසරණ’ 2009.06.15 දිනැති පත්‍රයේ පළ වූ ‘බෞද්ධයන් අරි අටඟි මඟ තිබියදී අටසිල්වලට පසු බැස ඇත්තේ ඇයි?’ නම් මගේ ලිපිය කියවා ඒ පිළිබඳ ඉතා මධ්‍යස්ථව, අදහස් දක්වමින්, 2009.07.06 දින ‘බුදුසරණ’ට ‘බෞද්ධයා අටසිල් වලට සීමා විය යුතුද’? යන මැයෙන් කෙටි ලිපියක් ලියා ඇති ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතාට මගේ කෘතවේදී බව පළමුව පුද කරමි.

සත්ත්වයාට මඟඵල නිවන් අවබෝධ කරවීම පිණිසම බුද්ධත්වයට පත් බුදුපියාණන් වහන්සේ අපට පළමුවෙන්ම බරණැස ඉසිපතානාරාමයේදී දේශනා කොට වදාළ ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් ඉදිරිපත් කළ අරි අටඟි මඟ තිබිය දී අද වන විට බෞද්ධ යන් බුදුන් වහන්සේ පහළ වන්නටත් පෙර සමාජ ගතව තිබූ අටසිල්වලට පසු බැසීම ගැන තවදුරටත් විමර්ශනය කිරීමට බුදුසරණ කතුතුමා ඉඩ ප්‍රස්ථාව ලබාදීම ගැන එතුමාටද මගේ් ගෞරවය පිරිනමමි.

ධර්මසේන හෙට්ටිආරච්චි විද්වතාණන්ගේ පළමු පැනය මෙයයි. පන්සිල් අටසිල් බුදු මඟට පටහැනිද යනුයි. අප දන්නා පරිදි පන්සිල් - අටසිල්- බුදු උපතටත් පෙර දඹදිව තිබූ යහපත් ප්‍රතිපත්ති සමුදායකි. ඒවා නිවන් මඟට උපස්ථම්භක වන ඒවා නොවේ. එසේ නම් එය බුදු මඟ නොවේ. බුදුමඟ නම් ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් පසුව බුදුපියාණන් විසින් සමාජයට දායාද කළ දෙයක් විය යුතුය. එහෙත් එහි ඇති ආචාර විද්‍යාත්මක වටිනාකම නිසා බුදුපියාණන් වහන්සේ එය යහපත් සමාජයට වැදගත් සීලයක් වන බව අනුදැන වදාළහ. පන්සිල් අටසිල් වැළැකීමේ ශීලයන්ය. බුදුපියාණන් අගය කළේ චාරිත්‍රශීලය මිස වාරිත්‍ර ශීලය නොවේ. වැළැකීම නොව සැලකිීමයි වැදගත් වන්නේ. අසද්ධර්මයෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවේ. සද්ධර්මයේ ක්‍රියාත්මක විය යුතුය. සද්ධර්මය පුහුණුකළ යුතුය. වැළකීමෙන් පමණක් බුදුදහමට අදාළ මඟ පල නිවන් ලැබිය නොහැකිය.

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤංච භාවයං

ශීලයේ පිහිටීමයි බුදුමඟ. ශික්ෂා පදයන්හි එල්බ ගැනීම නොව ශික්ෂා පදයන්හි අභිමතාර්ථයට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමයි බුදුමඟ

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ හායන්ති මච්චුනෝ
අත්ථානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

සියලුම සත්ත්වයන් දණ්ඩනයට බිය නිසා මරණයට බිය නිසා, තමාත් දණ්ඩනයට මරණයට බිය නිසා තමා උපමා කොට ගෙන සතුන් නො මරමි කියා හිංසා නොකරමි කියා අවබෝධයෙන් යුතුව සත්ත්වයන් මැරීම, හිංසා කිරීම නවත්වනවා මිස ‘පාණාතිපාතා වේරමණී ශික්ෂාපදං සමාදියාමි’ යනුවෙන් කියූ නිසා සත්ත්ව හිංසාවෙන් සත්ත්ව ඝාතනයෙන් වැළකීම බුදුමඟට නොගැළපෙන බව කල්පනා කළ යුතුය. එසේ වන්නේ නම් ශික්ෂා පද සමාදන් නොවූ දිනෙක සත්ත්ව ඝාතනය සිදුකළාට වරදක් නැතැයි යන නිගමනයට ද එළඹීමට ඉඩ ඇත.

දෙවැනි පැනය වන්නේ අටසිල් පවාරණය කරන අය ගෙදර යන්නේ ශීලයෙන් තොරවද? බලන්න සිල් (ශික්ෂාපද) සමාදන්වන අය තුළ ශික්ෂාපද වලට ඇති බිය නිසා පන්සලේ දී පෝය දින සිල්වත් බවක් දක්නට ඇත. පසුදින හෝ සවස් භාගයේ සිල් මිදුනු පසු ඔවුන් තුළ එය දක්නට නැත. අවශ්‍ය වන්නේ පෝය දින පමණක් නොව හැම දිනකම හැම මොහොතකම ශීලවන්ත ජීවිතයක් ගත කිරීමයි. මේ පිළිබඳව සොයා බලන්නට සිල් සමාදන් වූ අය සිටින ස්ථානයකට ගොස් ඔවුන්ගේ චරියාවන් නිරීක්ෂණය කිරීමෙන් මැනවින් වටහා ගත හැකිය. හැම දෙනම නැතත් බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙය නොවන්නේද? තෙවැනි පැනය වන්නේ ශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් නිවන් මගට පැමිණිය නොහැකිද? යන්නයි හැකිය. බෞද්ධ ශීල ප්‍රතිපදාවෙන් නම් නිවන් මඟට පැමිණිය හැකිය. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවේ ශීල ශික්ෂාව ප්‍රතිපදාවක් වන්නේ මසකට වරක් උදයේ ගෙන සවස හෝ පසුදින උදෑසන මිදෙන වැඩ පිළිවෙළක් නොවේ. නිරන්තරව ශීල ප්‍රතිපදාවේ පිහිටීමයි. හැම විටම කය වචන දෙක සංවරව තබා ගැනීමයි. නිරතුරුව පවත්වාගෙන යනු ලබන කාය, වාග්, සංවරයකින් පසුවයි සමාධියකට පැමිණෙන්නේ.

හතරවැනි පැනය වන්නේ භෞතික වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නේ් කෙසේද යන්නයි. මෙය ඇසිය නොයුතු පැනයකි. මෙයට පිළිතුරු මගේ මුල් ලිපියේ ඇත. බොහෝ ධර්ම දේශකයන් වහන්සේ, ලෞකික සම්මා දිට්ඨිය මත පිහිටා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන අයුරු පහදා දී ඇත. ගිහි බණ වශයෙන් බෞද්ධයන් පිළිගන්නා මංගල සූත්‍රයේ

පුට්ඨස්ස ලෝක ධම්මෙහි - චිත්තං යස්ස න කම්පතී
අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං

යනුවෙන් ගිහි සමාජයට යහපත් ලෙස ජීවිතය ගෙන යාමට මංගල කරුණු පහදා දීමේදී ද අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවන හිතක් ඇතිකර ගැනීම භෞතික මංගල කාරණයක් මෙන්ම ලෝකෝත්තර නිවන් මාර්ගයට ද එය හේතුවන අයුරු පැහැදිලි කර ඇත.

ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුඛ , දුක්ඛ යනුවෙන් ඇත නැත යන අන්තයන්ට මාරුවෙමින් ගතකරන ගිහි ජීවිතය තුළ කෙදිනකවත් නිවන් මඟ හමුනොවේ.

අලාභයෙන් ලාභයටත්, අයසෙන් යසසටත්, නින්දාවෙන් ප්‍රශංසාවටත්, දුකින් සැපටත් නිරතුරුව දෝලනය වන මිනිස් සන්තානය මැදුම් මඟට ගැනීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මධ්‍යම ප්‍රතිපදාවයි. ලෞකික භෞතික ජීවිත ගත කිරීමේදී භෞතික වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම සිදු කරන්නේ කෙසේද? යන්නට මංගල සූත්‍රයට අමතරව තවත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ ද? පළමු මග ඵලය වන සෝවාන් ඵලයට යාමට ‘සක්ඛාය දිට්ඨිය’ ඉවත් කළ යුතුය. එනම් මම මගේ් මට යන අල්ලා ගැනීමේ චේතනාව නවතා උපේක්ෂාසහගතව කල්පනා කළ යුතුය. ලාභය ගැන සිතූ නිසාම අලාභ වූ විට දුක ඇතිවන බව කල්පනා කළ යුතුය.

මට ලාභය මට යසස, මට ප්‍රශංසාව, මට සැපත යන මමායනය තිබියදී නිවන් මගට නිවීමේ මඟට යොමු නොවේ. සෝවාන් ඵලය යනු භෞතික වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම නිසා ලැබෙන ඵලය බව පැහැදිලි නොවන්නේ ද?

පස්වැනි පැනය වන්නේ ‘අටසිල් සමාදන්වීම ලෞකික ප්‍රතිපදාවක් ද යන්නයි’ මෙය අටසිල් සමාදන්වන අය එම අවස්ථාවලම තම තමන්ගෙන්ම විමසිය යුතුය. මෙයට හොඳම පිළිතුර ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ 07 වැනි ගාථාව වන ‘යථා දණ්ඩෙන ගෝපාලෝ’ යන ගාථාවට සම්බන්ධ නිදාන කථාවෙන් පෙන්නුම් කෙරේ. පූර්වාරාමයේ සිල්ගත් විවිධ තරාතිරමේ කාන්තාවන්ගෙන් සිල් ගැනීමට හේතුව විශාකාව විමසූ විට මහලු අයකීවේ තමන් මරණින් මතු දෙව්ලොව යාමට සිල්ගත් බවයි. විවාහක මැදිවිය අය කීවේ ගෙදර දොර තිබෙන අවිවේකී අසන්තෘෂ්ටියෙන් මිදෙන්නට සිල්ගත් බවයි. තරුණ විවාහක අය කීවේ කුලුඳුලේ පුතෙකු අපේක්ෂාවෙන් සිල්ගත් බවයි. කුඩා අයකීවේ වැඩිහිටියන් පැමිණෙන නිසා තමන්ද ඔවුන් සමඟ සිල් සමාදන් වූ වගයි.

එදා පූර්වාරාමයේ සිල්ගත් අය ලෞකික අපේක්ෂාවෙන් සඳහා සිල් සමාදන් වූවානම් වර්තමානයේ සිල් සමාදන් වීම ලෞකික ප්‍රතිපදාවක්ද යන්න විමසිය යුතු ද?සය වැනි පැනය වන්නේ අටසිල් සමාදන් වන්නා තමන් රවටා ගන්නෙක්ද? යනුයි. ශික්ෂා පදයකට කොටුව සුළු කාලයකට තමන් සිල්වත් යැයි සම්ප්‍රදායකට අනුව සිතා ගැනීම තමන් රවටා ගැනීමක් නොවන්නේ ද? ‘අත්තදීපා විහරණ අත්ත සරණා න අඤ්ඤ සරණා’ තමන් පහනක් කොට ගෙන තමන් දූපතක් කොට ගෙන ජීවත්වන්න තමන්ට තමන්ගේ සරණ මිස අන් සරණක් නැත. ‘අත්ථාහි අත්තනෝ නාථෝ කොහි නාථො පරොසියා’ තමන්ගේ විමුක්තිය සලසන්නේ තමන් මිස අන් කවරෙක්ද? එසේ නම් අප ශික්ෂා පදවලට කොටුවීම ද, ශික්ෂා පදවලට අවනත වීම ද කළයුතු තමන් විසින් ස්වයං ශික්ෂණයෙන් ස්වයං විනය ඇතිකර ගැනීම ද? හත්වැනි පැනය වන්නේ පන්සිල් අටසිල් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුළත් නැතිද? යනුයි. ඇතුළත් ය. ප්‍රශ්නය මෙයයි. අප බුදු මඟ යන්නේ නම්, පෙරතිබූ පන්සිල් අටසිල් සහිතව අරි අටඟ මඟ බුදුහිමි දේශනා කර වදාළේ නම් අප අනුගමනය කළ යුතු අරිඅට¼ග මඟද පන්සිල් අටසිල් ද ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන් වන අප අරි අටඟි මගින් පන්සිල් අටසිල් වෙන් කරගෙන ඒවා අනුගමනය කරන්නට යාම බුදුදහමට කරන නිගාවක් නොවන්නේද? විමසත්වා! අරි අටඟි මඟ අප අත් හරින්නේ සසරින් එතෙරවීමක් අපේක්ෂා නොකරන නිසාද?

ලොව පහළ වූ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේ පවු පහක් අතහැරීම නොව සියලුම පවු නොකිරීමයි.

සබ්බ පාපස්ස අකරණං මිස
පංච පාපස්ස අකරණං කියා නැත.

සියලු පවු වලින් වැළකුණත් කුසලස්ස උපසම්පදා නොවන්නේ නම් කුසල් දහම් වැඩි දියුණු නොකරන්නේ නම්, ධර්ම පුහුණුව නොකරන්නේ නම් සචිත්ත පරියෝදපනං ඇති වන්නේ නැත. පවු පහකින් අටකින් දහයකින් නොව සියලුම පාපයන්ගෙන් දුරුවිය යුතුය. කුසල් දහම් පුහුණුව නිරතුරුව ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය වශයෙන් විය යුතුය.

අද සිල් සමාදන්වීම ස්වාමීන් වහන්සේගෙන් උදයේ සිල් ලබා ගෙන සවස හෝ පසුදින උදයේ උන්වන්සේට යළි පවරා දීමක් වැනි ගනුදෙනුවකි. මෙසේ මේ ශික්ෂා පදවලට දිනකට කොටුවීම ශීලයක් නොවන බව වටහා ගත යුතුය.

ධම්ම පදයේ ධර්මස්ථ වග්ගයේ එන මෙම ගාථාවන්හි අදහස විමසීමෙන් ශීලය පිළිබඳ නිවැරැදි වැටහීමක් ඇතිකර ගැනීමට හැකි වේයැයි සිතමි.

න සීලබ්බත මත්තේන - බාහුසච්චේන වා පුන
අථ වා සමාධි ලා භේන - විවිච්ච සයනේන වා
ඵුසාමි නෙක්ඛම්ම සුඛං - අපුථුජ්ජන සේවිතං
භික්ඛු විස්සාසමාපාදී - අප්පත්තෝ ආසවක්ඛයං

ශීල ව්‍රත මාත්‍රයකින් හෝ බහු ශ්‍රැත භාවයෙන් හෝ සමාධියක් ලැබීමෙන් හෝ විවේක සේනාසනයක විසීමෙන් හෝ ආර්යයන් විසින් ලබන ලද නෙක්ඛම්ම (පැවිදි) සැපය ලැබීමෙන් හෝ ආශ්‍රවයන් කෙළවර කර නොගත් භික්ෂුවක් තමා දුක් කෙළවර කර ගත්තේ යයි වැරැදි විශ්වාසයක් ඇතිකර නොගත යුතුය.

ශීලයට යොමුවුන සිත ‘කරණීයම අත්ථ කුසලේන - සක්කෝ උජුච සුජුච’ යනුවෙන් කුසල් සිත දක්ෂතාවයෙන් සෘජුව සු - සෘජුව පවත්වා ගත යුතුය. තමන් සිල්වත් විය යුත්තේ තමන් ගොඩනගාගත් දක්ෂ තත්ත්වයෙන් මිස ශික්ෂා පදයක් පිහිට කොට ගෙන නොවේ. බුදු සසුනේ ශික්ෂා පද පැනවූයේ වසර 20කට පසුවයි. ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේ බිහිවූයේ ශික්ෂා පද නැති වසර 20 තුළ යි.

ශික්ෂා පද පැනවීමට පෙර බුදුපියාණන්වහන්සේ ආනන්ද හිමියන්ට කීවේ ආනන්ද ශික්ෂා පද පනවන විට රහතුන් අඩුවන බවයි. එසේනම් ශික්ෂා පදවලින් තොරව ස්වයං ශික්ෂණයෙන් ස්වයං ශීලයෙන් යුතුව ගත වූ වසර 20ක සමයේ විශාල වශයෙන් මහරතුන් බුදු සසුනේ බිහිවීම ගැන අප කල්පනා කළ යුතුය. සදාචාරයට අනුව කෙනෙකු සිලවත් වීමට ශික්ෂාපද අවශ්‍ය වුවත්, බෞද්ධ නිවන්මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නකු ස්වභාවයෙන් ම සිල්වත් විය යුතුය. (සීලවාහෝති නොව ශීලමයෝ) විය යුතුය.

සිල් පදවලින් ශික්ෂා පදවලින් කෙනෙකුගේ සිතුවිලි හැගීම් අවරෝධනය නොවේ. එහෙත් යථාවබෝධයෙන් සිල්වත් වන අය තුළ සිතුවිලි අවරෝධනය සිදුවේ. මෙන්න මේ නිසාය අපට බුදුන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කළේ. ‘සමාහිත චිත්තං යථාභූතං පජානාති’ සීලයේ පිහිටා සමාහිතවන සිතට සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි, වශයෙන් යථාභූත ඥාණ දර්ශනය පහළ වේ.

එහෙත් අෂ්ඨාංග ශීලය වර්තමාන සමාජයේ පවතින අයුරින් සමාදන් වීමෙන් සමාහිත සිතක් පහළ නොවන නිසාත් අෂ්ඨාංගික ශීලය බුදුරදුන්ට පෙර සමාජගතව තිබූ යහපත් ප්‍රතිපදාවක් නිසාත් වර්තමාන බෞද්ධ සමාජය අටසිල් පන්සිල් වලින් සෑහීමට පත්වීම පසුගාමී ස්වභාවයක් බවත් පෙන්වා දෙමි. බුදුපියාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයේ පෙන්නා දී ඇති පරිදි නයි අල්ලන්නකු නයකු වලිගයෙන් ගතහොත් ඉන් විනාශ වේ. කඳින් ගතහොත් ඔහු විනාශ වේ. එහෙත් එළු කුරය වැනි දණ්ඩ හිසට තබා හිසෙන් අල්ලා ගතහොත් ඔහුට අවශ්‍ය පරිදි නයා හීලෑ කරගත හැකිය. එම නිසා වර්තමාන බෞද්ධ සමාජය තමන් නිවන් මඟ ගමන් කරන්නේ නම් බෞද්ධ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්ම ආරම්භ කළ යුතුය.

‘ආණි සූත්‍රයේ දී බුදුන් වහන්සේම පෙන්වා දුන් පරිදි තැනැත්තෙක් ඉතා මිහිරි හඬ සහිත බෙරයක් නිපදවන ලදී. ඒ හඬ පිළිබඳ රජු දැනගෙන බෙරයේ අයිතිකරු බෙරය සමඟ ගෙන්වා ඒ මිහිරි හඬ සහිත බෙරය තමන් සතු කර ගන්නට සිතා රජු තමන්ගේ නම කෙටූ ඇණයක් බෙරයේ ගසන ලදී. මැති, ඇමැති, සේනාපතිවරු ද බෙරයේ අයිතිය තමන්ටද හිමිකර ගන්නට තමන් නමින් ඇණ ගැසූහ. එහෙත් සිදුවූයේ ඒ ඇණ ගසන විට අර බෙරයේ පෙර තිබූ හඬ අඩුවීමයි.

අවසානයේදී එක් එක් අයට ඕනෑ පරිදි ඇණ ගැසීමෙන් අර බෙරය විනාශ වුණා. අන්තිමට ඉතිරිවුණේ බෙරය නොව පසුකාලීනව ගසනා ලද ඇණ පමණයි. අද බොහෝ දුරට බුද්ධ ධර්මයට වී ඇත්තේද එයයි. අද ඇත්තේ බුදුන් වදාළ ධර්ම කරුණු නොව පසුකාලීනව ඇතිකරගත් සම්ප්‍රදායානුකූ®ල ධර්ම මාර්ගයකි. ඉන් නිසා අප බෞද්ධයන් වශයෙන් ප්‍රඥාවෙන් යුතුව ශීල වෘතවලින් මිදී හැබෑ සිල් මඟට පැමිණිය යුතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.