Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ අනුසස් ඇති ලොව දුලබ පදවිය

මහණනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව දුර්ලභය ක්ෂණ සම්පත්තිය ලබාගැනීම දුර්ලභ ය. පැවිද්ද ලොව දුර්ලභ ය , සද්ධර්ම ශ්‍රවණය ලොව දුර්ලභ ය යනුවෙන් අප ලොවුතුරා අමා මෑණී බුදුරජාණන් වහන්සේ දිනපතාම සිව්වනක් පිරිසට කරන ලද අනුශාසනාවක් වශයෙන් දුර්ලභ කරුණු පහක් දේශනා කළහ.

මෙම කරුණු පහ අතරින් මෙම ලිපියෙන් විස්තර කරනු ලබන්නේ පැවිදි බව ලබා ගැනීමේ ඇති දුෂ්කරතාව යි. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන පිරිස බුද්ධ ශ්‍රාවකයෝ නම් වෙති. එම පිරිස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත.

එනම් පැවිදි සහ ගිහි වශයෙනි. මේ පිරිසම භික්‍ෂු, භික්‍ෂුණී , උපාසක, උපාසිකා වශයෙන් සිව්වනක් පිරිස යන නාමයෙන්ද හඳුන්වා දී ඇත. මේ සිව්වනක් පිරිස අතරින් ප්‍රධානත්වය හිමි වන්නේ පැවිදි භික්‍ෂු පිරිසට ය. ගෞතම බුද්ධ ශාසනය ආරම්භයට පෙර ද දඹදිව විවිධ තාපසයන්, ශ්‍රමණයන් සිටිය බව, නාලක කුමරු පැවිදි වීමෙන් පැහැදිලි වේ.

නමුත් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි පිරිස ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව පැවැත්වීමෙන් අනතුරුව පළමුව සෝවාන් තත්වයට පත් පස්වග තවුසන්ගෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් බමුණා ඇතුළු පස්වග තාපසයන් වහන්සේ ඒහි භික්‍ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබා ගැනීමත් සමග ය. ඉන් අනතුරුව රාජ කුමාරවරු සිටු කුමාර වරු ආදි සමාජයේ විවිධ තරාතිරම්වල අය පැවිදි වීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන්නට වූහ. මෙසේ බුදුන් වහන්සේ හමුවීම මහණ උපසම්පදා වීම අපහසු නිසා ඒ ඒ ජනපද වල ඒ ඒ දිශාවන්හි දීම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ යටතේම මහණ උපසම්පදා කිරීමට අවසර දුන්හ.

ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගෙන් තොරව පැවිදි බව ලැබූ අය නියම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ වශයෙන් පිළිගත් බවක් නොපෙනේ. අතීතයේ සමහර පුද්ගලයන් තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට තමන්ම සිවුරු පොරවාගෙන පැවිද්දන් වශයෙන් සමාජයේ පෙනී සිට ඇත.

නමුත් ඔවුන් නියම ශාසනික පැවිද්ද ලැබූ අය පිළිගත් බවක් දක්නට නොලැබේ. ධර්මාශෝක රජ දවසත් ඒ ආකාරයට තම තමාම සිවුරු පොරවාගෙන පැවිදි වෙස් ගෙන සිටි බව මහා වංශ ආදී ඓතිහාසික ග්‍රන්ථයන්ගෙන් තහවුරු වෙයි.

එසේ පැවිද්ද ලැබූ ශ්‍රමණවේශධාරීන් හැට දහසක් පමණ සිවුරු හරවා ශාසනයෙන් නෙරපා හැරිය බව , ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. ධම්ම පදයේ යමක වග්ගයේ එන 9 -10 ගාථාවන්ට අනුව කසාවත දැරීමට සුදුසු නුසුදුසු අය කවුරුන් දැයි දක්වා ඇත්තේ මෙසේ ය. “ කාම රාගාදී කෙළෙස් කසටින් යුක්ත වූ, නොදැමුණූ ඉඳුරන් ඇති, බොරු කියන තැනැත්තෝ, බුදු පසේ බුදු මහරහතන් වහන්සේගේ අර්හත් ධජය වු සිවුර දැරීමට නුසුදුසු බව දැක්වේ. කෙළෙස් කසටින් තොර, දැමුණු ඉඳුරන් ඇති යහපත් අයම කසාවත දැරීමට සුදුසු බව, එම ගාථාවන්ගෙන් පැහැදිලි කර දක්වා ඇත.

මේ ශාසනික උතුම් පැවිද්ද ලබා ගැනීමට නම් විශේෂයෙන්ම දුර්ලභ යැයි සඳහන් කාරණාවන්ගෙන් තුනක්ම සම්පූර්ණ වී තිබිය යුතුම වෙයි. එනම් බුද්ධොත්පාද කාලයක්ම වීම. මනුෂ්‍යාත්ම භාවයන් ලබා ගත යුතු වීම, ක්ෂණ සම්පත්තිය ලැබීම යුතු තුනයි. මේ කරුණු තුන සම්පූර්ණ වීම පැවිදි බව ලබාගැනීමට අනිවාර්යවෙයි. සිත ද පැවිදිවීම සඳහා යොමු විය යුතුවෙයි.

ගිහි සමාජය ස්වභාවයෙන්ම පඤ්චකාම සැප සම්පත් කෙරෙහි නැතහොත් ලෞකික සැප සම්පත් කෙරෙහි ඇලී ගැලී ජීවත්වීමට කැමැති බව ප්‍රකට කරුණකි. ඒ සැප සම්පත් අතහැර දැමීමට බොහෝ දෙනකුට අපහසු ය. තම ආදරණීය මවුපියන් දූ දරුවන්, සහෝදර සහෝදරියන් ඤාතීන් හිත මිතුරන් ආදී අය ද, ගේ දොර, ඉඩ කඩම් යාන වාහන, මිල මුදල් වැනි භෞතික වස්තු ද නිල තල, තනතරු ආදිය ද අතහැර දැමීම ඉතා අපහසු ය. එහෙයින් ගිහි පිරිස අතරින් බොහෝ දෙනකු පැවිද්දට දක්වන්නේ බලවත් අකැමැත්තකි. පැවිද්ද ලැබීම දුර්ලභ බව සඳහන් වන්නේ එබැවිනි. තවද කෙනකුට පැවිද්ද දුර්ලභ බවට ප්‍රකාශ කැරෙන හොඳ නිදසුනකි.

ජම්බුඛාදක ඇසූ පැනය. දිනක් ජම්බුඛාදක නමැති තවුසෙක් සැරියුත් මහ තෙරුන් වහන්සේ වෙත එළඹ, ඇවැත්නි මේ ධම්ම විනයේ දුෂ්කරම දෙය කුමක්දැයි විචාළේ ය. එකල්හි සැරියුත් මහතෙරුන් වහන්සේ ‘පබ්බජිජා ඛො ආවුසො ඉමස්මිං ධම්ම විනයේ දුක්ඛරා’ යනුවෙන් ඇවැත්නි පැවිද්ද මේ ධම්ම විනයේ දුෂ්කරම දෙය යැයි වදාළ සේක. මේ කාරණය පැවිද්දේ දුෂ්කර බව ප්‍රකට කරන සාධකයෙකි.

බුද්ධ නීතියට අනුව පැවිදි කළ යුතු පුද්ගලයා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. පැවිද්ද අපේක්‍ෂා කරන්නා වෙත දකින්නන්ට ප්‍රසාදය ඇතිකරන පි‍්‍රය මනාප රූප සම්පන්න භාවයක් ද තිබිය යුතු ය. තවද පැවිද්දට නුසුදුසු පුද්ගලයන්ගේ ලැයිස්තුවක් විනයේ සඳහන් වේ.

මහණකමට නුසුදුසු පුද්ගලයන් එකොළොස් දෙනෙක් මෙසේ ය. පණ්ඩක, උභතොඛ්‍යඤ්ජනක, ථෙය්‍ය සංවාස, තිත්ථිය, පක්කන්තක, තිරස්චීන, මාතෘ ඝාතක, පිතෘ ඝාතක, අරහන්ත ඝාතක, ලෝහිතුප්පාදක, සංඝහෙදක භික්‍ෂුණී දූෂක යනු ඒ එකොළොස් දෙනයි.

තවද පස් ආකාරයක රෝගාබාධ වැළඳුණු පංච ආබාධ සහිත පුද්ගලයන්ද මහණ කිරීමට සුදුසු නොවන බව ‘නභික්‍ඛවේ පඤ්චයෙහි ආබාධෙහි පුට්ඨො පබ්බාජෙ තබ්බො යො පබබාජෙය්‍ය ආපත්ති දුකකටස්ස’ 1. කුෂ්ඨ, 2. ගණ්ඨ, 3. කිලාස, 4. සොස, 5. අපමාර යන පස් ආබාධ වලින් යුක්ත අය පැවිදි කිරීම, භික්‍ෂුවකට දුකුලා ඇවතක් වේ. එනිසා පංච ආබාධයන්ගෙන් යුත් අය පැවිද්දට නුසුදුසු ය.

එසේම රාජ භටයෝ ප්‍රසිද්ධ සොරා, සිර දඬුවම් නියම වූ කෙනා රජයේ ලේඛනගත වූ සොරා, කස පහර ලැබූ අය, ණය කරුවා පැවිදි නොකළ යුතු අය අතර වේ. තවද පැවිදි නොකළ යුතු තිස් දෙදෙනෙකු ගේ නම් සඳහන් වෙයි.

එම තිස් දෙදෙනා නම්, අත් කැපූ තැනැත්තා, පා කැපූ තැනැත්තා, අත් පා කැපූ තැනැත්තා, කන් කැපූ තැනැත්තා, නසය කැපූ තැනැත්තා, කන් නාසා කැපූ තැනැත්තා, මහ ඇඟිලි කැපූ තැනැත්තා, සුළඟිලි කැපූ තැනැත්තා, මහ නහර කැපූ තැනැත්තා, පෙණ අත් ඇති තැනැත්තා, කුදා, අඟුටු මිට්ටා, ගෙලෙහි ගෙඩි ඇති තැනැත්තා, වෙර ලකුණු එඹු තැනැත්තා, කස පහරින් වූ ලකුණු ඇති තැනැත්තා රජයේ ලිඛිත අපරාධ කරුවා, බරවා රෝග ඇත්තා, පාප රෝගියා, පිරිස දූෂණය කරන්නා, කණා, කොර තැනැත්තා, ඇස් නොපෙනෙන්නා, පක්‍ෂඝාත රෝගියා, පිළා, ජරා, දුර්වලයා, ගොලු තැනත්තා, බිහිරි තැනැත්තා ආදී රෝගාබාධයන්ගෙන් පෙළෙන ශාරීරාංග විකෘති වූ අය, පැවිදි නොකළ යුතු අය වෙති.

මවුපිය අවසරය නොලත් අයද පැවිදි කිරීමට තහනම්ය, එසේම පාත්‍රයේ ආහාර ගැනීමට එන කපුටකුවත් එළවා ගත නොහැකි කුඩා දරුවන්ද පැවිදි කිරීමට අවසර නොමැති අය අතර වෙයි. මෙතෙක් සඳහන් කළ පුද්ගලයන් සැළකිල්ලට ලක් කර පැවිද්දට ඇතුළත් කල යුතු වෙයි. මේ කාරණා සැළකිල්ලට ගත් විට ද පැවිද්දේ දුෂ්කරතාවත් දුර්ලභ බවත් මනාව වැටහෙනු ඇත.

වර්තමාන ලෝකයේ කෝටි සංඛ්‍යාත මනුෂ්‍ය ජනගහනයක් වාසය කළත් ඒ අය අතර ලොව පැවිද්දන් ඇත්තේ ඉතා අතළොස්සක් බව මනාව පැහැදිලි ය. ලෝක ජනගහනය කෙසේ වෙතත් ලංකාවේ වාසය කරන ජගහනයට අනුව බලන කළ වූව ද, පැවිද්ද ලබා ඇති පිරිස ඉතා සුළු පිරිසක් බව නොකිව මනා ය. තායිලන්තය, බුරුමය ආදී රටවල දහස් ගණන් පැවිද්ද ලබා ගත්තත් කුඩා අවදියේ සිට අපේ රටේ මෙන් ජීවිතාන්තය දක්වා මහණකමේ සිටින අය ඇත්තේ ඉතා සුළු පිරිසකි. බොහෝ දෙනෙක් ටික කලක් පැවිදි වී සිට නැවත ගිහි ජීවිතයට පත් වන බව නොරහසකි. මේ කරුණු වලින් පැහැදිලි වන්නේ ද පැවිද්ද අති දුෂ්කර, දුර්ලභ කාරණයක් බව නොවේ ද?

කෙසේ වෙතත් පැවිදි ජීවිතය දුෂ්කර, දුර්ලභ වූවත් ලොව ඇති සැපයන්ගෙන් උසස් සැපයක් පැවිද්ද තුළින් ලබාගත හැකි බව, අතීතයේ පැවිදි බව ලබාගත් උතුමන්ගේ උදාන ගීතයන්ගෙන් හා ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වෙයි. මහා කප්පින රජතුමා පැවිදි වීමෙන් පසු, ගිය ගිය සැම තැනකදීම “අහෝ සුඛං අහෝ සුඛං” කියමින් උදන් ඇනූ බව සඳහන් වෙයි.

රජකම් කළ කාලය තුළ විඳි සැපයට වඩා උතුම් සැපයක් මහණ වී ලැබූ බව, එතුමාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. තේමිමය රාජ කුමාරයා, රට්ටපාල කුමාරයා, යස කුල පුතු ආදී රජ සිටු මැති ඇමැතිවරුද, ඒ රජ සැපතට වඩා පැවිදි සැපය අගය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. මේ උතුම් පැවිද්ද අගය කරන්නේ, හොඳයි කියා ප්‍රසංශා කරන්නේ, වර්ණනා කරන්නේ, සත්පුරුෂයන්, ඤාණ වන්තයන්, පණ්ඩිත පුද්ගලයන් පමණක් බව, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

කෙනෙක් ගිහි ගෙය හැර දමා පැවිදි වන්නේ, සසර සියලු දුක් නැති කොට නිවන අරමුණු කරගෙන ය. නමුත් මේ පැවිදි බව සියල්ලන්ටම පහසුවෙන් ලබාගත හැකි දෙයක් නොවන බව, ඉහත සඳහන් කළ කරුණු කාරණා වලින් පැහැදිලි වෙයි. එහෙයින් මේ උත්තරීතර පැවිදි බව ලබා ගැනීමට ලොව සියල්ලන්ටම නොහැකි බැවින්, එය ලොව දුර්ලභ කාරණා පහෙන් එකක් බව අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කළහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.