Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාරතීය සමාජය තුළ ආගම් බිහි වුයේ ස්වභාව ධර්මයා පූජනය හරහා ය. සූර්යයා, චන්ද්‍රයා, අග්නි, වර්ෂා, වායු ආදිය පිදීම හා දේවත්වයෙහිලා සැලකීම වෛදික යුගයන්ගෙන් ද ඈතට විහිදී යයි.

එහිදී චන්ද්‍රයා මුල් කරගෙන පැවැති ආගමික විධි අතරින් චන්ද්‍රයාන ව්‍රතය වඩා ප්‍රකට වූවකි. මේ ව්‍රතය පුරන්නවුන් විසින් පුර පෑලවිය දිනයේ එක් බත් පිඩක් පමණක් අනුභව කොට අනුක්‍රමයෙන් දිනපතා එක් එක් පිඩ බැගින් වැඩි කරගෙන ගොස් පුර පසළොස්වක දිනට පිඩු පහළොවක් (15) අනුභව කොට අව පක්ෂයේ දී අනුක්‍රමයෙන් එක් පිඬ බැගින් අඩු කර ගෙන ගොස් අමාවක දින සම්පූර්ණයෙන් උපවාස කෙරෙයි.

යථෝක්ත ව්‍රතය පුරන ක්‍රම ස්මෘති ග්‍රන්ථවල දැක්වෙන අතර මෙය ඉන් එක් ක්‍රමයකි. ඒ සියලු ක්‍රමවල එකම පරමාර්ථය වූයේ දෙවියන් සතුටු කිරීමය. ඒ හරහා උපෝසථය ඇරඹිණි’යි උගත්හු පෙන්වා දෙති.

‘උපෝසථ’ යන වචනය විග්‍රහ කරමින් බමුණුගම ශාන්තවිමල හිමියෝ තම ලිපියක දී අර්ථ රාශියක් සංග්‍රහ කරති. ඒ අනුව එහි, සමීපයෙහි වසයි, සමගින් ජීවත් වෙයි. යන අරුත් ද ආඥා හෝ ආශිර්වාද අර්ථයෙහි සමීපයෙහි, වස වූ සමීපයෙහි වසහු යන අරුත් ද සෝම යාඥය පිළියෙළ කරන කාලය, උපවසථ දිනය, ග්‍රාමය, යාගයට පූර්ව වූ දිනය, පෝය දවස, අටසිල් හා පාමොක් උදෙසන (භික්ෂූන්) දිනය, උපවාසය යන අරුත් ද ජනිත කරයි.

මෙහි අරුත් අනුව අපට වටහාගත හැකි වන්නේ ‘උපෝසථය’ වූ කලී අභිචාර විධි මුල් කොට ගත් යම්කිසි ආගමික දිනයක් වන බවය. වෛදික ඇදහීම්වලට අනුව දෙවියෝ විශේෂ දිනවල දී ශුද්ධ ස්ථානවලට රැස් වෙති.

මනුෂ්‍යයෝ ද දෙවියන් හා සහවාස වනු වස් එදිනට ශුද්ධ පිළිවෙත් පුරමින් ශුද්ධ ස්ථානවල වාසය කරති. බුදුරජාණන් වහන්සේ ද මෙය යම්තාක් දුරට අනුමත කළ අවස්ථාවක් අංගුත්තර නිකායේ සඳහන් වේ.

අටඨමියං භික්ඛවේ පක්‍ඛස්ස චතුන්නං මහාරාජානං අමච්චා පාරිසප්ජා ඉමං ලොකං අනුච්චරන්ති. කචචි බහු මනුස්සස්ස, මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ච කුලෙ ජෙට්ඨා පචායිනො උපෝසථං උපවසන්ති පටිජාගරන්ති පුඤ්ඤානි කරෝන්ති යන මෙහි විස්තර වන අන්දමට අටවක්, තුදුස්වක්, පසළොස්වක් පෝ දිනවලට දේව කොට්ඨාශ මනුෂ්‍යයාගේ හොඳ පිළිවෙත් පරීක්ෂා කරති.

යම් යම් වෙනස්කම් තැබූ මුත් ප්‍රධාන අර්ථය අතින් මෙහි පවත්නා සාම්‍ය බව අපට වටහා ගත හැකිය.

පූර්වෝක්ත ඇදහිලි හා විශ්වාස පදනම් කරගෙන සමකාලීන භාරතීය ආගමික සියලු සංස්ථාවෝ උපෝසථ දිනට,

* ආහාරයෙන් තොර වීම
* බ්‍රහ්ම චර්යාවෙන් යුතුවීම
* ආභරණ සුවඳ විලවුන් ගැල්වීම ආදී ශරීර සත්කාරයෙන් වෙන් වීම
* අව්‍යාපාරය හෙවත් රැකියාවන්ගෙන් වෙන්වීම

වැනි ව්‍රතයෝ සමාදන්ව විසූහ. විශේෂයෙන්ම පසළොස්වක දින සෝම යාගය පැවැත්වීමට කටයුතු කරන ඔවුන් ඊට පෙර දින, එනම් චාතුද්දසී දින දෙවියන්ට ආරාධනා කොට එදින දෙවියන් වෙනුවෙන් උපවාස කරයි. මෙසේ එකල භාරතයේ උපෝසථ දිනය සම්භාවිත වුවද සම්බුද්ධ ශාසනයේ සංඝ සමාජය තුළ එබඳු චාරිත්‍ර විධි අනුගමනයක් දක්නට නොතිබුණි. සමාජගත මේ පොදු පිළිගැනීම සංඝ සමාජයෙහි දක්නට නොලැබුණු නිසා මහජනයාගේ දැඩි දෝෂාරෝපණ පමණක් නොව උද්ඝෝෂණ ද ඇති වන්නට විය.

(මනුස්ස උජ්ඣායනති, බියන්ති, විපාවෙන්ති) මේ දුටු බිම්බිසාර රජු බුදු රදුන් වෙත එළැඹ, බෞද්ධයෝ අන්‍ය තීර්ථකයන් අනුගමනය කිරීම වළකනු සඳහා පාරම්පරික උපෝසථ දිනය වෙනුවට බෞද්ධ උපෝසථ ක්‍රමයක් පනවන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට තුදුස්වක් පසළොස්වක් දින රැස්වීමට අනුදැන වදාළහ. මෙසේ බෞද්ධ සමාජය තුළ උපෝසථය ඇරඹීමට බලපෑ ප්‍රධාන සාධක තුනක් (03) අපට පෙන්වා දිය හැකිය.

මහජන මතය

* මහජන උද්ඝෝෂණ
* සමකාලීන උපෝසථ ව්‍රත - වැඩි වශයෙන් ජෛන සමයේ පැවති ‘පෝසධ’ දින සමාදානය
* බිම්බිසාර රජුගේ ඉල්ලීම

සැබවින්ම මේ කරුණු සලකා බුදුරදුන් උපෝසථ දිනය අනුදැන වදාළ ද එය අන්‍ය තීර්ථකයන් අනුගමනය කිරීමක් නොවන බව මෙහිලා දැක්විය යුතුය. එහෙත් බුදුරදුන් ‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසො පණ්ණරසො අටඨමියා ච පක්කෙසු සන්නිපතිතුන්ති’ යනුවෙන් උපෝසථය අනුදැන වදාළ කල්හි එම දිනවලට භික්ෂූහු රැස්ව තුෂ්ණිම්භූතව වැඩ සිටියහ.

ඒ එදින කළයුතු දෙයක් බුදුරදුන් නොවදාල බැවිනි. උපෝසථ දින දහම් ශ්‍රවණය කරනු පිණිස භික්ෂූන් කරා එළැඹි ජනයා උන්වහනසේගේ තුෂ්ණිම්භූත බවට නින්දා පරිභව කළහ. මේ බව සලකා බුදුරදුන් ‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසො පණ්ණරසො අට්ඨමියා පක්කේසු සන්තිපත්ත්වා ධම්මා භාසිතුන්හි’ යනුවෙන් උපෝසථ දිනයන්හි රැස්ව උවැසි උවසුවන්ට ධර්ම දේශනා කරන මෙන් අනුදැන වදාළහ. පසුව බුදුරදුන් බෞද්ධ භික්ෂුවගේ උපෝසථය වඩාත් අර්ථවත් කරලනු සඳහාත් බෞද්ධ උපෝසථයේ අනන්‍යතාව තහවුරු කරලනු සඳහාත් ‘මා විසින් භික්ෂූන්ට යම් ශික්ෂා පද සමූහයක් පනවන ලද ද ඒ ශික්ෂා පද ඔවුන්ට ප්‍රාතිමෝක්ෂය උදෙසීම් වශයෙන් අනුදන්නේ නම් යෙහෙකි. ඒ පාමොක් උදෙසීම ඔවුන්ට උපෝසථ කර්ම වන්නේ යැයි’ අදහස් කොට ප්‍රාතිමෝක්ෂය උදෙසීම අනුදැන වදාළහ.

එය භික්ෂුවගේ ශශික්ෂාකාමී බව වැඩීම පිණිසත් ශික්ෂාපද පිළිබඳ වූ පරිචය අභිවර්ධනය වීම පිණිසත් විශේෂයෙන්ම සංඝ සාමගි‍්‍රය ඇතිවීම පිණිසත් හේතු වූ බව මහාවග්ග පාල්‍යාගත තොරතුරුවලින් මොනවට පසක් වේ. අනුක්‍රමයෙන් සංවර්ධනය වූ භික්ෂු උපෝසථය පිළිබඳ නීතිරීති රාශියකින් සමලංකෘත විය.

උපෝසථයේදී පිළිපැදිය යුතු නීතිරීති පක්ෂයකට වරක් චාතුද්දසී හෝ පණ්ණරසී දිනයන්හි උපෝසථ කර්මය කළ යුතුය. උපෝසථය සඳහා විනයානුකූල සීමාවක් සකස් කර ගත යුතුය. මහා සීමාවක් තුළ නම් උපෝසථාගාරයක් සම්මත කරගත යුතුය.

සඟ මැද සම්මත භික්ෂුවක් විසින් විනය විචාරීමත් එබඳු භික්ෂූවක් විසින් විනය විසඳීමත් කිරීමෙන් පසු පාමොක් උදෙසිය යුතුය. සම්මත භික්ෂුවක් වුවත් විනය විචාල යුත්තේ එම පුද්ගලයාගේ තරාතිරම සලකාගෙනය. චෝදනා නැඟීමේදී චෝද්‍යයාගේ අනුමැතිය ලබා ගත යුතුය.

අනුපසම්පන්න පිරිස් මැද දී උපෝසථය නොකළ යුතුය. ආරාධනා කිරීමක් නැතිව පාමොක් නොදෙසිය යුතුය. ගිලන් භික්ෂුවකට උපෝසථය සඳහා පැමිණිය නොහැකි නම් ඔහු එයට ඡන්දය දිය යුතුය. යම් ශික්ෂාවක් දෙසීමේ දී ආපත්තියකට පත් භික්ෂුවක් වේ නම් එය ආවිකරණය කළ යුතුය.

වර්ග සංඝයා විසින් උපෝසථය නොකළ යුතුය. රාජභය ආදී උවදුරක් තිබේ නම් කෙටියෙන් පාමොක් දෙසිය හැක. නොඑසේ වුව සංක්‍ෂේපයෙන් පාමොක් දෙසිය නොහැක.

යථෝක්ත නීතිරීති සමඟින් සකස් වූ භික්ෂූ උපෝසථය සර්වකාලීනවම අර්ථ සම්පන්න විය. එම උපෝසථය දින කාරක, කර්තව්‍යාකාර ලෙස ප්‍රභේද වී නව වැදැරුම් වශයෙන් සාකච්ඡාප කළ හැක.

නව විධ උපෝසථ

ආදී බෞද්ධ ඇදහිලි අනුව තුදුස්වක්, පසලොස්වක් හා අටවක් යන දින තුනක් අමාවකත් උපෝසථ දින ලෙස පිළිගෙන තිබුණු නමුත් බුදු සමයට එය පැමිණෙන විට යම් යම් සංස්කරණ ඇතිවිය. එනම් දින වශයෙන්

1. චාතුද්දසී, 2. පණ්ණරසී 3. සාමග්ගී යනුවෙන් පෝය තුනක් විය.

1. චාතුද්දසී- පක්ෂයේ දින දාහතරක් (තුදුසක්) ගතවුණු පසු චන්ද්‍රයාගේ කලා පිරීම නිමිති කොට ගනු ලබන පොහොයයි. සෘතු තුනෙහි තුන්වැනි හා හත්වැනි පෝය චාතුද්දසී නම් වේ. මේ අනුව වර්ෂයකට චාතුද්දසී පෝය හයක් (06) වේ.

2. පණ්ණරසී- දින පහළොවකට පසු චන්ද්‍රයාගේ කලා පිරීම නිමිත්තෙන් ගනු ලබන පෝයයි. සෘතුවේ තුන්වැනි හා සත්වැනි පෝය හැර අනෙක් පෝය මීට අදාල වන අතර වසරකට පණ්ණරසී පෝය 18කි.

3. සාමග්ගී - මේ සඳහා දින නියමයක් නැත. සමඟි සංඝයාගේ යම් අසමගියක්, මතවාද ගැටුමක් ඇතිවන අවස්ථාවල ඒකමතිකත්වය ගොඩනඟාගෙන සාමග්ගී පෝය යොදා ගනී.

කාරක වශයෙන්

1. සංඝ- උපසම්පන්න භික්ෂූන් සිව් නමකට වඩා රැස් වූ විට එය සංඝ උපෝසථයයි. එහිදී විනයානුකූ®ල සීමාවකට රැස්ව පාමොක් දෙසිය යුතුය.

2. ගණ- උපසම්පන්න භික්ෂූන් තුන්නමක් රැස් වූ අවස්ථාවයි. සෘතු පෝය ආදිය සිහිපත් කොට පාරිශුද්ධිය ප්‍රකාශ කිරීමෙන් උපෝසථය අවසන් වේ.

3 පුද්ගල - භික්ෂූන් එක් නමක් හෝ දෙනමක් රැස් වූ විට අධිෂ්ඨාන උපෝසථය කරයි.

කර්තව්‍යකාර වශයෙන්

1. සුත්තුද්දෙස - මේ විභජනය කරනු ලබන උපෝසථ කර්මය අනුව කරන්නකි. සුත්තුද්දේසය, සංඝ උපෝසථයක දී ප්‍රාතිමෝක්ෂය උදෙසීම මත ගොඩනැඟී ඇත. එහිදී ප්‍රාතිමෝක්ෂය උදෙසිය හැකි ක්‍රම කිහිපයක් වන අතර කිසියම් පලිබෝධයක් නොවේ නම් සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂය උදෙසිය යුතුය.

2. පාරිශුද්ධි- පාමොක් උදෙසීමක් නොමැතිව පිරිසුදු බව ප්‍රකාශ කිරීමෙන් පාරිශුද්ධි උපෝසථය කරයි. එය ගණ උපෝසථයට අදාළය.

3. අධිට්ඨාන - හුදකලාව සිටින අවස්ථාවක දී උපෝසථය අධිෂ්ඨාන කිරීම අයත්ය. පුද්ගල උපෝසථයේ දී මේ කාර්යය කරයි.

මේ අයුරින් ප්‍රාග් බෞද්ධ පිළිවෙතකින් ගොඩනඟා ගනු ලැබූ භභික්ෂූන් විසින් වෙසෙසින්ම සමඟි සංඝයා විසින් කළ යුතු ප්‍රාතිමෝක්ෂ උද්දේසනය නම් වූ උපෝසථය, බෞද්ධ ආරාමික සංස්ථාවේ අතිශය සුවිශේෂී සංස්ථාවක් ලෙසත් සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථායි භාවයත් භික්ෂු පාරිශුද්ධිය හා සංඝ සාමගි‍්‍රයත් ගොඩනගන ඓතිහාසික පිළිවෙත් මඟක් ලෙසත් අගැයිය හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.