Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන්ගේ සුවිශේෂ අධ්‍යාපන ක්‍රම

බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා උපයෝගී කරගත් වචන රාශියක් ත්‍රිපිටකයේ සඳහන් වෙයි. එයින් ‘සත්ථා’ යන වචනය , ගුරුවරයා යන්නට යොදා තිබේ. නැතිනම් සසර දුකින් සත්වයින් එතෙර කරන ශාස්තෘවරයා ය. ලෞකික හා ලෝකෝත්තර යන සියලු දේ දත් නිසා බුදුරජාණන් වහන්සේට සත්ථා යනුවෙන් ව්‍යවහාර කැරේ.

දෙවියන්ට ද බුදු පියාණන් වහන්සේ ගුරුවරයා වූ බව බෞද්ධ සූත්‍රවල නිතර පෙන්නුම් කර තිබේ. බුදුරදුන් තුළ ගුරුවරයකු වශයෙන් කැපී පෙනුණ මූලික ලක්‍ෂණ හතරකි.

මැනවින් සියල්ල දත් තැනැත්තා (ජානතා) වෙයි. මැනවින් සියල්ල දැකිය හැකි තැනැත්තා (පස්්‍යතා ) ය. උසස් ආකල්ප මගින් කෙලෙස් මළ දුරු කරන්නේ (අරහතා) ය . සියල්ල ස්වයම් භූ ඤාණයෙන් මනා කොට අවබෝධ කරගත් තැනැත්තා (සම්මා සම්බුද්ධ) වේ යනුය. යමෙකුට උසස් ලෙස පාඩමක් කියා දී, එයින්, ශිෂ්ට සම්පන්න අය බවට පත්කිරීමටත් යහපත් පුරවැසියන් කිරීමටත් සමත් පුදුම කුසලතාවයක් තිබුණු නිසා බුදුන් වහනසේ උසස්ම ගුරුවරයා ලෙස හැඳීන්වීමට හැකි ය.

දැනීම, ආකල්ප, කුසලතා කෙනකුගේ ජීවිතය අවසානය දක්වාම අඛණ්ඩව පැතිර යා යුතු බව අධ්‍යාපන මනෝවිද්‍යාව හා එහි විෂය මාලාව සංවිධානය කැරේ.

බුදුරජාණන් වහන්සේගේ ගුරුභූමිකාව මගින් වත්මන් ගුරුභවතුනට ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මාර්ගෝපදේශනය ඉවහල් කර ගැනීමට හැකිය. ආධුනික ගුරුභවතුනට මෙන්ම ප්‍රවීණ අයටත් සිසුන්ගේ ස්වභාව සහ ක්‍රියා කළ යුතු ආකාරයත් ක්‍රියාත්මක කිරීම සඳහා පාදක කරගත යුතු මනෝභාවයත් පිළිබඳ පුළුල් දැනීමක් තිබිය යුතු ය. එය ගුරුවරයකු සතු විය යුතු විශේෂ සුදුසුකමකි. බුදුරදුන් තමා වෙත පැමිණි විවිධ තරාතිරමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාඩමක් කෙරෙහි පොළඹවන ආකාරය ඒ සඳහා භාවිතා කළ මනෝ විද්‍යාත්මක ක්‍රමෝපාය රැසක් දක්නට ලැබේ. එය පන්ති කාමරයක් තුළට සීමා නොවී ය . නොයෙක් අවස්ථා වලදී උචිත ලෙස , පරිසරයේ වාසියද යොදාගෙන තිබේ.

යම් පාඩමක් සාර්ථක කරගැනීම සඳහා ආධාරක අවශ්‍යය. එම ආධාරක විෂයයෙන් විෂයට, පාඩමෙන් පාඩමට වෙනස් විය යුතු යි. එම ආධාරක, එලෙස අවශ්‍ය අවස්ථාවලදී පමණක් උපයෝගී කර ගැනීම, දක්‍ෂ ගුරු භවතුන්ගේ කාර්යයයි. බුදුරජාණන් වහන්සේ ආධාරක යොදා ගත්තේ, අදාළ තැනැත්තාගේ මනසට යෝග්‍ය වූ ආකාරයට ය. රූපයෙන් මත් වූ ඛේමා තුළ, ඇයගේ රූපය පිළිබඳ ඇතිව තිබූ උඩඟුකම දුරු කිරීමට බුදුන් වහන්සේ යොදාගත් ආධාරක මෙහිදී කැපී පෙනෙයි. දෘෂ්‍ය ආධාරකයක් වශයෙන් ඛේමාට පෙනෙන පරිදි ලස්සන ස්ත්‍රික් මවා, උන්වහන්සේට පවන් සලන අතරතුර , ඇය වයසට පත් වී මිය ඇදෙන ආකාරයක් පෙන්වීමෙන්, ඛේමාට අවබෝධය ලබා දුන් අයුරු ප්‍රකටය.

මහා පන්ථක හිමියන් ගත් වෑයමෙන් චුල්ලපන්ථක හිමියන්ට සාර මසකින් වත් ගාථාවක් කට පාඩම් කරවන්නට නොහැකි වූ අවස්ථාවේ දී බුදුන් වහන්සේ සුදු රෙදි කැබැල්ලක් අතට දී

“රජො හරණං “ යැයි උගන්වා උපදෙස් දුන් අවස්ථාවේ සුළු වේලාවක් තුළදීම සත්‍යය අවබෝධකර ගැනීමට චුල්ලපන්ථක හිමියන් සමත් වූ බව පෙනෙයි. එසේම නන්ද තෙරුන්ට අවස්ථාවෝචිතව ආධාරක භාවිතයෙන්, අදාළ ධර්මය වටහා දුන් බව සනාථ වෙයි.

මෙලෙස බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම් ක්‍රම රාශියක් භාවිතා කරමින්, ධර්ම දේශනා කළහ. සාකච්ඡා ක්‍රමය, දේශනා ක්‍රමය, ඉන් විශේෂය. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ දී වත්මනේ ද එම ගැටලු, විසඳීමේ ක්‍රම කාලෝචිත ය. යම් පාඩමක ඉතා වැදගත් වූද සාර්ථක වූද කොටස වන්නේ පාඩමකට ප්‍රවේශ වක ආකාරයයි. බුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යම් අවබෝධයක් ලබා දීම සඳහා ප්‍රවේශ වූ ආකාරය ද සුවිශේෂ ය.

කිසාගෝතමී මිය ගිය තම බිළිඳාට සිදු වූ ඉරණම පිළිබඳ අනවබෝධයෙන් ක්‍රියා කළ බව තේරුම් ගත් උන්වහන්සේ , නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙස , ඇය ආපසු හරවා යවති. දිගින් දිගටම අබ සොයන ඇය, එම ප්‍රායෝගික අත්දැකීම මගින් සියල්ලන්ම මැරෙන බව වටහා ගනියි. තම පුතාට අත් වී ඇති ඉරණම තේරුම් ගැනීමට ඇයට, එහි දී හැකි වෙයි. බුදුන් වහන්සේ යම් මොහොතක දම් සභා මණ්ඩපයට වැඩම කළ ද එහි සිටින භික්‍ෂූන් වහන්සේගෙන්, කුමන කතාබහක නියැළී සිටියේදැයි විමසීම , බුදුන් වහන්සේගේ සිරිතක් විය. එහිදී ලැබෙන පිළිතුරට සාපේක්‍ෂව බුදුන් වහන්සේ ධර්ම දේශනා කළහ. සිසුන්ගේ අවශ්‍යතා හා රුචිකත්ව තේරුම් ගෙන, අවස්ථාවෝචිතව සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමට නම් ගුරුභවතුන් ඒ සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබාගැනීමට මඟ, බුදුන් වහන්සේ ගේ දේශනා පිළිවෙත් තුළින් ඉගෙන ගත හැකිය.

යම් පාඩමක, සංවර්ධනාත්මක ඉගැන්වීමේ පිළිවෙළක් තිබීම අවශ්‍යය. බුදුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරන්නේ, පිළිවෙළකට ය.

සීලයෙහි පිහිටා සමාධිය වඩා, ප්‍රඥාව දියුණු කිරීම තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය ඒ තුළින් පෙන්වා දී ඇත. සෑම දේශනාවකම මුල, මැද, අග කරුණු දැක්වීම, නිසි පිළිවෙළකට සිදු කර ඇත.

පාඩමක තවත් අංගයක් වනුයේ භාවිතය හා අගැයීම යි. ගුරුවරයකු පාඩම අවසානයේ සිසුන්ගේ දැනුම, ආකල්ප , කුසලතා වර්ධනය වූයේ දැයි ;සායා බැලීම අවශ්‍යය. ඒ සඳහා අගැයීමක නිරත විය යුතුවෙයි. වාචිකව හා ලිඛිතව මෙය සිදු කළ හැකි ය. බුදුරදුන් ශ්‍රාවකයන්ගෙන් වාචිකව ප්‍රශ්න කළ අයුරු පැහැදිලිය.

කමටහන් ලබා දුන් පසු උපාසක උපාසිකා , භික්‍ෂු භික්‍ෂුණීහු පසු කාලවලදී රහත් බවට පත් වූහ. එය, අගැයීමෙන් අනතුරුව ප්‍රතිපෝෂණය තුළින් ලත් ප්‍රතිඵල යි. මෙය ද, පාඩමක, අවසානයේ ඉලක්ක සපුරා ලීම සඳහා සිසුනට ලබා දිය යුතු දෙයකි.

මෙයට අමතරව ශිෂ්‍යයා නිවැරැදි මගට ගැනීමට යහපත් කටයුතු වල යෙදවීමට, අවවාද අනුශාසනා දීම, හොඳින් ශිෂ්‍යයා රැක බලා ගැනීම, ශිල්ප ශාස්ත්‍ර මනාව ඉගැන ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම ගුරුවරයා සතු පරම යුතුකමකි. ඒ සඳහා වත්මන ගුරුභවතුනට බුදුරදුන්ගේ චරිතය තුළින් ගත හැකි මාර්ගෝපදේශය විශාලය .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.