Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මංගල සූත්‍ර දේශනාව සාර්ථක ගිහි ජීවිතයකට අවශ්‍ය උපදෙස් ඇතුළත් අගනා දේශනාවකි. පුද්ගල දියුණුවට හේතු වෙතියි පුද්ගලයන් බෙදී ඉදිරිපත් කළ මිථ්‍යා මත බැහැර කරමින් පුද්ගලයාගේ දෙලොව දියුණුව සදහා ජීවිතයට එක් කර ගත යුතු කරුණු රැසක් බුදුරජාණන් වහන්සේ මෙහි දී දේශනා කළහ.

එම කරුණු සර්ව කාලීන අගයකින් යුක්ත වෙයි. බුදුරදුන් පහළ වූ සමයේ භාරතීය සමාජය සැකසී තිබුණේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පදනම් කරගෙනය. චතුර් ආශ්‍රමධර්ම අනුව පුද්ගලයා , කුඩා කල ඉගෙනීමෙහිත්, තරුණ වියේදී අවාහව කුටුම්බ රක්‍ෂණයේත්, අනතුරුව ලෞකික සැපයෙන් ඉවත්ව මුනි ව්‍රතයක් ගෙවිය යුතුවෙයි.

මෙලෙසින් සැකසී තිබුණු සමාජයේ සිටි අයට යි බුදුන් වහන්සේට දහම් දෙසීමට සිදු වුණේ. පරම්පරා ගණනක සිට බ්‍රාහ්මණ ඉගැන්වීම් පාදක කරගෙන හැදී වැඩී සිටි අයයි බුදුන් වහන්සේ ගේ නව ධර්මය අසා තෙරුවන් සරණ ගියෝ, මේ නිසා බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පුරුදු දිවි මඟ වෙනස් නො කර, ඒ එක් එක් අවස්ථාවලදී අනුගමනය කර දෙලොව අභිවෘද්ධිය සලසා ගැනීමට උපකාර වන උපදෙස් ඇතුළත් කරමින් සිදුකළ දේශනාවක් ලෙස මහා මංගල සූත්‍රය සැලකිය හැකි ය.

මිථ්‍යාවක් පිළිගෙන කළ සදිසි වන්දනාවට බුදුරජාණන් වහන්සේ නව අර්ථ කථනයක් දුන්හ.

‘ජන්මයෙන් වසලයකු වෙයි’ යන මතය බැහැර කරමින්, ක්‍රියාවෙන්ම කෙනෙක් වසලයකු වන බව වසල සූත්‍රයෙන් පැහැදිලි කර දුන් සේක. එමෙන් දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල වශයෙන් පුද්ගල දියුණුවට හේතු වෙති’යි පිළිගත් මිත්‍යා අදහස් බැහැර කරමින්, දියුණුවට හේතු වන, පරිහානිය වළක්වා ගැනීමට හේතු වන, ශ්‍රේෂ්ඨ උපදේශ ඇතුළත් දේශනාවකි, මංගල සුත්‍රය .

මංගල සූත්‍රයේ එන උපදෙස් ඉදරිපත් කර ඇති පිළිවෙළ විමසා බැලීමේ දී, එය ජීවිතයේ ළමා, තරුණ, මහලු යන අවස්ථා තුන සලකා, එක් එක් අවස්ථාවලදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් කොට දෙසූ බුද්ධ දේශනාවකි’යි කීමට කරුණු ඇත. පුද්ගල ජීවිතය හා සම්බන්ධ යාවජීව (බෞද්ධ ) අධ්‍යාපනය අන්තර්ගත සූත්‍රය ලෙස ද මංගල සූත්‍රය සඳහන් කරීම සුදුසු ය. සාර්ථක ජීවිතයක පදනම වැටෙන ළමා කාලය අතිශයින් වැදගත් ය. පිරිපුන් මනුෂ්‍යයකු වීමට මේ කාලයේ ලබන ශික්‍ෂණය අතිශයින් උපකාර වෙයි. මංගල සූත්‍ර දේශනාවේ මුල් කොටසේ ගුණ නැණ දෙකින් යුත් පුද්ගලයකු බිහි කර ගැනීමට අවශ්‍ය හරවත් උපදෙස් ඉදිරිපත් කර ඇති බව පෙනෙයි.

ළමා වයසේ සිටින අයට තම අධ්‍යාපනයේ පරමාර්ථ සඵල කර ගැනීමට මේ උපදෙස් කොතරම් අගනේ ද? බාලයන් ආශ්‍රයෙන් වැළකී සිටීම පණ්ඩිතයන් හෙවත් ගුණ නුවණින් පිරිපුන් අය ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, සුදුසු පෙදෙසක විසීම, පෙර පින් ඇති බව, සිත මනා සේ පිහිටුවා ගැනීම, බහුශ්‍රැත බව හෙවත් උගතකු වීම , ශිල්පීය දැනුමක් ලැබීම, තිදොර සංවර කර ගැනීම හෙවත් විනය ගරුක අයකු වීම , පි‍්‍රය වචන කථා කිරීම , මංගල සූත්‍රයේ මුල් ගාථාවල ඇතුළත් උපදෙස්ය.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් බිහි කිරීම, අධ්‍යාපනයේ මූලික අරමුණ යි, බාල පරපුරට ඒ අරමුණ කරා ළං කිරීමට බුදුන් වහන්සේ වදාළ මේ උපදෙස් ටික වුවද සෑහෙයි. මේ අගනා ගුණාංග ළමා පරපුරට එක් කිරීමට සමත් වුවහොත් ඔවුන් ගුණ නැණ දෙකින් පෝෂිත පිරිසක් වීම, ඒකාන්ත ය.

අධ්‍යාපන කාර්යය නිමවා, ආවාහ විවාහ ජීවිතයට පත්ව කුටුම්බ රක්‍ෂණයේ යෙදෙන අයට, එම ජීවිතය සාර්ථක කරගැනීම ට අවශ්‍ය උපදෙස් ඉදිරිපත් කිරීමක් මංගල සූත්‍රයේ මැද කොටසේ ඇතුළත් ගාථාවලින් පෙනී යයි. එම කොටසෙහි ඇතුළත් මවුපියන්ට උවටැන් කිරීම අඹුදරුවන්ට සංග්‍රහ කිරීම , නිරවුල් කර්මාන්ත කිරීම, ධාර්මිකයෙකු වීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම නිරවද්‍ය කර්ම වල යෙදීම, පවෙහි නො ඇලී ඉන් වැළකී සිටීම මත්පැනින් වැළකීම යන කරුණු සාර්ථක ගෘහ ජීවිතයක් ඉලක්ක කරගෙනම දේශනා කරන ලද බව පැහැදිලි ය.

සූත්‍රයේ අවසාන භාගයේ ඇතුළත් කරුණු අතරින් ලද දෙයින් සතුටු වීම , සුදුසු කල ධර්ම ශ්‍රවණය , ඉවසීම, ශ්‍රමණයන් වහන්සේ දැකීම, සුදුසු කල ධර්ම සාකච්ඡාවල යෙදීම , තපස හෙවත් ශීල සමාදානය , බඹසර රැකීම, ආර්ය සත්‍ය අවබෝධයට ක්‍රියා කිරීම , නිවන සාක්ෂාත් කර ගැනීම, අටලෝ දහමින් නො සැලීම, ශෝක රහිත වීම , රාග රහිත වීම, නිර්භය සිත යන කරුණු ජීවිතයේ සැඳෑ සමයේ ලෞකික බන්ධනවලින් පුද්ගලයා නිදහස් කරගෙන ආධ්‍යාමික දියුණුව සඳහා යෙදවීම අපේක්ෂා කරගෙන දේශිත බව පෙනෙයි.

තෙරුවන් සරණ ගිය අයට ගෘහ ජීවිතයේ සිටම දෙලොව දියුණුව සලසා ගැනීමට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර සිදු කළ දේශනා රැසක් ඇත. සිඟාලෝවාද , ව්‍යග්ඝපජ්ජ , පරාභව, වසල යන සූත්‍ර ද, ඉන් ප්‍රකට ය.

ඉහත සඳහන් සූත්‍ර වලටත් වඩා ඉතා කෙටියෙන් පුද්ගලයාගේ සමස්ත ජීවිතයට වැදගත් කරුණු ඇතුළත් කරමින් කළ දේශනාවක් ලෙස මංගල සූත්‍රය අගය කළ හැකි ය. අන්තර්ගත කරුණු වෙන් වෙන් වශයෙන් ගෙන අගය කරනවාට වඩා , එහි සඳහන් උපදෙස් ඉහත සඳහන් ආකාරයට බෙදාගෙන තමන් පසු කරන අවධියට අනුරූප උපදෙස් ජීවිතයට එකතු කර අනුගමනය කළහොත් ඔවුනට එයින් මංගලයක්ම , දියුණුවක්ම සිදු වනු ඒකාන්ත ය. පරිහානිය දුරස් වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.