Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ඉතා ඉහළින් රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට පෙරහර කමිටුව මගින් පියවරගෙන ඇත.

ඒ සඳහා රජයේ සහයෝගය ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා විසින් අවශ්‍ය පියවරගෙන ඇත.

පැරණි චාරිත්‍රානුකූලව පුද සිරිත් පැවැත්වීම සඳහා කෝට්ටේ , මිරිහාන පාගොඩ හා බැද්දගාන යන සතර පේරුවේ දායකයින් හා ගම්වැසි බැතිමතුන්ද ඉදිරිපත්ව සිටී.

අගෝස්තු මස 17 වන දින රාත්‍රී සර්වරාත්‍රික මහපිරිත් දේශණයකින් පෙරහර මංගලෝත්සවය ඇරඹෙන අතර 19 වන දින රාත්‍රි 8.30 ට උතුර බලා කප් සිටුවීම සිදුකෙරේ.

20 වන දින හා 21 වැනි දින රාත්‍රී තේවාවන් සිදුවේ. 22 වන දින කුඹල් පෙරහරද, 23 වන දින හා 24 , හා 25 වෙනි දිනවල මල් පෙරහර පැවැත්වේ.

26 වන දින පාවඩ පෙරහරද 27 වන දින වීදි පෙරහරද 28 වන දින රන්දෝලි පෙරහරද 29 වෙනි දින ශ්‍රී දළදා මහා පෙරහරද පැවැත්වේ.

අගෝස්තු 30 වෙනි දින උදේ දියකැපීමේ පෙරහර විහාරස්ථානයෙන් පිටත් වී, දියවන්නා ඔයේ දී දිය කැපීම් සිදුකෙරේ.

එදින දවල් ඇතුල්කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙන් විහාර දායක සභාව මගින් දේවදානය පිරිනැමේ.

සවස් පෙරහර ගෙවැදීමෙන් පසු කෝට්ටේ රජමහා විහාරස්ථ දායක සභාව මගින්ද දේවදානය පිරිනමා උත්සවය අවසන් කෙරේ.

කෝට්ටේ රජමහා විහාරාධිපති අළුත්නුවර අනුරුද්ධ නා හිමි, හා දායක සභාවේ සභාපති නිශාන්ත සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය මගින් පෙරහර සංවිධානය කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.