Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිවාර සෑ රදුන්ගේ චූඩා මාණික්‍ය පැළැඳවීමේ උළෙල

අනුරාධපුර රුවන්මැලි මහ සෑ සලපතල මළුවේ පිහිටි පරිවාර චෛත්‍ය රාජයාණන් වහන්සේලාගේ චූඩා මාණික්‍ය පැළඳවීමේ මහා පුණ්‍යෙීත්සවය අගෝස්තු මස 08 , 09 යන දෙදින තුළ මහත් උත්සවාකාරයෙන් පැවැත්වේ.

මහනුවර මැදබෝවල බෝධියංගනාරාමයේ විහාරවාසී අනුරාධපුර ධම්මදස්සී නා හිමියන්ගේ අනුශාසනා මත අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමිවරුන්ගේ අනුශාසනා හා අවසරයෙන් එම මහා ඓතිහාසික පුණ්‍යෙීත්සවය පැවැත්වේ. අගෝස්තු මස 08 වනදා ථූපාරාම විහාරස්ථානය සමීපයේ දුටුගැමුණු විශ්‍රාම ශාලාව අබියසින් පස්වරු 4.00 දර්ශනීය පෙරහර ආරම්භ වේ.

එක් චූඩා මානික්‍යයක් අඟල් හයක (06) උසින් යුක්ත වන අතර එම පුණ්‍යෙීත්සවය වෙනුවෙන් දායක කාරකාදීන් විසින් රුපියල් ලක්‍ෂ පහක මුදලක් වැය කරන බව අනුරාධපුර ධම්මදස්සී හිමියෝ පැවසූහ .

මෙම උත්සව අවස්ථාවට සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරු සහ මහා සංඝරත්නයද උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරුමැද ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ජාතිය නගාසිටවීමේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්සකරල්ලියද්ද , අනුරාධපුර නගරාධිපති ලංකා කේ.කල්දේරා , මහ දිසාපති එච්.එම්. කේ. හේරත් , උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති අශෝකා විජේතිලක යන මහත්වරු විශේෂයෙන් සහභාගි වනු ඇත.

අගෝස්තු මස 08 දින සර්වරාත්‍රික පිරිත් දේශනයක් පවත්වා පසුදින (09) මහා සංඝරත්නය උදෙසා හීල්දානය පිරිනැමීමෙන් මෙම ඓතිහාසික උත්සවය අවසන් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.