Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පොහොය

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයන් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළඹෙන හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවයි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන්ම කළ යුතුය. එය බුද්ධ නියමයයි.

ප්‍රථම සංගීතිය

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති “ නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී. ඇසළ පුන් පොහෝදා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවියදා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දී සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්ම සංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී.සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ. වීර්ය සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මඳක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා ;පාළොවෙන් මිදිණ.

හිස කොට්ටයට නො පැමිණියේ ය. මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන් වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදුවිය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.

පොහොය වර්ණනාව කෘතියෙනි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.