Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මෙන්ම අබෞද්ධ ජනතාවගේද විශේෂ අවධානයට පාත්‍රව පවතින්නා වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කිරීමේ දී දියවඩන නිලමේතුමන් වෙත සුවිශාල කාර්යභාරයක් හා වගකීමක් පැවරේ. පෙරහර සංවිධාන කටයුතු පිළිබඳව හා එය සංවිධානය කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය

මෙරට කොතෙකුත් ආගමික උත්සව පැවතුණත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස කවුරුත් මේ ආගමික උත්සවය පිළිගැනීමට ලක්කරනවා. මෙවන් වූ සුවිශේෂත්වයක් මහනුවර ඇසළ පෙරහරට හිමිවන්නේ කුමන හේතූවක් නිසාද ?

පිළිතුර - පැරැණි රජ දවස පටන් මෙරට ජනතාව ජීවමාන බුදුරදුන් ලෙස සැලකුවේ දළදා වහන්සේයි. හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ එදා කිත්සිරි මෙවන් රජ දවස අනුරාධපුර රාජධානියට වඩමවා ගෙන ආවා. එතැන් පටන් ඉංගී‍්‍රසින් මෙරට අවසන් රාජධානිය වන සෙංකඩගල පුර අත්පත් කර ගන්නා තුරු රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සලකමින් දළදා වහන්සේ ආරක්ෂා කළා. රටේ සෑම පුද්ගලයකුම එදා පටන් දළදා වහන්සේ උදෙසා පූජෝපහාර පැවැත්වීමට අපේ රටේ ජනතාව අමතක කළේ නැහැ. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාවේ වැඩ හිඳිනා දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සතර මංගල්‍යයන් සිදු කරනවා. ඒ අතරින් ප්‍රධාන තැන හිමිවන්නේ ඇසළ පෙරහර මංගල්‍යයටයි. මෙවැනි වූ සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ කිසිදු රටක පවත්වන්නේ නැහැ. අලි ඇතුන් 100 ක් සමඟ ශිල්පීන් දහසක් පමණ එකවර මේ කලා මංගල්‍යයට සහ සම්බන්ධ වෙනවා. කිලෝමීටර් තුනක් පමණ දිගට මේ ශිල්පීන් පෙලහර දක්වනවා. ඉතින් මෙය හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස නොහඳුන්වා පුළුවන්ද?


ප්‍රශ්නය

මහනුවර ඇසළ පෙරහර තුළ බොහෝ විට දක්නට ලැබෙන්නේ උඩරට සම්ප්‍රදායන්ට අයත් නර්තන පමණයි. මෙරට වෙනත් ප්‍රදේශ නියෝජනය කරන කලා ශිල්පීන්ට මේ තුළ ඉඩක් නොලැබෙන්නේ ඇයි ?

පිළිතුර - පෙරහර තුළ අන්තර්ගත සෑම නර්තන අංගයක්ම උඩරට සම්ප්‍රදායන්ට අයත් ඒවායි. දළදා වහන්සේ කන්ද උඩරටට වැඩම කිරීමෙන් පසු සෙංකඩගලපුරය කේන්ද්‍ර කර ගනිමින් පෙරහර පැවැත්වීම නිසා මුල් කාලයේ උඩරට කලා ශිල්පීන් යොදාගෙන ඇරඹි පෙරහර ඒ ආකාරයෙන්ම සම්ප්‍රදායක් බවට පත්ව මේ වනතුරු ආවා විය හැකියි. උඩරට වෙස් නැටුම්, තයියඩි හා උඩරට ජන නැටුම් අද පෙරහර තුළ දැකිය හැකියි. ජපන් බෙරයක් වයමින් එරට භික්ෂුවක් කලක් ඇසළ පෙරහරේ ගමන් ගත්තා. මා එම අංගය පෙරහරින් ඉවත් කළා. මෙරට පහතරට හා සබරගමු නැටුම් පවා මහනුවර ඇසළ පෙරහරේ නොමැති කොට විදේශීය රටවල බෙරවාදන පෙරහර තුළ තිබිය යුතු නැහැ කියන ස්ථාවරයේ මම ඉන්නවා.


ප්‍රශ්නය

පෙර රජ දවස රජුගෙන් යම් වරදාන ලබාගත් අය පෙරහර අලංකාර කිරීම සඳහා සහසම්බන්ධ වූයේ තමන්ගෙන් යුතුකමක් හා වගකීමක් ඉටුකිරීම සඳහා කැපවන ආකාරයටයි. දළදා පූජෝපහාරයට සම්බන්ධවීම තම ජීවිතයේ භාග්‍යයක් ලෙස සලකූ ඔවුන් ඒ වෙනුවෙන් මුදල් ගැනීමක් කළේ නැහැ. එහෙත් අද බොහෝ පිරිස් මුදල් ලබාගැනීම අරමුණු කරගනිමින් පෙරහරට සම්බන්ධවීම මගින් පෙරහරේ ගුණාත්මක බව පිරිහෙමින් පවතිනවා නේද?

පිළිතුර - පැරැණි රජ දවස පෙරහර සඳහා ශිල්පීන් සහභාගි වූයේ ඔවුන්ගේ රාජකාරියේ කොටසක් ඉටුකිරීමක් වැනි හැඟීමකින් යුතුවයි. රජු ඒ ඒ ජනකොටස්වලට විවිධ වැඩකටයුතු පැවරුවා. පෙරහර කිරීම සඳහා සහාය ලබාදීම කලා ශිල්පීන්ට පැවරුවා. ඔවුන් ඒ සඳහා කැපවී සිටියා. කිසිදු මුදලක් ලාභයක් අපේක්ෂා නොකර ඔවුහු පෙරහරට සම්බන්ධ වුණා. අද තත්ත්වය වෙනස්. නර්තන හැකියාව ඇති ඇතැමුන් කිසිදු නර්තන කුසලතාවක් නොමැති පිරිස් සම්බන්ධ කැරගෙන කණ්ඩායමක් ලෙස පෙරහරට එක්වෙනවා. මේ අතර කුඩාම ළමුන් පවා ඉන්නවා. ලැබෙන මුදල් වලින් ඉතා සුළු මුදලක් අර දරුවන්ට ලබාදී සෙසු මුදල් මේ පිරිස සාක්කුවට දාගන්නවා. මෙවැනි තත්ත්වයක් හමුවේ පෙරහරේ ගුණාත්මක බව පිරිහෙනවා. දැන් වසර කිහිපයක පටන් මම පෞද්ගලිකව මැදිහත් වී දළදා මාලිගාවේ පෙරහරට එක්වන ශිල්පීන් පරීක්ෂණයකට ලක් කරනවා. නර්තනය හැදෑරු අයකු ලෙස මට එය පහසුවෙන් කළ හැකියි. මේ අනුව අපේ දළදා පෙරහරේ ගුණාත්මක බව තවතවත් වර්ධනය කිරීමට පියවර ගන්නවා. අද දළදා මාලිගා පෙරහරේ ගමන්කරනා සියලු ශිල්පින්ට හොඳින් නටන්න පුළුවන් කියලා මම නිබයව කියනව. මේ ශිල්පීන්ගේ ඇඳුම් පැළඳුම් ගැන පවා සොයා බලනවා.


ප්‍රශ්නය

පාරම්පරික කලා ශිල්ප ක්‍රම සඳහා සමාජයේ ඉහළ පිළිගැනීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ නිසාම මවුපිය උරුමයෙන් කලා හැකියාවන් ලබන උදවිය වැඩිදුරටත් එහි රැඳී නොසිට වෙනත් රැකියා සඳහා යොමුවෙනවා. අනාගතයේ පෙරහර පැවැත්වීම කෙරෙහි මෙම සිද්ධිය විශාල බලපෑමක් ඇති කරාවි නේද?

පිළිතුර - ඔව්, අද පාරම්පරික කලා ශිල්පීන් බොහොමයකගේ දරුවන් කලා වෙන් ඈත්වෙලා. මෙම කලාවන් සඳහා පවතින සමාජ පිළිගැනීමත් ආර්ථික වටිනාකමත් අඩුවීම නිසා තරුණ පරපුර ඒ සඳහා යොමුවෙනවා අඩුයි. පසුගිය වසරේ අපි රුපියල් මිලියන 1 1/2ක් පමණ වැයකර පෙරහරේ දක්ෂතා දක්වන ශිල්පීන්ට මුදල් ත්‍යාග ලබා දුන්නා. හොඳම නර්තන ශිල්පියා, තම්මැට්ටම් හා දවුල් වාදන ශිල්පියා, පෙරහරේදී තෝරා ගන්නවා. ඔවුන්ගේ දක්ෂතා අගයමින් සහතිකයක් පමණයි ලබා දුන්නේ. නමුත් ගිය වසරේ සිට මුදල් ත්‍යාග ලබාදී ඔවුන් දිරිමත් කිරීමට මා පියවර ගත්තා. මේ වසරේදීත් එය සිදු කරනවා. මේ සියල්ල සමඟ අපි මෙම කලා ශිල්පීන් අගය කරමින් ඔවුන්ගේ හැකියාවන් සඳහා නිසි වටිනාකමක් සමාජය තුළින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරැඹිය යුතුයි.


ප්‍රශ්නය

පෙරහර තුළ අලි ඇතුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. කරඬුව වැඩමවීම සිදුකරන්නේ හස්ති රාජයකු මතිනුයි. අද වනවිට මෙරට හීලෑ අලි සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ඔබ නිතර පවසනවා.

පිළිතුර - මේ වනවිට ලංකාවේ ජීවත්ව සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 120 යි. මේ අතුරින් 90% ක් පමණම අලි ඇතුන් වයස අවුරුදු 60 සම්පූර්ණ කරලයි ඉන්නේ. ඒ අනුව පෙනී යන කාරණය වන්නේ දැනට සිටින තරුණ හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 30කටත් අඩු බවයි. ඒ අතරින් කරඩුව වැඩමවිය හැකි සතුන් සිටින්නේ හරියටම හත්දෙනයි. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුයි. මීට දැන් සිටම පිළියම් නොයෙදුවහොත් අනාගතයේ පෙරහර කරන්න සිදුවන්නේ අලි ඇතුන් නොමැතිවයි. මුදල් සඳහා සත්ව හිංසාවට එරෙහිව වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සංවිධාන පෙරහරේ අලි ඇතුන් ගමන් කිරීම මගින් එම සතුන්ට හිංසා සිදුවන බවට චෝදනා කරනවා. එංගලන්තයේ ආශ්ව රේස්, ආදියේදී සතුන්ට සිදුවන හිංසා ගැන මේ අය නිහඬයි. මෙතන තියෙන්නේ සත්ව හිංසාවටත් වඩා අපේ ආගමික උත්සව වලට අලින් යොදා ගැනීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් .


ප්‍රශ්නය

සතර මහ දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර දින 05 ක් පැවැත්වෙනවා. අනතුරුව කුඹල් පෙරහරත් රන්දෝලි පෙරහරත් දින 10 ක් වීදි සංචාරය කරනවා. මේ ආකාරයෙන් මතු පිටට නොපෙනෙන සුවිශාල සංවිධානාත්මක ක්‍රියාවලියක් පෙරහරේ සාර්ථකත්වය පසුපස තිබෙනවා නේද?

පිළිතුර - ඇත්තටම පෙරහර සඳහා අප සූදානම් වන්නේ මාස හය හතක් කල් තිබියදීයි. පෙරහරේ සියලු කාර්යයන් සිදු කරන්නේ නැකැත් චාරිත්‍රයන්ට අනුකූ®ලවයි. කප් සිටුවීම, පෙරහර කරඬුව දළදා සමිඳුන් වැඩසිටින කුටියෙන් පිටතට වැඩමවීම, පෙරහර පිටත්වීම මේ සියල්ල කෙරෙන්නේ සුබ වේලාවන්ට අනුවයි. මෙයට අමතරව කලා ශිල්පීන් තෝරා ගැනීම, ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් සැකසීම, අලි ඇඳුම් මසා නිමකිරීම, පන්දම් හා කොප්පරා සූදානම් කිරීම මේ සියල්ල කල්තියා ආරම්භ කළ යුතුයි. පෙරහරට සම්බන්ධ වන අලි ඈත දුර බැහැර සිට පා ගමනින්ම නුවරට පැමිණෙනවා. සමහර ඇතුන් පෙරහරට මාසයක් පමණ තිබියදී මහනුවරට පැමිණීමේ ගමන් අරඹනවා. ඇත් ගොව්වන් ලැන්තෑරුම් ගෙන නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ එන මේ ගමන බොහෝ දෙනකුගේ නෙත ගැටෙන්නේ නැහැ. මෙවන් වූ අති සංකීර්ණ වූ සංවිධානාත්මක ක්‍රියාවලියක් පෙරහර පසුපස තිබෙනවා.


ප්‍රශ්නය

පෙරහර සඳහා අතිවිශාල මුදලක් වැය වනවා නේද?

පිළිතුර - මෙවර පෙරහර සඳහා රුපියල් ලක්ෂ 300ක් වැය වෙතැයි අප අපේක්ෂා කරනවා. රජය මගින් ආරක්ෂාව, ජලය, විදුලිය, ප්‍රවාහනය ආදී පොදු පහසුකම් ලබාදීම සිදුකරනවා. පෙරහර දින 10 තුළ සම්බන්ධ වන අලියකුට පමණක් අප ලක්ෂයක මුදලක් ගෙවිය යුතුයි. මෙවර පෙරහරට අලි අඩුම තරමින් 80ක්වත් සහභාගි කරනවා.


ප්‍රශ්නය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් අවසන් වන්නේ ඔබ ඇතුළු බස්නායක නිලමේවරුන් පෙරහර සංදේශය මහනුවර ජනපති මැදුරට ගොස් ජනාධිපතිතුමා වෙත බාර දීමෙන් පසුවයි. එම පාරම්පරික චාරිත්‍රය කුමක්ද?

පිළිතුර- මෙය පෞරාණික චාරිත්‍රයක් ඉටු කිරීමක් ලෙස හැඳින්විය හැකියි. පැරැණි රජ දවස සිට ක්‍රියාත්මක මෙම චාරිත්‍රය මගින් පෙරහර සාර්ථකව පවත්වා නිමකළ බව රජුට සංදේශයක් මගින් දන්වා සිටිනවා. ඉදිරියේදී පෙරහර සාර්ථක කර ගැනීම සඳහා කරන ඉල්ලීම්ද මීට ඇතුළත් කෙරෙනවා. මේ කෙරෙන ඉල්ලීම් අතරින් බොහොමයක් මෙතෙක් ඉටුවුනේ නැහැ. එහෙත් වත්මන් ජනපතිතුමන් රටේ නොයෙකුත් ප්‍රශ්න තිබියදී ඒවාට විසඳුම් ලබාදෙන අතරතුර අපේ ඉල්ලීම්ද ඉටුකළා. වන්දනා ගමන් ආඥාපනත යටතේ් මෙරට ප්‍රධාන දේවාල 32 ක් ගැසට් කිරීම, දේවාල හා පූජනීය ස්ථානවල පැවැති ඉඩම් ආරවුල් නිරවුල් කිරීම, ප්‍රධාන පූජනීය ස්ථාන පිහිටි ගොඩනැගිලි හා හ®මි ප්‍රදේශ පුරාවිද්‍යා ස්මාරක ලෙස නම්කර ඒවා පූජා නගර බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීම මේ අතරින් ප්‍රධානයි. මේ පිළිබඳව අප ජනපතිතුමන්ට ස්තූතිය ප්‍රකාශ කරන අතරම එතුමාට ගෞරවයක් ලෙස මෙවර පෙරහර සංදේශයෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකර සිටීමට අප කි‍්‍රයාකරනවා.


ප්‍රශ්නය

වසර 30 කට ආසන්න කාලයක් පැවැති ත්‍රස්තවාදී ප්‍රශ්නය අද නිමාව දැක තිබෙනවා. පසුගිය කාලවල ඇසළ පෙරහරටද පහර දෙන බවට කොටි ත්‍රස්තවාදීන් නොයෙක් තර්ජන සිදුකළා. මේ පිළිබඳ ඔබේ අදහස ?

පිළිතුර - ත්‍රස්තවාදී ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම පිළිබඳව අප ජනපතිතුමන් ඇතුළු ආරක්ෂක හමුදාවන්ට ගෞරවනීය ස්තූතිය පුදකළ යුතුයි. අද මෙරට මෙන්ම විදේශ ජනතාවටද බියක් නොමැතිව පෙරහර නැරඹිය හැකියි. පසුගිය කාලවල විදේශිකයන් මෙරටට නොපැමිණියේ ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසයි. දැන් ඒ ප්‍රශ්න කිසිවක් නැහැ. තිස් වසරකට පසු ත්‍රස්තවාදයෙන් මිදුණු මේ රට තුළ කෙරෙන ප්‍රථම ඇසළ පෙරහර මංගල්‍යය මෙයයි. බියක් සැකයක් නොමැතිව පෙරහර සංවිධානය කිරීමට අපට අද හැකියාව ලැබී තිබෙනවා. මේ නිසාම පෙරහර මාර්ග දික් කිරීමටත් අප පියවර ගත්තා. අතිවිශාල ජනතාවක් පෙරහර නරඹන්න එන බව අපට විශ්වාසයි. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂක අංශවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිිටින්නටද මම කැමැතියි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.