Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කඹුරාවල සිරි රේවත හිමියන්ට ‘විශ්ව සමය සභාගචාරී ශ්‍රී සෝභිත’ යන ගෞරව නාමය සහිත එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අගෝස්තු 1 වන දා පස්වරු 3.00 ට කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී සිදුකැරේ
 


සුදුසුකම් රැසක් තිබෙනවා

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වඩාත් හොඳින් වටහාගත් භික්‍ෂූන් වහන්සේට සේවය සඳහා නික්ම යාමේ දී මොනම ආකාරයේ හෝ දේශ සීමාවක් නම් නැත්තේ ය. එය වනාහි මේ ලෝකයද ඉක්මවා යන්නකි. කාම රූප අරූප යන තුන් ලෝකයටම පැතිරී යන්නකි.

විදේශ ධර්මදූත සේවය සඳහා මූලික සුදුසුකම් තුනක් තිබිය යුතු යැයි මට හැඟේ. එයින් පළමුවැන්න නම් විදේශයකට ගොස් එහි ජනතාවට දීමට තරම් අර්ථවත් හරවත් දෙයක් තමන් සතුව තිබීමයි.

බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් තුළ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය පිළිබඳව එක්තරා පමණකට හෝ පිරිසුදු, පැහැදිලි, නිරවුල් දැනුමක් තිබිය යුතු ය. ධර්මය ගැඹුරු බව තථාගතයන් වහන්සේම දේශනා කළහ.

ධර්මය ගැන සිටියද ඒ ඒ රටවල ඒ ඒ ජනකොටස්වලට ඒ ධර්මය බෙදා දීම සඳහාත් සුදුසු මාර්ගයක් ද තිබිය යුතු වන්නේ ය. මෙහිදී ජාත්‍යන්තර භාෂාවක් දෙකක් දැන සිටීම අත්‍යවශ්‍ය වන්නේ ය. විශේෂයෙන් බටහිර රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වලදී ඉංගී‍්‍රසි භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවීමේ හැකියාව තිබිය යුතුම ය.

තුන්වන කාරණය වඩාත් වැදගත් වන්නේ ය. එනම් ස්වකීය ජීවිත පැවැත්ම තුළින් ඒ ජනතාවට දෙන පණිවුඩයයි. බටහිර ලෝකයේ සැරී සරන කහ සිවුර තුළින් දෙන පණිවුඩය ඇති විශේෂම එකක් වන්නේ ය. ඉහත සඳහන් කාරණා තුනෙන් සම්පූර්ණ භික්‍ෂුවගේ ධර්ම දූත සේවය වඩ වඩාත් අර්ථවත් වන්නේ ය.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කඹුරාවල රේවත ස්ථවිරයන් වහන්සේ ඉහත සඳහන් විදේශ ධර්මදූත සේවය සඳහා අවශ්‍යවන මූලික කාරණා සියල්ලෙන්ම සම්පූර්ණව සිටින තරුණ භික්‍ෂුවකි. ගැඹුරු බුදුදහම පිළිබඳවත්, යුරෝපීය ජනතාවගේ වැඩි අවධානය යොමුවන භාවනා විෂය පිළිබඳවත් සෑහෙන දැනුමක් උන්වහන්සේ සතුව තිබේ. පාලි භාෂාව ඇතුළු පෙරදිග භාෂා පිළිබඳවත්, ඉංගී‍්‍රසි භාෂාව ඇතුළු අපරදිග භාෂා පිළිබඳවත් සෑහෙන තරම් දැනුමක් ද ඇත. පාලි භාෂාව හා ඉංගී‍්‍රසි භාෂා දැනුම විදේශ ධර්මදූත සේවයේ දී අත්‍යවශ්‍ය වෙයි.

ථෙරවාද සම්ප්‍රදාය තුළ ආදර්ශවත් ආචාර්යයන් වහන්සේලාගේ ඇසුරේ හැදුණු වැඩුණු මනා භික්‍ෂු ජීවිතයක් කඹුරාවල රේවත ස්ථවිරයන්ට ඇත. ඒ තුළින් යුරෝපයට දෙන පණිවුඩය අන් සියල්ලටමත් වඩා වැදගත් වන්නේ ය.

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පදවිය ශ්‍රී ලාංකික විශිෂ්ට ගණයේ යතිවරයන් වහන්සේලා ඉසිලු නායක පදවියකි. ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් සම්මත කොට ප්‍රදානය කරනු ලබන මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පදවිය කඹුරාවල රේවත ස්ථවිරයන් වහන්සේගේ ඉදිරි ලෝක ශාසන සේවාව සඳහා මහත් ශක්තියක් වේවායි සතුටු සිතින් ආශිර්වාද කරමි.


ලෝක ශාසනික සේවාව බෙහෙවින් අගයමි

ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ගෞරවාර්හ කඹුරාවල සිරි රේවත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් “විශ්ව සමය සභාගචාරී ශ්‍රී සෝභිත” යන ගෞරව නාමය සහිතව, එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, කඹුරාවල ගම් පියසේ උපත ලද උන් වහන්සේ වයස අවුරුදු දහයේ දී පැවිදි දිවියට ඇතුළත්ව විධිමත්ව අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගැනීමට සමත් වූහ.

2001 වසරේ දී ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරස්ථානයට වැඩම කරමින් විදෙස් ධර්ම දූත සේවයෙහි මෙන්ම විවිධ ශාස්ත්‍රීය සේවාවන්හි නිරතව ඉටු කරනු ලබන මෙහෙවර අතිමහත් ය. අනතුරුව 2002 වර්ෂයේ දී ස්කොට්ලන්තයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරය ආරම්භ කළ උන්වහන්සේ 2006 වසරේ දී ග්ලාස්ගොව් විශ්විවිද්‍යාලයේ බෞද්ධ උපදේශන මෙන්ම එම විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ අතර 2007 වර්ෂයේ දී ස්කොට්ලන්තයේ අන්තර් ආගමික කවුන්සලයේ ආගමික මණ්ඩලයේ කමිටු සාමාජිකත්වයට ද පත් වීමට උන් වහන්සේ සමත් වීම අතිශය ප්‍රශංසනීය වේ.

විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව අන්තර් ආගමික උපදේශන මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගනිමින් බෞද්ධ උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කරන උන්වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික භික්‍ෂුවක් ලෙස ස්කොට්ලන්ත පාර්ලිමේන්තු ඇමතීම අප රට ලත් භාග්‍යයක් කොට මම සලකමි. එමෙන්ම 2004 වසරේ මෙරට ඇති වූ සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සහන සලසනු පිණිස ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර දිස්ත්‍රික්කයන්හි ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් උන්වහන්සේ සිදු කළ මෙහෙය ප්‍රශංසනීය වේ.

සුනාමියට ගොදුරු වූවන්ට මනෝ උපදේශනය හා ස්වයං රැකියා පුහුණු පාඨමාලා හා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම, විවිධ වෛද්‍ය කඳවුරු පැවැත්වීම, ශිෂ්‍යත්ව පිරිනැමීම, සුනාමියෙන් අවතැන් වූ දරුවන්ට නේවාසික අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම ආදී සුවිශාල සේවාවන් රාශියක් ඉටු කරමින් ගිහි පැවිදි සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ උන් වහන්සේ සිදු කරනු ලබන ලෝක ශාසනික සේවාව මම බෙහෙවින් අගය කරමි.

ගෞරවාර්හ කඹුරාවල සිරි රේවත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට සිය කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය හා ධෛර්ය මෙන්ම නිදුක් නිරෝගී සම්පත් ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


ඉටු කරන අමිල මෙහෙවරට උපහාරයක්

ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරාවල සිරි රේවත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම බුද්ධ ශාසනයටත් සංඝ සමාජයටත් සිරි රේවත හිමිපාණන් වහන්සේ ඉටු කරන අමිල වෙහෙවරට පුද කළ ගෞරව උපහාරයකි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර කඹුරාවල ගමෙහි උපන් ගැමි දරුවා වයස අවුරුදු 10 සම්පූර්ණ වන්නටත් මත්තෙන් සසුන් කෙතට පිළිපන් ව සාමණේර භික්ෂුවක ලෙස ප්‍රාචීන පණ්ඩිත විභාගය සමත් ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය ද කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය හා පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද සමත් ව උගත්, ධර්මධර , විනයධර භික්ෂුවක් ලෙස ධර්ම ප්‍රචාරයේ නියැලෙමින් බුදු දහම දෙස් විදෙස් හි ප්‍රචලිත කරන්නට කඹුරාවල සිරි රේවත හිමියන් ශ්‍රී ලාංකීය භික්ෂුවක් වශයෙන් ඉටුකරන ශාසනික සේවාව ඉතා ප්‍රශංසනීය වේ. විදෙස් හි ජීවත්වන විවිධ ජාතීන්ට ඒ ඒ භාෂාවන්ගෙන් දහම් දෙසීමට සමත් දැන උගත් භික්ෂු පරපුරක් අපේ රටේ සිටින ශ්‍රී ලාංකීකයන්ට ආඩම්බර වියහැකි කරුණකි. ථේරවාදී බුදු දහම සුරකින ප්‍රබලතම රටක් වන ශ්‍රී ලංකාව ලෝ පුරා ප්‍රචලිත කිරීමට එය මහත් පිටිවහලක් වනු ඇත. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද කඹුරාවල සිරි රේවත නාහිමියන්ට තව තවත් ශාසනික සේවාවන්වල නියැලීමට නිදුක් නිරෝගී ව දීර්ඝායු පතමි.


කීර්තිමත් හිමි නමක්

ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරාවල සිරිරේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ ගෞරවනීය අවස්ථාව එළඹෙන මේ අවස්ථාවේ මාගේ හෘදයාංගම සුබපැතුම් මෙමගින් පිරිනමනු කැමැත්තෙමි. දෙස් විදෙස්හි ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ගෙන ක්‍රියාකරන කීර්තිමත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරාවල සිරිරේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් තම කාර්යභාරය ඉෂ්ඨ සිද්ධ කිරීමට අවස්ථාව ලැබේවායි! ඉතා ගෞරවයෙන් යුතුව සුභාශිංසන පිරිනමමි.


අභිනව නා හිමි මෙහෙවර

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර කඹුරාවල ගමේ දී අමරසේකර දම්පතීන්ගේ දෙටු පුතණුවන් ලෙස උපත ලබන ලදී. වසර දහයේ දී බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙණ දී පැවිදි බිමට ඇතුළත් වී සාමණේර භික්‍ෂුවක ලෙස ප්‍රාචීන පණ්ඩිත විභාගය සමත් වූ අතර 1992 වසරේ අ.පො.උ. පෙළ. විභාගය දිවයිනේ වැඩිම ලකුණු ලබා ගනිමින් ප්‍රථමස්ථානයට පත් වීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධිය පන්ති සාමාර්ථ සහිතව සමත් වීය. (සංස්කෘත හා වෛදික දර්ශනය) විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය තුළ ලංකාවේ ප්‍රථම වරට භික්‍ෂූන් වහන්සේලා සඳහා ඉංගී‍්‍රසි භාෂා සංගමයක් ආරම්භ කිරීමට දායක වීම සහ ප්‍රථම වරට ඉංගී‍්‍රසි සඟරාවක් සංස්කරණය කිරීම ද සිදු කළහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය හා පාලි භාෂාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් අතර ධර්මපාල මහ පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළහ. 1991 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දී උපසම්පදා භූමියට පත් විය. එම සංඝ සභාව වෙත පිරිනමන ලද සිත පිළිබඳ වූ පර්යේෂණ නිබන්ධනය සඳහා ‘සිරි’ යන ගෞරව නාමය සංඝ සභාව විසින් ප්‍රදානය කරන ලදී. විදෙස් ධර්ම ප්‍රචාරය වසර 2006 දී ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමිපාණන්ගේ ආරාධනයෙන් පළමු වරට එක්සත් රාජධානිය වෙත වැඩම කළ අතර එම වසරේම එක්සත් රාජධානියේ උල්ව හාම්ටන් බෞද්ධ විහාරයේ ඉන්දියාවේ චන්ද්‍රබෝධි හිමියන්ගේ ආරාධනාවෙන් ඉන්දීය බෞද්ධ ජනතාවට තෙමසක බෞද්ධ දර්ශනය පාඨමාලාවක් සිදු කළහ.

2002 වසරේ දී ස්කොට්ලන්තයේ ග්ලාස් ගෝව් ( ) නගරය නැරඹීමට ගොස් එහි සිංහල බෞද්ධයින් ඒකරාශී කොට ස්කොට්ලන්තයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරය සිංහල බෞද්ධ පවුල් 10 කින් ආරම්භ කළහ. විහාරස්ථානයේ කටයුතු කරන අතරම 2003 වසරේදී ස්ට්‍රැන්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

2006 වසරේ දී ග්ලාස් ගොව් විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක ලෙස පත් වූ අතර සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා බෞද්ධ උපදේශක හා සතිපට්ඨාන භාවනා වැඩසටහන් සතිපතා ක්‍රියාත්මක කළහ. 2007 වසරේ දී එම විශ්වවිද්‍යාලයේම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ථෙරවාදී බුදු දහම ඉගැන්වීය. 2007 වසරේ දී ස්කොට්ලන්තයේ අන්තර් ආගමික කවුන්සලයේ ආගමික මණ්ඩලයේ කමිටු සාමාජිකත්වය ලැබූ අතර 2006 වසරේ දී කාමරදෙකකින් යුත් කුලී නිවසක පවත්වාගෙන ගිය ස්කොට්ලන්ත බෞද්ධ විහාරය සඳහා සියලු පහසුකම් සහිත කාමර සතරකින් යුතු නව ගොඩනැඟිල්ලක් මිල දී ගත්හ. පැවිදි බිමට පත් වී වසර 25 ක් සපිරීම නිමිත්තෙන් මෙම ස්ථිර ගොඩනැඟිලෙහි නව විහාර මන්දිරයේ අඩි 06 කින් යුතු සමාධි ප්‍රතිමාව බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් සඳහා නිරාවරණය කළහ.

2007 වසරේ දී ග්ලාස් ගොව් විශ්වවිද්‍යාලයේ බුදු දහම පිළිබඳව සති 10 ක පාඨමාලාවක් පැවැත්වීම සහ එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය ඇරඹීය. ස්කොට්ලන්තයේ ප්‍රාථමික ද්විතියික පාසල්වල බුදු දහම පිළිබඳව දේශන හා භාවනා වැඩසටහන් පවත්වන ලදී. රේවත හිමියන් 2007 වසරේ දී වේල්ස් හි බැංගර් විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ සතිපට්ඨාන භාවනාව මනෝ වෛද්‍ය ප්‍රතිකාර වේදයක් ලෙස භාවිත කිරීම පිළිබඳව පර්යේෂණ ඇරඹූහ. සතිපතා විහාරස්ථානයේ දී 50 කට අධික සංඛ්‍යාවකට භාවනා වැඩසටහන් තුනක් පැවැත් වූ අතර බෞද්ධ මනෝ උපදේශක සේවාව සිරකරුවනට භාවනා ඉගැන්වීම් හා සිරගෙවල් වල ආගමික වැඩසටහන් මෙහෙය වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් ආගමික දිනයේ දී බුදු දහම නියෝජනය කරමින් එම සමුළුවේ දේශන පැවැත් වූ අතර ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ අන්තර් ආගමික උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගනිමින් බෞද්ධ උපදේශක ලෙස කටයුතු සිදු කළහ. පළමු වරට ස්කොට්ලන්තයේ මහායාන වජ්‍රයාන ආදී අන්‍ය බෞද්ධ සම්ප්‍රධායයන් ද එකතු කර ගනිමින් ස්කොට්ලන්තයේ ජාතික උද්‍යනයකදී වාර්ෂිකව වෙසක් උත්සවය පැවැත් වූහ.

2009 වසරේ දී ස්කොට්ලන්තයේ ද්වීතියක පාසල්හි බුදු දහම හා ලෝක ආගම් පිළිබඳව පාඨමාලාවක් ආරම්භ කිරීමත් ලෝක ආගම් අධ්‍යනය තුළින් සිසුන් තුළ අන්‍ය ආගම් සුහදත්වය වර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ ආචාර්ය උපාධි පර්යේෂණ ආරම්භ කිරීමත් සිදු කළහ. බෞද්ධ භාවනා මානසික පීඩනය හා ආතතිය කළමනාකරණය කිරීම සඳහා පර්යේෂණ කොට එම පර්යේෂණ වාර්තා විශ්වවිද්‍යාල වලට ඉදිරිපත් කිරීම සහ මනෝකාය ගුප්ත ආකර්ෂණය හා අන්තරායන භාවනා නමින් එළි දක්වන ලද කෘතියෙහි සම කර්තෘවරයෙකු වූහ.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය වෙනුවෙන් ව්‍යාපෘති 05 ක් ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර දිස්ත්‍රික්කයන්හි ඇරඹීමත් ඒ අතර මාතර පිහිටුවා ඇති මනෝ උපදේශක පුහුණු සේවා මධ්‍යස්ථානය වසර 04 ක් පුරා දහස් ගණනක් සුනාමියෙන් විපතට පත් වූවන්ට මනෝ උපදේශනය හා ස්වයං රැකියා පුහුණු මූල්‍ය ප්‍රතිපාදනය සැපයීම හා මාසිකව දියවැඩියා හා අක්‍ෂි සායනයන් හා විවිධ වෛද්‍ය කඳවුරු පැවැත් වූහ. සුනාමියෙන් මව හෝ පියා අහිමි වූ දරුවනට ශිෂ්‍යත්ව පිරිනැමීමත් සුනාමියෙන් අවතැන් වූ දරුවනට නේවාසික අධ්‍යාපන ආයතනයක් බෙල්ලන ප්‍රදේශයේ ආරම්භ කිරීමත් සිදු කළහ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.