Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආදි කර්තෘ දිනය සමරන පොල්ගහවෙල වෙහෙරපිටියේ විද්‍යාර්ථෝදය මහ පිරිවෙන් විහාරය

වෙහෙරපිටිය නම් වූ පින්බිම තුළ ඉදිවූ අධ්‍යාපනික තෝතැන්න විද්‍යාර්ථෝදය පිරිවෙනයි. එය පඬුවස්නුවර, කුරුණෑගල, දඹදෙණිය සහ යාපහුව යන සිව් රාජධානි පිහිටි වයඹ පළාතේ් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණි හත්පත්තුවේ නැගෙනහිර කෝරළයේ පොල්ගහවෙල මන්සන්ධියේ සිට කුරුණෑගල පාරේ සැතපුමක් පමණ දුරින් ගොඩවෙල කඩවීදිය අසල පිහිටා ඇත.

සිත්සතන් පොඹවන මනස්කාන්ත දර්ශනයක් මවන මෙම පුණ්‍ය භූමිය තුන් පැත්තකින් කුඹුරු යායකින් වටවී ඇති අතර සර්වඥ ධාතුන් තැන්පත්ව සුදුපාටින් දිදුළන දාගැබ් වහන්සේ සහ ඓතිහාසික යුගයක මතකයන් රැගත් බෝ සමිඳුන්ගේ සිලිලාරය බොදුනුවන්ගේ බුද්ධාලම්බන පී‍්‍රතිය ඔදවඩාලයි.

මහින්දාගමනයෙන් සිරිලකට වැඩම වූ සර්වඥ ධාතුන් වහන්සේලා පිහිටුවමින් මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි යොදුනෙන් යොදුන දෙවනපෑතිස් නිරිඳු ඉදිකළ ස්ථූප ‘යෝජනථූප’ නම් වේ. මහා වංශ කතුවරයා

විහාරේ කාරයිත්වාන - ඨානේ යෝජන යෝජයේ
ධාතුයෝ තත්ථ ථූපෙසු - නිධාපේසි යථාරහං


ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය

යනුවෙන් එම අසිරිමත් මංගල්‍ය සටහන් කළේය. ඒ සියල්ල අද දක්නට නොමැති වුවද සේස වූ නටබුන් තුළින් යළි ගොඩනැගුණු ස්ථූප කීපයක් අද ද සිරිලක සනහමින් විරාජමාන වෙයි. මෙහිද යෝජනා ථූපයක් තැනුණ අතර කාලයාගේ වැලිතලාවෙන් වැසී එය නෂ්ටාවශේෂ විය. ගරා වැටුණු එම ථූපය මත බොදු දන සිත් පහන් කරමින් බෝධීන්වහන්සේ නමක් රෝපණය කර ඇති අතර වෙහෙරක් මත බෝධියක් රෝපණය වූ නිසාවෙන්ම එම ස්ථානය ‘වෙහෙරපිටිය’ යන නමින් ජන වහරට එක්වූ බව පෙනේ.

එදා දැකුම්කළු පුෂ්පාරාමාදියෙන් පිරී පැවතී මෙම පින්බිම කාලයාගේ ඇවෑමෙන් ජන ශූ®න්‍යව ගරා වැටුණු වෙහෙර වහන්සේ ජය ශ්‍රී මහා බෝධි ශාඛාවේ ප්‍රෞඩත්වයත් මත වසර ගණනාවක් පුරාවට ජන ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා විය. මේ පුද බිම අරණ්‍ය භික්ෂූන් වහන්සේගේ මෝක්ෂාධිගමයට සුදුසු පරිසරයක් කියා පෑමෙන් අරණ්‍යවාසී තලාදපිටියේ මහතෙර නම් ස්වාමිද්‍රයන් වහන්සේ වස් වසා වැඩ විසුවේය. උන්වහන්සේගෙන් පසු යළිත් වන ගහනයට නතු වූ මෙම පුණ්‍ය භූ®මිය අරණ්‍යවාසී කෝන්වැවේ ධම්මපාල හිමියන්ගේ වත් පිළිවෙතින් එළි පෙහෙලි විය.

උන්වහන්සේ කළක් මෙහි වැඩ සිටි අතර රෝගී තත්ත්වයට පත්වීමෙන් පසු මෙම ස්ථානයට නුදුරු ඉඹුල්ගොඩ නම් ගමෙහි විරිදුකාර මුදියන්සේ නම් වෙද මහතාගේ් නිවසේ නේවාසිකව වැඩ වෙසෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලැබූහ. (මේ හේතුවෙන් වෙහෙරපිටිය නැවතත් පාලුවට පත්විය) එම වෙද මහතා කෝන්වැවේ ධම්මපාල තෙරුන් කෙරෙහි පැහැද උන්වහන්සේ ඇතුළු මහ සඟරුවනට ගොඩමඩ ඉඩකඩම් සහිතව තම නිවස සඟසතු කොට පූජා කරන ලදී. ධම්මපාල තෙරුන් වහන්සේ එම ස්ථානයේ දර්ශනීය විහාරාංගයන් ඉදිකොට ඇත.

ඉදිකරන්නට යෙදුන පොත්ගුල මූලික කර ගනිමින් මෙම විහාරස්ථානය එවක් පටන් ‘පොත්ගුල් විහාරය’ යන නමින් හඳුන්වා ඇත. අනතුරුව ධම්මපාල තෙරණුවො මාමුණුගම ධම්මානන්ද, කොන්වැවේ රතනජෝති, කොන්වැවේ ඉන්දජෝති, වද්දෙණියේ සරණංකර යනාදී වශයෙන් ශිෂ්‍ය බාලාදීන් පැවිදි කළහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු මාමුණුගම ධම්මානන්ද තෙරුන්වහන්සේ ඉඹුල්ගොඩ පොත්ගුල් විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වූහ. උන්වහන්සේ විහාරස්ථානයේ දියුණුව උදෙසා අතිවිශාල සේවයක් කොට ඇත. වර්තමානයේ දක්නට ඇති වසර සියයකටත් අධික දෙමහල් ධර්ම මන්දිරය උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඉදිවූවකි. තම සඟ පරපුරෙහි ඉදිරි පැවැත්ම උදෙසා කෙසෙල්වතුගොඩ රතනජෝති, රත්ගම රතනපාල, කළුගමුවේ ධම්මපාල නමින් දරුවන් තුන් පලක් ද පැවිදි කොට ඇත.

මෙකල රත්මල්ගොඩ විහාරස්ථානයේ වැඩ විසූ රුලව සුමංගල තෙරුන් තමන් වහන්සේට ශිෂ්‍ය බාලාදීන් නොමැති හෙයින් ඉඹුල්ගොඩ පොත්ගුල් විහාරාධිපති මාමුණුගම ධම්මානන්ද මහා ස්වාමින්ද්‍රයාණන්ට රත්මල්ගොඩ විහාරය, විහාරාධිපතිත්වය සමඟින් නිරවුල්ව පවරා දෙන්නට යෙදුනේ් 1877 දෙසැම්බර් මාසයේදී ය.

වත්මන් පුනරුද්යේ ආරම්භය සිදුවන්නේ ඉඹුල්ගොඩ ශ්‍රී පොත්ගුල් විහාරය, රත්මල්ගොඩ පුරාණ විහාරය යන විහාරයන්හි අධිපතිව සිටි විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූ මාමුණුතම ශ්‍රී ධම්මානන්දාභිධාන මහ තෙරුන්වහන්සේ නිසාවෙනි.

මේ හිමියන්ගේ චිර ප්‍රස්ද්ධිය නිසා කෙසෙල්වතුගොඩ ග්‍රාමයේ සැදැහැවත් ගම් ප්‍රධානි කෙසෙල්වතුගොඩ වලව්වේ නිලමෙතුමා වූ උඩුදුම්බර පොද්දල්ගොඩ රාජකරුණා නවරත්න අභයසිංහ වාසලමුදියන්සේ රාළහාමිගේ් ආරාධනයෙන් සිල් මඩුවක් තනා වස් වසවාගත් අතර වස් අවසානයේ සිදු වූ කඨින චීවර පූජාවේ දී තම පුත්රුවන වූ කුඩා බණ්ඩාර දරුවා ද සසුනට පිදූහ. ඒ කුමරු 1902 වෙසක් පුරපසළොස්වක දින ඉඹුල්ගොඩ පොත්ගුල් විහාරස්ථානයේදී කෙසෙල්වතුගොඩ රතනජෝති නමින් සසුන් කෙතට ඇතුළත් විය.

එදින පහන්වන තුරු මංගල ධර්ම දේශනාව පවත්වා සාමණේර හිමියෝ සර්වභෞම පණ්ඩිත භික්කඩුවේ ශ්‍රී සුමංගල, නාහිමි මහගොඩ ඤාණිස්සර ආදි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගෙන් කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ් දී උගතමනා අධ්‍යාපනය එකොලොස් වසකින් නිම කළහ. විද්‍යෝදය පිරිවෙනේ් සියලු අධ්‍යාපනය නිමකළ පසු ලබන ‘ශ්‍යාමරජ ත්‍යාගය’ ලැබු කෙසෙල්වතුගොඩ රතනජෝති හිමි 1911 මැයි මාසයේ 12 වෙනිදින තම ගුරු දේවෝත්තම ධම්මානන්දාභිධාන මාහිමියන් ආචාර්යත්වයෙහි තබා මහනුවර මල්වතු විහාරස්ථ රාජකීය මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා ශීලයට පත්විය.

මේ වනවිට වෙහෙරපිටිය නම් පුණ්‍ය භූමිය යම්තාක් දුරට හෝ පැවතුනේ බෝධීන් වහන්සේගේ ප්‍රෞඩත්වය විදහා පාමින්ය. මෙම පින්බිමට කෙසෙල්වතුගොඩ රතනජෝති හිමියන් වැඩමවීම සිදුවන්නේ මෙකළය. ඈපාකන්දේ රාළහාමි, කොටඹුලේ බණ්ඩයියා, පොඩි වෙද මහත්තයා ආදී දායක මහතුන් වස් විසීම සඳහා කළ ආරාධනාව ඊට මං හෙළි කළේය.

සතර සත් කෝරළයේ ශාස්ත්‍රෝන්තිය වියකෙත්ම ඊට උරදෙනු වස් රතනජෝති හිමියෝ 1916 දී වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය නම් වූ පරිවේණස්ථානය අරඹන ලදී. ඒ විද්‍යෝදය පරිවෙණාධිපති මහගොඩ ඤාණිස්සර යතිවරයාණන් වහන්සේ ශිෂ්‍යයන් පස්දෙනෙකුට අත්පොත් තැබීමෙනි. එවකට පැවති ලක්දිව පිරිවෙන් 51 න් එකක් ලෙස 1919 දී රජයේ ලියාපදිංචි වූ මෙම පිරිවෙන ක්‍රමයෙන් කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ තත්ත්වයට පත්වී විශ්ව විද්‍යාලය තත්වයට උසස් විය. තවද රතනජෝති හිමියෝ ඉරුදින දහම් පාසල, ශ්‍රී ධම්මානන්ද ඉංගී‍්‍රසි පාසල, ඈපාකන්ද බුවනෙකබා විදුහල ආදී විද්‍යායතන ද ඇරඹූහ.

කලක් කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි කථිකාචාර්යවරයකු වශයෙන් ද බුද්ධශ්‍රාවක ධර්ම පීඨයෙහි මහ ඇදුරු ලෙස ද ක්‍රියා කළ රතනජෝති හිමියෝ 1928 මහනුවර මල්වතු මහා විහාරය විසින් ‘ධර්ම කීර්ති ශ්‍රී සාරාර්ථ දර්ශී’ යන ගෞරව නාමය සහිතව දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූහ. රතනජෝති නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූයේ රාජකීය පණ්ඩිත වල්ගොව්වාගොඩ සුමංගල හිමියෝය. උන්වහන්සේ ද සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි ආදී භාෂාවන් පිළිබ¼ඳව හසල දැනුමක් ඇති පඬිරුවනකි. ගෘහස්ථ ශික්ෂා, සද්ධර්ම දීපනී, දසකුමාර චරිත ව්‍යාඛ්‍යානය, හෙළුවියරණ විනිස, පාසැල් දවස, සිංහල විනය සංග්‍රහය ආදී ග්‍රන්ථයෝ උන්වහන්සේගේ එම පාණ්ඩිත්‍ය මනාව විදහා දක්වයි. මෙවන් උදාර ජාතික ආගමික ශාස්ත්‍රීය යුග මෙහෙවරක් සිදුකළ ආදිකතුවරයාණෝ 1980 අගෝස්තු 06 වෙනිදින අපවත් වූ නමුදු උන්වහ්නසේ දැල් වූ ප්‍රඥා ප්‍රදීපය අද දක්වාම නොනිමි පවතින්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී මයිලෑවේ ශ්‍රී නිවාස නාහිමියන් වැනි ව්‍යක්ත විශාරද යතිවරයාණ කෙනෙකු නිර්මාණය කළ හෙයිනි.

ව්‍යක්ත ග්‍රන්ථ කතුවරයෙකු වූ මයිලෑවේ ශ්‍රී නිවාස නාහිමියෝ කෙසෙල්වතුගොඩ රතනජෝති, වල්ගොව්වාගොඩ සුමංගල යන ආදි සංඝ පිතෘන් වහන්සේලා අනුව යමින් විද්‍යාස්ථානයේ උන්නතිය උදෙසා මුළු ජීවිත කාලයම කැප කළහ. දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරය දරමින් විද්‍යාර්ථෝදය පරිවේණස්ථානය බැබළවීමට ක්‍රියා කළහ.

නොසිතූ මොහොතක රෝගී තත්ත්වයට පත් වූ ශ්‍රී නිවාස නාහිමියෝ තම පරිවෙණාධිපති ධූරය ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ වත්මන් පරිවෙණාධිපති හිමියන්ට පවරා විහාරාධිපතිත්වය වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති දෙල්දෙණියේ රතනසාර ස්වාමින්ද්‍රයාණන් වහන්සේට පවරා අවසාන කාලය දැඩි ලෙස රෝගාතුරව ශිෂ්‍ය රත්නයන්ගේ ඇප උපස්ථාන ලබමින් කාලය ගත කළහ. තම විවේකානු බුද්ධියෙන් අනේක විධ කාලීන ලිපි ලේඛන, ධර්මානු ශාසනා, පුවත්පත් වලට ලියා බොදු හදවත් ඇමතු නාහිමියෝ ‘සිංහල සාහිත්‍යාවලී විචාරය’ පාලි ව්‍යාකරණ විවරණය’ ආදී සම්භාව්‍ය ග්‍රන්ථයන් රචනා කළහ. උන්වහන්සේ 2001 මාර්තු මස 15 වැනිදා අපවත් වූහ.

අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේලාගේ ගුණ සමරා පින්කම් මාලාවක් පැවැත්වීමට හා වත්මන් පිරිවෙන්පති ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ විසි වසරකට අධික සේවය අගයනු වස් උපහාර පිදීමක් සිදුකිරීමට වත්මන් පිරිවෙන් විහාරාධිපති සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති දෙල්දෙණියේ ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනසාරාභිධාන නාහිමියන් පාරිවේණික ගුරු සිසු පිරිස සහ දායක සභාව කටයුතු යොදා ඇත. ඒ අනුව ජුලි මස 31 වෙනි දින පොල්ගහවෙල ඔරුලියද්ද මල්අස්න පුරාණ විහාරාධිපති පොල්ගහවෙල ආනන්ද හිමියන් බෝධි පූජා පින්කමක් පවත්වන අතර පසුදින එනම් අගෝස්තු මස 01 වෙනිදින ලේ දන්දීමේ පින්කමක් ද සිදු කෙරේ. එදින රාත්‍රී 7.00 ට යුගාසන ධර්ම දේශනාවකි. ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත යටවත්තේ චන්දජෝති, පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්ය, දහම් සරසවියේ කථිකාචාර්ය, ශාස්ත්‍රපති දමුණුපොල අනුරුද්ධ යන හිමිවරුන් එහිදේශකයන් වහන්සේලාය. අගෝස්තු 02 වෙනි දින පස්වරු 3.00 ට පරිවෙණාධිපති උපහාර පිදුම, තත් පරිවෙණාචාර්ය කුරුණෑගල දිස්ත්‍රික් ගණිත ගුරු උපදේශක එස්. යූ. මල්ලවආරච්චි මහතාගේ තිස් වසරක ගුරු සේවය ඇගයීම, ඉසුඹුලත් පරිවෙණාචාර්ය අධ්‍යාපනපති, ඩබ්ලිව්, පී. එන්. සිරිල් මහතාට හරසර දැක්වීම විදුරුතුදයෙන් 2008 වසරේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත් වූ ප්‍රාචීන අවසාන විභාගයෙන් භාෂාත්‍රයෙන් එකවර සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය දිනාගත් පූජ්‍ය මහඔයේ ඤාණරතන හිමියන්ට ප්‍රසාද පූජා පැවැත්වීම හා පරිවේණික පැවිදි ගිහි සිසුනට ත්‍යාග සහතික ප්‍රදානය කිරීමට නියමිතය. උත්සව සභාවෙහි මුලසුන හොඹවනු ලබන්නේ, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ, මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධ්‍යක්ෂ, අකුරැටියේ නන්ද නායක ස්වාමින්ද්‍රයාණෝය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.