Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම‍

ප්‍රශ්නය
පහත සඳහන් ධම්මපද ගාථාව තුළ ඉතා වැදගත් සාසනික තොරතුරක් සටහන්ව ඇත. පැහැදිලි කරන්න.එම ගාථාව මෙසේය. “ඉධ වස්සං වසිස්සාම ඉධ හෙමන්ත ගිමිස්ස ඉති බාලො විචන්තෙති – අන්තරාසං නබුජ්ඣතිති”


අව්කන බුද්ධ ප්‍රතිමාව

පිළිතුර
වස්සාන, හේමන්ත, ගිම්හාන, කුසීතව විසීම හැර සසර පැවැත්ම ගැන අඥාන පුද්ගලයෙකු පිළිබඳ ව විස්තරයකි.

විනය පිටකයට අනුව හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් අවුරුද්දෙහි මාස 12 සෘතු තුනකට බෙදන ලද්දේ ය. බුද්ධ කාලයේ මගධයේ සම්මතයකි ඒ. ඉල් මස කාල පක්‍ෂය පටන් සාර මස බැගින් මෙසේ වෙන් කොට ඇත.

ඉල්, උඳුවප්, දුරුතු, නවම් සිව් මස හේමන්ත සමයයි. මැදින්, බක්, වෙසක් පොසොන් යන සිවු මාසය ගිම්හාන සමයයි. ඇසළ, නිකිණි, බිනර, වප් යන සිවුමස වස්සාන සමයයි. හේමන්ත නම්, හිමානි ඵත්ථ සනිතිති හෙමොහෙමො එව හෙමන්තො හිම බහුල කාලයයි. ගිම්හාන, හිරු රැස් සැඩ පරුෂ කාලයයි. ගරති විලයතිති, ගිම්හො. වස්සාන නම් වැසි බහුල කාලයයි. වස්සති ඵත්ථානි වස්සං.


ප්‍රශ්නය - ධර්ම ග්‍රන්ථයන්හි ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක් ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
කාම, භව, මිච්ඡා, දිට්ඨි, අවිජ්ජා යන මේ සතරයි. කායගතා සතිය නිතර වඩන මහණදම් පුරන පැවිද්දන්ගේ හා සිහි නුවණින් යෙදි දැහැමි ගිහියන්ගේ කාමාදී ආශ්‍රවයෝ නැසී යන්නාහ.


ප්‍රශ්නය
නව ලොකොත්තර ශ්‍රී සද්ධර්මය ‘සන්දිට්ඨිකය’ මේ කියමන ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර
‘දිට්ඨි’ නම් දැකීමයි. මනා දැකීම ‘සන්දිට්ඨ’ නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨකය නව ලොකොත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි.

ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ ‘වත්ථික’ වන්නාසේම මනා දැකීමට සුදුසු වූයේ ‘සන්දිට්ඨක’ නම් වේ.


ප්‍රශ්නය
ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සසුනට ඇතුළත් ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවා ය.

මේ තැනැත්තිය කවුද? රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳව කෙටි සටහනකින් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතු වී පෙනේ ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ ගේ කරුණා නෙතට යොමු වූ ඇය ‘පටාචාරා’ අසරණියයි. තම ස්වාමියාත් දරු දෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයාත් එකම දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමි වූ පටාචාරාවට බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාවට ලක්වීමෙන් සුවපත් වූවා ය. මෙයින් බුදුරජාණන් වහන්සේ ගේ මානව හිතවාදී ගුණය කැපී පෙණුනි.


ප්‍රශ්නය
කොසොල් මහ රජතුමා තම බිසව දියණියක ප්‍රසූත කර ඇති බව අසා ශෝකාකූල මුහුණින් යුතුව තම අකැමැත්ත බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියේ ය. එහිදි ඔහු ඇමතූ බුදුරජාණන් වහන්සේ ‘මහ රජ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිල්වත් කාන්තාව ද වාසනාවන්තය. ඇය අනාගතයේ දී වාසනාවන්ත පුතුන් ප්‍රසූත කරනු ඇත. එබැවින් ඇය ඉතා හොඳින් පෝෂණය කළ යුතු යැයි පෙන්වා දුන්හ. පැරැණි කාන්තාව පිළිබඳ ව බෞද්ධ ආකල්පයෙහි බිඳකි මේ. පැරණි භාරතීය සමාජයේ කාන්තාවන්ට හිමි වූ තැනත් බෞද්ධ යුගයෙහි දි එය වෙනස් වූ ආකාරයත් පැහැදිලි කරන්න.

පිළිතුර
කාන්තාව මිය යනතුරුම හිමියාගේ වහලියක සේ යටත් විය යුතු ය යන අදහස ප්‍රචලිත යුගයක, තම හිමියා මළ විට වැන්දඹු කාන්තාව හිමියාගේ සොහොනට පැන දිවි පුද කළ යුතුය යන්න පිළිගෙන තිබුණි. මෙවන් තත්ත්වයක ගැහැණු දරු උපත පවා පවුලක අභාග්‍යයක් කොට සැලකූහ. බෞද්ධ යුගයෙහි දී කාන්තාව මවක් වශයෙන් මිනිස් සමාජයේ පූජනීයත්වයට පත් වූහ. මෙහෙණි සස්න පිහිටුවා මානව අයිතිවාසිකම් වලින් පෝෂණය කළහ.
 


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ පැරැණි භාරතීය සමාජයේ ආගම දර්ශන ඉදිරිපත් කළ සමකාලීන ශාස්තෘන් අතර ම ජීවත් වෙමින් තම ධර්මය ද මහජනයා ඉදිරියෙහි තැබූහ. අනෙක් ශාස්තෘවරුන්ගේ ක්‍රියා පිළිවෙළට ඉඳුරා ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් මහජනයා වෙත ඉදිරිපත් කළ ආකාරය හා අවබෝධ කර වූ ආකාරය පිළිබඳ ආකල්පය පැහැදිලි කරන්න.

පිළිතුර
බුදු සසුනෙන් බැහැර අන්‍ය ආගමික නායකයන් ප්‍රකාශ කර සිටියේ සිය ආගම් හා දර්ශනයන් පමණක් සත්‍ය දර්ශන හා ආගම් වන අතර එයින් බැහැර සියලු මිථ්‍යා මතවාද ලෙස අවඥාවෙන් බැහැර කළ යුතු බවයි. තම ආගමික මතවාද පිළිගැනීමට බළ කළහ.

බ්‍රාහ්මණ පූජක පිරිස සමාජ කොට්ඨාසයකට ආගම ඇදහීම තහනම් කළහ. ඇතැම් ආගමික ඇදහීම් කුලවාද ආදී පටු සීමාවන් තුළ ප්‍රචලිත කිරීමේ සමාජ සාධාරණත්වය ද ආගම් තුළින් බැහැර කළහ.

බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගැනීමට බල නොකළහ. විමසා බලා වැටහේ නම් පමණක් පිළිගැනීමට අවසර ලැබිණ. ආගමක් පිළිගැනීම හෝ පිළි නොගැනීම ඒ පුද්ගලයන් සතු වගකීමක් බව ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ බුද්ධියට සිතට එකඟ නම් පමණක් පිළිගැනීමට ඉදිරිපත් වන්න යැයි ආගමික නම්‍යශීලී ආකල්පයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.