Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුවය ලබන්න සුවය දෙන්න

ලොව පහළ වුණු පරම අවිහිංසාවාදියාණේ බුදුරජාණන් වහන්සේ ම වෙති. අපි හැමෝම ජීවත් වීමට කැමතියි. එහෙමනං ඇයි අපි තවත් කෙනෙකුට අවමන් කරන්නෙ ඇයි හිංසා කරන්නෙ? ඔබ මොහොතකට මෙහෙම හිතන්න ‘මං මගේ ජීවිතයට ආදරෙයි. පි‍්‍රයයි. මගේ ජීවිතය රැක ගන්නා මා සතු දේවල් රැක ගන්න, මං මොන තරං මහන්සි ගන්නවද? හැමෝම එහෙමයි ‘ කියලා හිතන්න දුක් මහන්සි වෙලා කූඩුවක් හදා ගත්තු ගේ කුරුළු ජෝඩුව පැටවුන් ලැබුණට පස්සෙ ඒ දරුවන් රැක බලා ගන්නෙ මොන තරං සතුටින් ද? ඇයි එහෙම ඒ පැටවුන් රැක බලා ගන්නෙ? ආදරය, සෙනෙහස , දයාව හින්දනෙ, බැඳීම හින්දනෙ. ඒ වගේ ඔබ ඔබේ අම්ම , තාත්තා ගැනත් හිතන්න. අපි මිනිසුන් නිසා අර සතුන්ට වඩා එහාට යමක් හිතන්න පුළුවන්. අවමන් කළොත් එය සිය දහසක් වෙලා ආපසු එනවා. කෙනෙකුට අවමන් කළාම ‘මං උන්දැට කිව්වා කණේ ඇඟිලි ගහ ගන්න කියලා අපි සතුටු වෙනවා.

පින්වත්නි, ඒ ඔබ කියාපු ටික අනෙක් අයට වඩා ආදරයෙන් වැළඳ ගන්නේ ඔබේම හිතනේ? වපුරන්නේ වී අල්ලක්. අස්වැන්න ලැබෙන්නේ වී මල්ලක්. ඒ වගෙ ඔබ වචන සියයක් වපුරන කොට ඔබට වචන දහසක් අස්වැන්න ලැබෙනව නේද? හොඳ වචනයක් කතා කළාම හැමෝගෙම හිතට සැනසුමක්.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේගෙ වචනය කනට ඉතා මිහිරිය. ඒ තරම්ම මධුර මනෝහර යි. ඒ වචන හරිම අර්ථවත්. ඇසූ හැම අයටම ලැබුණේ ලොකු සැනසිල්ලක් . සතුටක්. කාරුණික වචනයෙ බලය වටහාගත් බටහිර විද්‍යාඥයො වචනයේ බලය යොදවල රෝගීන් පවා සුවපත් කරනව. ඔබේ නිවසෙ එදිනෙදා ඇතිවන ගැටලු මොන තරම්ද? මේ ගැටලු වලදී ඔබ කලබලයට කෝපයට පත්වෙලා මොන තරම් පාඩු වෙලා තිබෙනවාද? ගැටලුවක් ඇති වුණාම ඉවසීමෙන්, කරුණාවෙන් විසඳුමක් හොයනවනං ප්‍රතිඵලය සැනසිලිදායක යි නේද? වැඩි දෙයක් නොවෙයි ගහකට වැලකට දිනපතාම නපුරු වචනවලින් කතා කරන්න බලන්න.

ඒ ගස් , වැල් දක්වන ප්‍රතිචාරය ඒ වගේම අයහපත් වනවා ඔබට පෙනේවි. බලන්න ඇසතු රුක ගැන. එයට ගරු පූජා දක්වලා සන්සුන් විදිහට බුදු ගුණ කියලා මෙත් වඩන කොට ඒ බෝධියෙන් විහිදෙන යහපත් කිරණවලින් අපි සුවපත් වෙනවා. බුදු බලය මතු වෙනවා.

බුදුරජාණන් වහන්සේගෙ සිත හැම අතින්ම පිරිසුදුයි. නිර්මලයි. ඒ සිතේ සියලු කෙළෙස් දුරු වෙලා. කවදාවත් හට නොගන්න විදිහට කෙළෙස් දුරු කළ සිතක ඇති බලය, අසම සම යි. එවන් සිතක් ඔස්සේ පිටවන වචනයත් අතිශය නිර්මල යි. පිරිසුදු යි. එවැනි උතුම් වචනවලින් ඔබේ මුව සරසා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.