Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 විනාශයේ මුව දොරට පැමිණි ගොරකාන ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරය

ශත වර්ෂ තුනකට ආසන්න දිගු ඉතිහාසයක් ඇති පානදුර ගොරකාන ශ්‍රී ධම්මානන්ද මාවතේ පිහිටි ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ සමාරම්භය සනිටුහන් වන්නේ වසර 1713 දී ය.

එවන් වූ දිගු ඉතිහාසයක ගමන් මඟ අඳුරු වෙමින් අද වන විට එවන් තැනක මෙවන් විහාරස්ථානයක් පැවැතුණාදැයි සැක හිතෙන තරමට අද එහි පරිසර විපර්යාසයකට බඳුන්වී තිබේ.


විනාශයට පත්වන චාල්ස් ගුරුන්නාන්සේගේ වටිනා සිතුවම්

එදා පුළුල් මායිම් ලකුණු ශීඝ්‍ර ලෙස පටු වෙමින් නිවාස පැල්පත් ආදී ආක්‍රමණයන්ගෙන් තෙරපුණ අද පෙනෙන කුඩා බිම් කඩ, සම්ප්‍රදායික විහාර භූ®මියෙක ඇති සංහිඳියාව මකමින් නොසන්සුන් පරිසරයක දසුනක් එක්කර තිබේ.

පටන් ගැන්මේදී මෙම පින්බිම ඉතා පුළුල් ලෙස විහිදී පැතිරී තිබෙන්නට ඇත. මධ්‍ය කාලයේදී එනම් 1839 සැප්තැම්බර් මස 24 වැනිදා ප්‍රදේශයේ ගුණවත් දානපතියකු වූ මුදෝසිලින් නම් වූ මහතා ඔහුට අයත්ව තිබූ අක්කර එක හමාරක භූමියක් එවකට විහාරාධිපති ලෙස වැඩහුන් සීනා කෝරළයේ උඩුවන තෙරුණ්නාන්සේ වෙත තෑගි ඔප්පුවකින් සසුනට පූජා කළ බව පත්ඉරු මගින් සනාථ වේ. මුල් යුගයේදී පාරිසරික විපත් ආදියට ගොදුරු වී පසුව අපේම මිනිසුන්ගේ තණ්හාදික දෑතට මිරිකී අද වනවිට විහාර භූ®මියට සීමාවී ඇත්තේ පර්චස් 63 ක් තරම් වූ බිම් කඩක් පමණි.

ඉතිහාසයේ සුවිශේෂී තැනක ලියැවී දිදුලන්නට සමත් වූ බොහෝ සාධක පිරි මේ පින්බිම කුදු මහත් වූ මදි පුංචිකම් දුර්වලතා මත අද බහුතරයකගේ අවධානයෙන් ගිලිහී වල් වැදී යන තත්ත්වයට පත්ව තිබීම ගැන ඇතිවන්නේ සංවේගයකි.

මෙහි ඓතිහාසික වටිනාකම සොයායන ගමනේදී ඉතිරි නොකර ගිය දෑ බොහොමයකි. එහෙත් සුවිශේෂී එක් සාක්ෂියක් පමණක් භෞතික වශයෙන් මෙහි තවමත් පණ අදිමින් හෝ ඉතිරිව තිබේ.

එය භූමියේ දැනට ඇති විහාර මන්දිරයයි. මන්දිරය යන වචනය විසල් චිත්ත රූපයක් මවතත් මෙහි මුල්ම බුදුමැදුර කුඩා ප්‍රමාණයේ එකකි. එහි දිග රියන් 6 ක් පමණ ද පළල රියන් 9ක් පමණද වෙයි. එම කුඩා කුටියට පසුව පිටමාලයක් වශයෙන් වසර 1901 දී පමණ කොටසක් එකතු කර ඇත්තේ එවකට මෙහි විහාරාධිපතීන් වහන්සේ වශයෙන් වැඩ සිටි ගොරකානේ ධම්මානන්ද හිමියන්ගේ යුගයේදී ය.

එහෙත් වත්මන් විහාරයේ යථා ස්වරූපය ඉතා ශෝචනීය වේ. කැඩී බිඳී අබලන් වූ බුදුමැදුර කාල විපත් මෙන්ම වෙනත් තර්ජනයන්ට මුහුණ දීමට නොහැකි වී ගරා වැටෙමින් පවතී. මෙහි කබොකින් කළ බිත්ති කැඩී ගොසිනි. දොරලෑලි දිරාපත් වී ඇත. පියස ගරා වැටෙමින් පවතී. ලී පටියෙන් කළ ඉදිරි ලීස්තර කැඩී බිඳී ගොසිනි. ඇතුලත මෙන්ම පිට මාලයේ සිතුවම් ආකමකා යමින් සායම් සේදී පතුරු ගැලවෙමින් තිබේ.

මුල් විහාර කුටියේ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ තවමත් ආරක්ෂා වී පැවතීම මද හෝ අස්වැසිල්ලකි. නුවර යුගයේ ප්‍රතිමා කලාවේ ලක්ෂණ පෙන්නුම් කරන ඒ සමාධි ප්‍රතිමා වහන්සේ උසස් කලාත්මක නිර්මාණ ලක්ෂණ මතු කරයි. පසෙකින් වන පස්වග මහණුන්ගේ ප්‍රතිමාවන්ද ඉරිතලා දුර්වල වී ඇති සැටි සිතට දුක උපදවයි.

ඉතා වටිනා පැරැණි ලක්ෂණ මතු කරනා සුදොවුන්, දේවානම්පියතිස්ස රජවරුන්ගේ මෙන්ම අනේපිඬු සිටුතුමාගේ රූප සායම් මැකී විනාශයේ අභිමුවටම පැමිණ තිබේ.

මෙහි වන තවත් සුවිශේෂී සිතුවම් ද්විත්වයක් පිළිබඳ අවධාරණය කිරීම වටියි.

පසුව එකතු කරන ලද පිට මාලයේ පිට බිත්ති මත මෙම සිතුවම් දෙක දැක ගැනීමට ලැබෙයි. ඉන් සංකේතවත් වන්නේ දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව හා දේවාරාධනාවයි. අඩි 7 යි 6ක පමණ ප්‍රමාණයකට සිතුවම් කර ඇති මේ බිතු සිතුවම් ද්විත්වයෙන් එකක් බොහෝ සෙයින් විනාශ වී ඇතත් එක් සිතුවමක් තරමක් යහපත් තත්ත්වයේ පවතී. මෙම සිතුවම් ද්විත්වය ඇඳ ඇත්තේ එවකට කීර්තිමත් නිර්මාණ ශිල්පියකු වූ චාල්ස් ගුරුන්නාන්සේ විසින්වීම විශේෂ කරුණකි.


පැරැණි විහාර මන්දිරය

මෙම කුඩා විහාර මන්දිරයත් ඒ තුළ නිර්මාණය කර ඇති නුවර සම්ප්‍රදායේ මෙන්ම චාල්ස් ගුරුන්නාන්සේගේ සිතුවම් ද්විත්වයන් ඉතා ඕනෑකමින් සංරක්ෂණය කළ යුතු බවක් හැඟෙන්නේ මෙවන් වූ නිමැවුම් පොදු කලා සංස්කෘතියේ සන්ධිස්ථානයන් වන බැවිනි.

එසේම මෙම විහාරස්ථානය හා ඈඳෙන සංඝ පීතෲන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තයේදී ද සුවිශේෂී තැන් අසන්නට ලැබේ.

පෘතුගීසි ඕලන්ද සමයේදී එවකට ප්‍රබල බෞද්ධ සිප් හලක් වූ වීදාගම ඝනානන්ද මහා පිරිවෙන හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන විට ;බෟද්ධ සාහිත්‍යය පෝෂණය කළ සුවිශේෂී මහා සඟරුවනක් වූ වෑත්තෑවේ හිමියන් පලා විත් ආරක්ෂා වීමට සැඟ වී මාස ගණනාවක් වැඩසිට ඇත්තේ ද මෙම ස්ථානයේ බව උන්වහන්සේගේ චරිතාපදානයේ ලියවී ඇතැයි කියැවේ. එවකට මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් වෑත්තෑවේ ඉන්ද්‍රසාර හිමියන් වැඩ සිටීමත් ඉහත සිදුවීමත් අතර සාධාරණ සම්බන්ධයක් ඇතැයි සිතේ.

එසේම කෝට්ටේ යුගයේ කැටකුරුළු සංදේශයේද මෙම විහාරස්ථානය පිළිබඳ සටහන් වී ඇති බව වත්මන් විහාරාධිපති ලියන්ගහවත්තේ නන්ද හිමි පවසයි.

එදා මහා ගංවතුර හේතුවෙන් මෙතැන යටවන නිසා මුල් ස්වාමීන් වහන්සේ මෙතැන ආවාසය අතැර මදක් උස් බිමෙක වූ රිවි දෙව්ගම කන්දේ විහාරය නමින් අද ප්‍රකට ස්ථානයට වැඩම කළ බවත් ඉන් පසුව මෙතැන පාළුවට ගොස් ඇති බවත් කියැවේ’.

ඉන්පසු යුගයන්හි වාද්දුවේ ධම්මානන්ද, ගොරකානේ් ධම්මානන්ද, වත්තල ශාසනජෝතී යන හිමිවරුන් මෙහි වැඩ සිටි බවත් කියැවේ.

අමරපුර ශ්‍රී ධම්ම රක්ෂිත නිකායට අයත් දෙහිවල ශ්‍රී මහා බෝධී මහාවිහාරය යටතේ පවතින මෙහි විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නේ මිහිරිපැන්නේ සෝභිත හිමියන්ය. විහාරස්ථානයේ තනිව වැඩ වසමින් විහාරාධිකාරී ලෙස කටයුතු කරන්නේ ලියන්ගහවත්තේ නන්ද හිමියන් ය. උන්වහන්සේ මෙහි වැඩම කර ඇත්තේ වසර 2006 දී පමණ ය.

වත්මන් විහාරාධිකාරී හිමියන් මෙහි වැඩම කරන විට මෙම ස්ථානය වල් බිහි ව තිබී ඇත. අදත් මෙහි ඇත්තේ තාවකාලික ආවාසයකි. හුදෙකලාව උන්වහන්සේ මේ කුඩා බිමේ වාසය කළද මෙහි ඇති ඓතිහාසික වටිනාකම පිළිබඳ මනා අවබෝධයකින් ස්ථානය දියුණු කර ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් නන්ද හිමියන් මහත් වූ පරිශ්‍රමයක් දැරීම අගය කළ යුතුවේ.

දැනට කුඩා ප්‍රමාණයේ ධාතු මන්දිරයක් මන්දගාමී ලෙස ඉදිවෙමින් පවතින විහාර භූමියේ ධර්ම ශාලාවක් ස්ථිර සංඝාවාසයක් වැනි අත්‍යාවශ්‍ය විහාරාංගයන්ගේ අඩුව පිරී මැසිය නොහැකි ය.

මෙම විහාරස්ථානයට අයත් භූමියේ අනවසර පදිංචිකරුවන්ට විරුද්ධ සංඝ සභාව විසින් මේ වන පිට පානදුර උසාවියේ ගොනු කරන ලද නඩු දෙකක් විභාග වෙමින් පවතී.

නෙක විපත්, බාහිර උපද්‍රවයන් නිසා අගාධයේ ගරාධි වැට අසලටම පැමිණ ඇති මෙම ඓතිහාසික පුදබිම කිසිවෙකුගේ අවධානයට යොමු නොවී හුදෙකලාව වීමට ඉඩ හැරීමෙන් වන්නේ සටහන් තැබිය හැකි වටිනා ඉතිහාසයක එක් පරිච්ඡේදයක් හෝ බොඳව යෑමක් නොවේද?


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.