UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටලු ලිහන සැපත සලසන මැදුම් පිළිවෙත

උත්පත්තියේ පටන් තෘෂ්ණාව ක්‍රමයෙන් පෝෂණය වන විට, ජීවිතයේ යථා තත්ත්වය නොව නිත්‍ය සුභ සුඛ, ආත්ම වශයෙන් පරිකල්පනය කරමින් තණ්හා දිට්ඨි, මාන වශයෙන් ගැනීම සත්ත්වයාගේ ස්වභාවය යි. ජීවිතය පිළිබඳ ගැටලු මතුවන විට යා යුතු මඟ නොමඟ නොදැක මුලා වී විමුක්තිය සඳහා අත්තකිලමථානු යෝගාන්තයේ එල්බ ගැනීමද ස්වභාවික ය. එහෙත් මෙම සාවද්‍ය අන්ත දෙකම පලක් නැතිබවත්, දුකට හේතුවන බවත් බුදු හිමියෝ ප්‍රථම වරට අවබෝධ කළහ.

ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතෙක් විශ්වාන්තර කිසිම ලෝකයක කිසිවකු විසින් නොදැනගත් ශාන්තිකර මාර්ගයක් තමන් වහන්සේගේම නැණින් දැන වදාළ සේක.

සමස්ත විශ්වයම ඒකකයක් වශයෙන් ගත්කළ එහි ඇත්තේ නාමරූප දෙක පමණකි. අනන්ත අවකාශය තුළ බලපවත්වන අනිත්‍ය,දුක්ඛ, අනාත්ම යන සර්ව සාධාරණ ත්‍රිලක්ෂණය අනුව මේ මායාකාරී ලෝකය තුළ ඉපදෙන, දිවි ගෙවන ජරාව්‍යාධි ආදියෙන් තෙරපෙන නිතර දුක් වේදනා ඇති, මැරෙන, උපදින නිෂ්ඨාවක්, ප්‍රතිෂ්ඨාවක් නොමැති ස්වභාවය අවබෝධකරගත් උතුමෝ, මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවන් පසක් කොට සැනසුණා.

නාම රූප ධර්ම නිත්‍ය, සුභ, ආත්ම වශයෙන් පරිකල්පනය කරන්නා, බුදුරදුන් විසින් පෙන්වා වදාළ කාමසුඛල්ලිකානු යෝග සංඛ්‍යාත අන්තයට හෝ අත්තකිලමථානු යෝග සංඛ්‍යාත අන්තයට හෝ යටත්ව සංසාර සාගරයේ පරතෙරක් නොදැක පීඩාවට පත්වන්නේ ය.

සත්ත්වයා ලැබූ ඇස්, කන්, නාසාදී ඉඳුරන් පිනවීම භෞතික ප්‍රගතියේ අපේක්ෂාව වුව ද ඉන්ද්‍රිය සැමදා එකම ස්වරූපයෙන් නොපවතින බැවින් එයින් ලැබෙන ප්‍රතිඵල දුක් සහිතද වන්නේ ය. එමෙන්ම අත්තකිලමථානුයෝග සංඛ්‍යාත අන්තය ද කායික මානසික මහා දුක් කඳක්, වේදනාවක්, සන්තාපයක් ඇති කරන හේතුවක් වන්නේ ම ය.

‘අන්ත’ ශබ්දයෙන් උපරිමය, කෙළවර, අවසානය, යන අරුත් ගම්‍යමාන වන අතර, කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානු යෝගය යන අන්ත දෙකට නොපැමිණි ආර්ය අෂ්ටාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව නම් වන්නේ ය. එම උතුම් දුක් නැති කරන පිළිවෙත දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව වශයෙන් ද බුද්ධාදී උතුමන් අවබෝධ කළ බැවින් ද, ප්‍රතිපදාව අවසාන නිරෝධය හෙවත් නිවන ලබාදෙන බැවින්ද ආර්ය මාර්ගය, නිර්වාණ මාර්ගය නමින්ද ප්‍රකට ය.

බුද්ධ පූර්ව කාලයේ පවා ආත්ම විමුක්තිය පිළිබඳ ප්‍රතිපත්ති වශයෙන් ද දාර්ශනික වශයෙන් ද නොයෙක් ආගමිකයන් විසින් තම බුද්ධි ප්‍රමාණයෙන් විමර්ශනය කොට තම තමන්ගේ නිෂ්ටා විමුක්ති මාර්ග වශයෙන් දේශනා කළ නමුත්, ලබාගත් විමුක්තියක් පිළිබඳව සාධකයක් නැත. අප ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ ද ඇතැම් අන්තවාදී පිළිවෙත් අනුගමනය කළ බව මහාසීහනාද සූත්‍රයෙන් පැහැදිලි වෙයි. එහෙත් එම අන්තගාමී පිළිවෙත් පිළිපැදීමෙන් විමුක්තිය ලබාගත නොහැකි බව උන්වහන්සේ අවබෝධ කළහ.

දම්සක් පැවතුම් සූත්‍රයෙන් දැක්වෙන පරිදි අවිද්‍යාව දුරුකොට සම්බෝධි ඤාණය ලබා ගැනීමට නම් අනුගමනය කළයුතු එකම පිළිවෙත ආර්ය මාර්ග සංඛ්‍යාත මධ්‍යම ප්‍රතිපදාව යි. මෙය සීල, සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් පරිභාවිත වූ මුල මැද අග යහපත් වූ ජීවාත්මක ක්‍රියාවලියකි. එබැවින් එය ජීවිතයේ සෑම අවස්ථාවකටම යෝග්‍ය වන්නා වූ අති ශ්‍රේෂ්ඨ අර්ථවත් පිළිවෙතකි.

ආත්මය පිළිබඳ චින්තනයෙන් ඇතැම් චින්තකයන් අන්ත දෙකකට අයත්ව දෘෂ්ටි ජලයක ගැලී සිටි අයුරු මහාසීහනාද සූත්‍රයේ දක්නට ලැබෙයි. භෞතික වාදයෙන් චිත්ත සන්තානය සංකීර්ණ කරගත් චාර්වාක වැනිආගමික චින්තකයෝ සුඛෝපභෝගී කාමභෝගී ජීවිතයම විමුක්තිය බව විශ්වාස කළහ.එහෙත් එය කාමසුඛල්ලිකානු යෝගය බවත් එයින් විමුක්තිය ලබාගත නො හැකි බවත් බුදු හිමියෝ ප්‍රත්‍යක්ෂ කළහ.

උත්පත්තියේ පටන් තෘෂ්ණාව ක්‍රමයෙන් පෝෂණය වන විට, ජීවිතයේ යථා තත්ත්වය නොව නිත්‍ය සුභ සුඛ, ආත්ම වශයෙන් පරිකල්පනය කරමින් තණ්හා දිට්ඨි, මාන වශයෙන් ගැනීම සත්ත්වයාගේ ස්වභාවය යි. ජීවිතය පිළිබඳ ගැටලු මතුවන විට යා යුතු මඟ නොමඟ නොදැක මුලා වී විමුක්තිය සඳහා අත්තකිලමථානු යෝගාන්තයේ එල්බ ගැනීමද ස්වභාවික ය. එහෙත් මෙම සාවද්‍ය අන්ත දෙකම පලක් නැතිබවත්, දුකට හේතුවන බවත් බුදුහිමියෝ ප්‍රථම වරට අවබෝධ කළහ.

ලෝකයේ පවත්නේ එකම සත්‍යයකි. එය සොයා දැනගැනීමට නිවැරැදි ක්‍රියා මාර්ගයක්, පර්යේෂණයක් අවශ්‍ය ය. මනුෂ්‍ය ලෝකයේ උපදින සත්ත්වයන්ට සැප ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට ඕනෑතරම් ක්‍රම ඇති නමුත් එහි ආදීනව දක්නට අවශ්‍ය පරිසරය අල්පය. සෑම කෙනකුගේම ඉඳුරන් ක්‍රියාත්මක වන්නේ පරිසරයට, අනුගතව විනා ජීවිතයේ යථාර්ථයට අනුව නෙවෙයි. මේ නිසා යම් අරමුණකට ඉඳුරන් යොමු කරන්නට සදූපදේශයක් ලබා දෙන්නා බෝධිසත්ත්වවරයකු වන අතර ලොවුතුරා බුදුබව පවා ලැබීමට හැකි වන මධ්‍යම ප්‍රතිපදාව කිසි අන්තයකට අයත් ‍ෙනාවන යථාර්ථ දර්ශනයට අනුගත පිළිවෙතකි.

සියල්ල ඇත. (සබ්බං අත්ථි) යන දෘෂ්ටියත්, සියල්ල නැත යන ශූන්‍යතා වාදයත් යන මේ අන්ත දෙකම විමුක්තියට බාධා වන බව, බුදුහිමියෝ කච්චායන තෙරුන්ට පැහැදිලි කළ සේක. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව නිර්වාණගාමි ක්‍රියාකාරී අර්ථවත් ශික්ෂණයක් ලැබීමට මහෝපකාරී වෙයි.

සීලය ආරක්ෂා කර ගැනීමෙන් කාමසුඛල්ලිකානු යෝගාන්තයට ගමන් කරන සිත පංචේන්ද්‍රිය අරමුණු පිළිබඳ කාම තෘෂ්ණාවෙන් ආරක්ෂා කර ගැනීමට පුළුවන. කෙනෙක් තමන් උපතින්ම ලබන පසිඳුරන් පාලනය කර නොගන්නේ ඉඳුරන් පිළිබඳ යථාවබෝධයක් නොමැකිකම නිසයි. එමෙන්ම පසිඳුරන්ට දැඩි දුක්දීමෙන් අත්තකිලමථානුයෝගයට යටත් වන්නේ ද අනවබෝධය නිසා ය. ප්‍රතිපදාවේ ප්‍රථමයෙන් සම්මා දිට්ඨි ය දක්වා ඇත්තේ මේ අවබෝධය අවශ්‍ය නිසාාය.

දෙපිරිසක් ගැටෙන විට එය තිරසරව සමනය කිරීමට නම් සිත සංසිදවන චින්තනයක් තිබිය යුතු ය. ඉඳුරන් සොයා දෙන අරමුණින් මනස ආශ්වාසය සෙවීම් සීමාවක් නැති වුවද ඉන්ද්‍රිය අක්‍රියවීම ආදී දුක් වේදනා භවයෙන් භවයට ජාති, ජරා, ව්‍යාධි මරණාදී අනේකවිධ දුක්වලට ලක්වීම, අනිවාර්ය ය.

මිනිසා දැනගත් ඉතිහාසයේ පටන් මෙතෙක් ලියැවී ඇති ලක්ෂ කෝටි ගණන් තොරතුරු සියල්ල විමසා බැලීමේදී මිනිස් සිත මත් කරවන කාමාශ්වාද අන්තය හෝ දුක්ඛ වේදනාදායක අත්තකිලමථානුයෝගය යන අන්ත දෙක ඒ තුළින් දැකගත හැකියි. වත්මන් ලෝකයේ අසත්මාර්ගගාමී, විනාශකාරී මත්ද්‍රව්‍ය, ගණිකා නිවාස, හා අපචාර ආයතන ආදිය ක්‍රියාත්මක වන්නේ් පංචේන්ද්‍රිය පිනවීමේ අන්තගාමී හැඟීමෙන් මතුවන උන්මාදය නිසා ය.

වැරැදි අදහස් අනුව ඉටු කරන පිළිවෙත් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වන විට, එය උන්මාදයක් බවට පත්වීම, අනිවාර්යය. විශ්වයේ ජීවාජීව පරිසර ය ද යහපත් ලෙස රඳා පවත්නේ මධ්‍යම ප්‍රතිපදාවේ යහපත් බලපෑම නිසාය. සතර මහා භූතයන්ගේ පැවැත්ම පාලනය වන්නේද මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාත්මක වීම නිසාය.

සත්ව පරම්පරාවකින් තවත් පරපුරකට බාර කරන විශ්වය තුළ, කාලීනව මතුවන ප්‍රශ්නවලට නිර්භයව මුහුණ දීමට ශක්තිය හා විසඳුම් ලබා ගැනීමේ තියුණු නුවණපහළ වන්නේ ද මධ්‍යම ප්‍රතිපදා තුළය. ආගම, දහම, නීතිරීති, සිරිත් විරිත් ආදිය කොතරම් ක්‍රියාත්මක වුවත් කොතරම් විද්‍යාව දියුණු වුවත් සැබෑ අභිවෘද්ධියක් ඇතිවන්නේ මධ්‍යම ප්‍රතිපදාව නිසාය.

මධ්‍යම ප්‍රතිපදාව - දුක්ඛ නිරෝධගාමිණි පටිපදාර්ය සත්‍ය වශයෙන් ද ත්‍රිවිධ ශික්ෂා වශයෙන් ද ප්‍රකාශනයට පත් වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් විමුක්ති සුවයෙන් සැනසීමට එකම මාර්ග වන්නේ, මධ්‍යම ප්‍රතිපදාවයි.

ඔබ සැමට තෙරුවන් සරණයි

 

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]