Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය මගින් ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය ඇසළ පොහෝ දා ප.ව 6.30 - 7.30 දක්වා

වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ රුදුරු ත්‍රස්තවාදයේ කුරිරු පීඩනයට හසුව තිබූ අපේ මාතෘ භූමිය මුදා ගැනීම තරම් උත්තම පී‍්‍රතියක් කිසිදු දේශප්‍රේමියෙකුට නොමැත. අතිමහත් කැපවීම් තුළින් මුදාගත් මේ පුණ්‍ය භූමිය පුරා ආධ්‍යාත්මික ශක්තිය ගොඩනැඟීමේ අවශ්‍යතාවය රාජ්‍ය සේවා බෞද්ධ සංගමය මැනවින් වටහා ගෙන සිටිමු. මව්බිම වෙනුවෙන් වූ ඒ උදාර කර්තව්‍යය ඉටුකිරීම සඳහා රාජ්‍ය සේවා බෞද්ධ සංගමය වාර්ෂිකව සිදුකරනු ලබන ලොව ධර්ම රත්නය හා සංඝරත්නය පහළ කළ ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය මෙවර කොළඹ බොරැල්ලේ කල්‍යාණ ධර්ම ආශ්‍රමය විහාරස්ථානයේ දී ඇසළ පෝය දින පස්වරු 06.30 සිට පස්වරු 07.30 දක්වා සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එෆ් එම් සේවය ඔස්සේ සජීවීව ලොව පුරාම විසිරුවා හරිනු ලැබේ. එම අවස්ථාවට මුළු මහත් දිවයිනේම බෞද්ධ ජනතාව වෙහෙර විහාර වටා ඒකරාශී කර එම සජ්ඣායනයට සම්බන්ධකර ගැනීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් හරහා දැනට සිදුකෙරෙමින් පවතින බවද එම සංගමය කියයි. අපේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම බෞද්ධයන්ගේ පුණ්‍ය ශක්තිය මත සිදුවූවක් බව පැහැදිලිය.

ඒ අනුව මුදාගත් පින්බිම ධර්ම ශක්තියෙන් නැහැවීම සඳහා මෙම සජ්ඣායන අවස්ථාවට සමස්ත බෞද්ධ ජනතාව එකාවන්ව සම්බන්ධ කිරීම නොමිනිය හැකි ආධ්‍යාත්මික ශක්තියක් රටතුළ ගොඩනැඟීමක් වනු ඇත. මුළු මහත් දිවයින තුළ පවතින මානසික පරිසරය අවබෝධයෙන් සැලකිල්ලට ගත්විට ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය සඳහා පහසුවෙන්ම ජනතාව යොමුකළ හැකි බව පැහැදිලිය. රටේ මුළු මහත් බෞද්ධ ජනතාවගෙන් සෑහෙන පිරිසක් මෙම සජ්ඣායනය සඳහා සම්බන්ධ කිරීමේ දී එකී සිත් සියල්ල සමාධිගත කිරීම සිදුවේ. මෙම සමාධිගත පරිසරය රටේ ඉදිරි අභිවෘද්ධිය සඳහා සුවිශේෂී තෝතැන්නක් වනු නියත බව රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපතිනිය වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.