Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ සංවිධානයෙන් දහතුන් (13) වන වතාවටත් පැවැත්වෙන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජූලි මස 5 – 6 යන දෙදින තුළ මහත් අභිමානයෙන් යුතුව පැවැත්වේ.

මෙවර පෙරහර ප්‍රථම දිනය වන ජුලි මස 05 දින පස්වරු 7.30 ට අනුරාධපුර ශ්‍රීමහා බෝ සමිඳුන්ගේ් නැගෙනහිර වාහල්කඩ දොරටුව අසලින් ආරම්භකර පෙත්මග ඔස්සේ රන්මැලි මහ සෑ රදුන් අබියසින් ගමන්කර පැරණි රෝහල් මංසන්ධියෙන් සංඝමිත්තා මාවතේ පිහිටි ප්‍රථමයෙන්ම දළදා වහන්සේ තැන්පත් කර තිබූ මාළිගාව වෙතට ගොස් පුදපූජා පවත්වන අතර එම ස්ථානයේ ආගමික කටයුතු අභයගිරි විහාරාධිකාරි පණ්ඩිත ශාස්ත්‍රවේදී කල්ලංචියේ රතනසිරි හිමියන් විසින් මෙහෙයවනු ඇත.

පහතරට නැටුම්, සබරගමු නැටුම්, වෙස් නැටුම්, කාවඩි පන්තේරු ලී කෙලි, බොරු කකුල්කරුවන් වෙස් නැටුම්, සවරන්, කෝල්මුර කණ්ඩායම්, කලායතන නැටුම් කණ්ඩායම් වඩිගපටුුන ඇතුළු නැටුම් කණ්ඩායම් හැත්තෑ හතරක් (74) පෙරහරරේ ගමන් කරවනු ඇත.

විශේෂයෙන් දේවාල පෙරහර මහා පෙරහර සමග ගමන් කරවන අතර හස්තිරාජයකු සිට දර්ශනීය රන්කරඬුව පෙරහර මධ්‍යයේ ගමන් කරවනු ලබයි.

අනුරාධපුර පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක සේවාව පෙරහර ගමන් ගන්නා මාර්ගයේ රැස්ව සිටින දහස් ගණන් නරඹන්නන් ගේ සහ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන අතර, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට පෙරහර නැරඹීමේ පහසුකම් සහිත ස්ථාන වෙන් වශයෙන් සකස් කරනු ඇත.

රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සුවිශේෂ දායකත්වයන් මෙවරද ලබාදෙන අතර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන, ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන්ගේ් ආශිර්වාදයෙන් හා උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ප්‍රචාරක මාධ්‍යයෙන් වර්ණවත් කරනුයේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සහ ප්‍රධාන අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයන්හි ඒකාබද්ධ කමිටුවක් මගිනි.

මෙයට අමතරව ප්‍රධාන අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රධාන ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, අනුරාධපුර මහනගර සභාව, ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජල සම්පත් මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, මහජන බැංකුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පළාත් සෞඛ්‍ය සේවා අධිකාරි, පලාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව, ඇතුළු සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ආයතන විශාල සංඛ්‍යාවකගේ දායකත්වය මෙවර පෙරහරට ලැබෙනු ඇතැයි සංවිධායකවරු සඳහන් කරති.

ඈත ඉතිහාසයේ රජ දවසින් පසුව පෙරහරක් නොපැවැති අවස්ථාවක එකී අවශ්‍යතාව බෞද්ධ ජනතාවට ලබාදීමේ පරමාර්ථයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අභයගිරි ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගෙන ශ්‍රී මහා බෝධිය අබියස සිට අභයගිරිය දක්වා පොසොන් පුන් පොහෝ දිනයේ දිවා කාලයේ පැවැත්විණ.

පසුව එවකට කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව සිටි වත්මන් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ගේ් සංකල්පයක් මත 1997 දී මෙම පෙරහර රාත්‍රී පෙරහරක් ලෙසට එක් දිනකට සීමා වී ආරම්භ කෙරිණ. අද එය දෙදින දක්වා සංවර්ධනය වී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ පෙරහරක තත්ත්වයට සමකළ හැකි තත්ත්වයකට පත්ව ඇත.

උතුරු මැද මෙන්ම සමස්ත ලංකාවාසී ජනතාවටම නිදහසේ සතුට භුක්ති විඳීමට අවකාශ ලබාදුන් අපේ රටේ අභිමානය යළි ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වීමට මෙතෙක් තිබූ සියලු බාධක වැටකඩොලු ඉවත්කළ ජනාධිපතිතුමන්ටත් මහා රණවිරුවන්ටත් ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරන මෙවර පෙරහරද සුපුරුදු පරිදි ආරම්භයේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍ය්‍යයේ හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සිදු කෙරේ.

එම උතුම් කාර්යය උතුරු පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, වත්මන් පෙරහරේ නිර්මාර්තෘ මෙන්ම, සංවිධායක, ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක යන මහත්වරු අතින් රැස්ව සිටින දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදු නාද මධ්‍යයේ සිදුවේ.

දසක තුනක් පැවැති මහා කුරිරු ත්‍රස්තවාදයෙන් දේශය ගලවා ගැනීමේ දැවැන්ත අභියෝගය ජය ගැනීමට අතිගරු ජනපතිතුමන්ටත් ත්‍රිවිධ හමුදා හා පොලිස් රණවිරුවන්ට හැකිවූවා සේම මුළු ලෝකයේම සාමය සතුට සහෝදරත්වය රජයන ආර්ථිකවත් ප්‍රබලතම රට බවට ශ්‍රී ලංකාව පත්කරලීමේ අභියෝගය ද ජයගැනීමට මෙම පෙරහර පැවැත්වීමෙන් ලැබෙන කුසල් වල බලමහිමයෙන් හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.