Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොත් පුවත්

ධම්ම ආරෝග්‍යය සහ මිනිසා

කර්තෘ -ලබුදූවේ සිරි සුජාත හිමි
ප්‍රකාශනය - ආලෝචනා ,
ශ්‍රී ධර්ම ප්‍රකාශන, රාජෝපවනාරාමය, පේරාදෙණිය
මිල - රු: 250 /-

මෙය, කතු හිමියන් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ දර්ශනය විෂයයෙහි ශාස්ත්‍රපති උපාධිය සඳහා 1988 දී ඉදිරිපත් කළ නිබන්ධය ඇසුරින් සකස් කරන ලද ග්‍රන්ථයකි. සමය දර්ශනය, මිනිසා හා මනෝප්‍රතිකාර, බෞද්ධ දර්ශනය , මනෝවිද්‍යාව හා මිනිස් ඥානය ,බෞද්ධ දර්ශනය තුළ මනෝවිද්‍යා ක්‍ෂේත්‍රය දරන ස්ථානය , ‘මමතා ඇතිතාක් රෝගීය මිනිසා ආදී මාතෘකා රාශියක් මෙහි ඇතුළත්ය.තම උත්සාහය පිළිබඳ ව කතු හිමියෝ මෙ සේ පවසති.

“අප ගේ ව්‍යායාමය වනුයේ ද දාර්ශනික විමර්ශනයක යෙදීම නිසා බොහෝ සාධක අතුරින් එකක් පමණක් රැක ගත යුතු යැයි ආකල්පයක් නැති. භාග්‍යයකට මෙන් අප තෝරාගත් විෂය ක්‍ෂේත්‍රය තුළම අප මෙහෙය වනුයේ, ‘අවුත් විශ්වාස කරන්න ‘ යන්නට ඉඳුරාම වෙනස් වූ ‘අවුත් පරීක්‍ෂා කර නැවත නැවතත් පරීක්‍ෂා කර සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කර ගන්න ‘ යනුවෙනි. බුදුසමය දක්වනුයේ ‘විශ්වාසය තුළින් අප හා එකඟ වන්න ‘ කියා නොව ‘ විමසා බලා එහි යෙදී සුවපත් වන්න ‘ යනුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි එම ධර්මය සඟවා වසා තැබීමෙන් නොව විමංසනයෙන්, පරිවිමංසනයෙන් විවෘත කළ තරමටම වඩ වඩාත් ප්‍රකටව තහවුරු වෙයි. එනිසා අපගේ කාර්යයෙහි භීතියෙක් හෝ සන්ත්‍රාසයෙක් නැති. ආලෝකවත් වූ මග විමසීම සූකරය. මෙහි එන පරිච්ඡේද පහම එවන් විමර්ශනයක ප්‍රතිඵලයකි.

 


 

භාවනාව

කර්තෘ - අචාන් චා හිමි
පරිවර්තනය - විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ
ප්‍රකාශනය - බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය
මහනුවර
මිල :- රු: 225/-

සිත දියුණු කිරීම පිළිබඳව අචාන් චා හිමියන් කළ දෙසුම් පහක සිංහල පරිවර්තනයකි. පුහුණුවීමේ මාර්ගය, නොසැලෙන සංසුන් බව, සැනසුමට මඟ, පුහුණුව පිළිබඳ විශ්වාසය , ප්‍රඥාවේ පැහැදිලි බව, සැක නොකරන්න , දැනුවත් බව පවත්වා ගන්න, මෙනෙහි කිරීම යනු කුමක්ද? යන මාතෘකා යටතේ භාවනාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කැරේ.

මේ කෘතිය ගැන පරිවර්තකගේ සටහන මෙසේ ය.

අතිපූජ්‍ය අචාන් චා මා හිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද විවිධ ධර්ම දේශනා සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ඇසුරුකොට, බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ පූජ්‍ය ඤාණතුසිත හිමියන් විසින් සම්පාදිත Meditation  නමැති භාවනාව පිළිබඳ මෙම අග්‍රගන්‍ය ග්‍රන්ථ රත්නය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට ලැබීම ම මා ලද භාග්‍යයක් කොට සලකමි. මෙම අගනා කෘතිය කියවමින් සිටි සෑම විටකදීත් , හෙළ බසට පෙරළමින් සිටි සැම විටකදීත් , මා සිත යළි යළිත් අනායාසයෙන් සමාධිගත විය.
 


සසර තරණයට මඟ

කර්තෘ :- බෝගහපිටියේ ධම්මසිද්ධි නා හිමි
ප්‍රකාශනය :- ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ
මිල :- රු: 450 /-

පරිච්ඡේද දහයකින් සමන්විත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. අවිද්‍යාව නිසා රැස්කරන කර්ම, විපාක දීමේදී කර්මය බෙදී යන ආකාරය, විපාක දෙන ක්‍රම අනුව කර්මය වෙනස් වෙයි. කෘත්‍ය කර්ම හා ඒවාට පැවරෙන වගකීම්, සසර ගමන මරණයෙන් කෙළවර වේද?

කුසලා කුසල විපාක අනුව ලබන උත්පත්ති, සත්ත්වයන්ගේ භවගමන අවසන්වන ආකාරය, සංසාර විමුක්තිය හෙවත් නිවන් දැකීම ආදී මාතෘකා යටතේ මෙහි කරුණු දක්වා තිබේ.කර්මය හා පුනර්භවය යන දෙකේ අත්‍යන්ත සම්බන්ධය නිසා සසර පැවැත්ම සිදුවන අතර එයින් නිදහස් වීමට නම් සියලු භවගාමී ශක්තිය නිමකොට සෝවාන් ආදී මඟ පල පිළිවෙළින් නිවන් අවබෝධ කළ යුතු බව පැහැදිලි කරනු සඳහා මේ කෘතිය ලියූ බව කතු හිමියෝ පවසති.


 


Jataka Stories
 

කර්තෘ - ජේ.රොබට්සන් මහත්මිය
ප්‍රකාශනය :- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
නැදිමාල , දෙහිවල
මිල :- රු : 250/-

ඉතා සරල ඉංගී‍්‍රසි, බසින් ලියන ලද කෘතියකි. දේවධම්ම , ගුත්තිල ,තේමීය ,ජයද්දීස, වනග්‍රහ සේරි වාණිජ , වෙස්සන්තර , මහ, දසරථ , සාම, සුතසෝම, දහම්සොඬ, තිලමුත්තිථ කුරුධම්ම , සිවි යන ජාතක කතා පහළොව මෙහි ඇතුළත් ය. ළමයින්ට කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සකස් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.