Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් දම් පුරා අවසන් ආත්මභාවයේ දී සිද්ධාර්ථ කුමරුන් ලෙසින් ඉපිද තුරුණු වියෙහිදීම අභිනිෂ්ක්‍රමණය කොට වීර්ය වඩා වෙසක් පුර පසළොස්වක පොහොය දිනෙක ඇසතු වෘක්‍ෂ මූලයෙහිදී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට ගත්හ. ශාන්ති නායක, තුන්ලෝ තිලක ගොයුම් ගොත් අමාමෑණි සම්මා සම්බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කොට ගත් ශ්‍රී සද්ධර්මය ප්‍රථම කොටම ස්වකීය ශ්‍රාවකයන් වෙත දේශනා කර වදාළ උතුම් ඇසළ පුර පසළොස්වක පොහෝ දවස අදයි.

එදා බරණැස නුවර ඉසිපතනයේ මිගදායෙහි පස්වග තවුසන් අමතා බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්න සූත්‍රය දේශනා කොට වදාළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

මේ ඓතිහාසික අවස්ථාව නිරූපණය කොට දක්වන විශ්ව කීර්තියට පත්, අති විශිෂ්ට කලා නිර්මාණයක් ඉන්දීය බෞද්ධ කලා නිර්මාණ අතර වේ. ඒ බුද්ධාලම්භන පී‍්‍රතිය දනවන ‘සාරානාත් බුද්ධ ප්‍රතිමාවයි.’


සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඉන්දීය කලා ඉතිහාසයේ ගුප්ත යුගයට අයත් බෞද්ධ කලා ශිල්ප වෙසෙසි තැනක් ගනී. ඒ අතරිනුදු බුද්ධ ප්‍රතිමාව සුවිශේෂී වේ. ගන්ධාර, සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා මෙන් නොව ‘මථුරා’ ‘අමරාවතී’ ආදී සම්ප්‍රදායන්හි බුද්ධ ප්‍රතිමා දේශීය ලක්‍ෂණ ප්‍රකට කරවයි. ගුප්ත සම්ප්‍රදාය ද එබඳු ඉන්දීය අනන්‍යතාවය ප්‍රකට කරවන කලා සම්ප්‍රදායක් වශයෙන් හැඳින්වීමට පිළිවන. මේ යුගය නියෝජනය කරන කලා මධ්‍යස්ථාන කීපයකි. එයින් ‘සාරානාත්’ හා ‘මථුරා’ ප්‍රදේශ සුවිශේෂත්වයක් උසුලයි.

ගුප්ත යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවන්හි ප්‍රකටව විද්‍යාමාන වන කලා ලක්‍ෂණ කිහිපයක් වේ. උපශාන්ත බව, සියුම් බව, විශිෂ්ට නිමාව ඒ අතරින් කැපී පෙනෙන අතර ඒ සියල්ල අභිබවා ඉස්මතු වනුයේ අතිශය භාවාත්මක හැඟීම් ප්‍රකාශනයයි. මන බඳනාසුළු ප්‍රසන්න පෙනුමෙන් යුක්ත ගුප්ත කලා නිර්මාණ තුළින් ඊට ආවේණික ආධ්‍යාත්මික ලක්‍ෂණ මැනැවින් පිළිබිඹු කිරීමට ද ගුප්ත යුගයේ මූර්ති ශිල්පීහු අතිශයින්ම වගබලාගත්හ.

මේ යුගයේ බිහි වූ කලා නිර්මාණ අභිනවයෙන්ම බිහි වූ ඒවා නොවී ය. ඉන්දියාවේ එතෙක් ප්‍රචලිතව ගිය කලා ශිල්ප හා සම්ප්‍රදායන් සංවර්ධනය වෙමින් පැමිණ උසස් ගණයේ කලා නිර්මාණ බිහි වූ යුගයක් විය. දිගු ගමනක් ආ ඉන්දීය ශිල්පීන් ලබා සිටි පරිණතභාවය හා ගුප්ත රජදරුවන් වෙතින් කලාවට ලැබුණු අනුග්‍රහය ගුප්ත යුගයේ අති විශිෂ්ටතම නිර්මාණ බිහිවීමට හේතුභූත වූ බව ඉන්දීය කලා ඉතිහාසය හදාරන විට පැහැදිලිව පෙනේ.

ක්‍රි.ව. 4 වන සියවසේ ඇරැඹි 6 වන සියවස දක්වා පැවැති ගුප්ත රජ සමයේ ඇති වූ සංස්කෘතික නවෝදය තුළින් බිහි වූ මහාර්ඝතම කලා නිර්මාණ අතර උසස් නිමාවෙන් හා ගැඹුරු භාව ප්‍රකාශනයෙන් උපලක්‍ෂිත සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ වෙසෙයි කලා ලක්‍ෂණ කවරේදැයි විමසා බලමු. ‘චූනාර්’ නමැති වැලිගල් විශේෂයකින් නිමවන ලද මෙම බුද්ධ ප්‍රතිමාව ‘පද්මාසන’ ක්‍රමයෙන් වැඩ සිටින පූර්ණ උන්නත ප්‍රතිමාවකි. වැලමිටෙන් ඉදිරියට නවන ලද දෑතෙහි ඇඟිලි ළය මත ගොනු කොට ‘ධර්ම චක්‍ර’ මුද්‍රාව නිරූපණය වන අයුරින් නෙළා තිබේ. ඇඟිලිවල මුදු මොළොක් බව වැනි සියුම් ලක්‍ෂණ මතුකිරීමෙහිලා ශිල්පියා දක්වා ඇති සමත්කම විශ්මිතය. චීවරය පොරවා ඇත්තේ දෙඋර වැසෙන පරිද්දෙනි. ඇඟට ඇලී ඇති අයුරු පෙනන සිවුරෙහි රැළි මතු කර නැත. එසේම චීවරය තුළින් බුද්ධ ශරීරය විනිවිද පෙනේ.

බුද්ධ ප්‍රතිමාවෙහි ශරීර අවයව සියුම් බවෙන් යුක්තව නෙළා තිබෙන අයුරු දක්නට ලැබේ. මස් පිඬු දැක්වීමට ශිල්පියා උත්සාහ කර ඇති බවක් නො පෙනේ. ඕවලාකාර හිසෙහි හිස කෙස් වටකුරුවට නෙළා තිබේ. අඩවන් දෙනෙතින් යුක්ත ප්‍රසන්න මුහුණේ උපශාන්ත බව හා මහා කරුණාගුණය කැපී පෙනේ. වෘත්තාකාර හැඩයෙන් යුත් සිරස වටා විහිද යන විශාල රැස් වළල්ල හෙවත් ප්‍රභා මණ්ඩලය සාරානාත් බුද්ධ ප්‍රතිමාවට එක් කරනුයේ අපූරු චමත්කාරයකි. එය ඉතා සියුම් ලෙසින් මතු කරන ලද චිත්තාකර්ශනීය ලියවැල් රටාවකින් හා බින්දු මෝස්තරයකින් අලංකෘත ය. ප්‍රභා මණ්ඩලය දෙපස, බුද්ධ ශීර්ෂයට ඉහළින් යොදා තිබෙන දේව රූප දෙක එහි පියකරු බව වඩා වර්ධනය කරයි.

බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ආසනයේ ඇන්ද ද විසිතුරු කැටයමින් යුක්තය. එහි පහළ කොටසෙහි අඩක් මතු කර නෙළා ඇති ශ්‍රාවක රූප හයක් වේ. එහි මධ්‍යයේ ධර්ම චක්‍ර සටහනකි. දම්සක් පැවතුම් සුත්‍රය සංකේතවත් කරන්නට ගත් උත්සාහයක් වැන්න. ඒ දෙපස මුව පොව්වන් දෙදෙනෙකුගේ රූප නෙළා ඇත. දැනට ඉන්දියාවේ සාරානාත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙන අති විශිෂ්ට මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ සාරානාත් ගුරුකුලයෙන් කලා ලොවට දායාද කෙරුණු අග්‍රගණ්‍ය නිර්මාණයකි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.