Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුගලන් මහ රහතන් වහන්සේ රහත් ඵලයට පත් වූ ආත්මයේ ද පෙර කළ අකුසලය පසුපසම ආව. සොරුන්ගෙන් තැලුම් ලබා පිරිනිවන්පාන්න සිදුවුණා. ඉහත භවයක ඇස් වෙදකම් කරන විට කාන්තාවකගේ ඇස් අන්ධ කරපු පාපයට රහත් වූ ආත්මයෙත් ‘චක්ඛුපාල’ මහරහතන් වහන්සේගේ ඇස් අන්ධ වුණා. ඉගැනීමට නොහැකි සාමණේර නමකට අපහාස කළ පාපයට චුල්ලඵන්තක හාමුදුරුවන්ට රහත්වූ ආත්මයෙත් හාරමාසයක් තුලවත් එක් ගාථා පදයක්වත් පාඩම් කරගන්න බැරිවුණා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මධූවා මඤ්ඤතී බාලෝ
යාව පාපංන පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලෝ දූක්ඛං නිගච්ඡති

පින්වත්නි,

බුදු දහම මිනිසාගේ මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් සසර දුකින් මිදී උතුම් නිර්වාණ ධාතුවට පැමිණීමටත් ඉවහල්වනව. සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය දෙවියන් බඹුන් සහිත සියලු ලෝකයාටම සැනසීමේ මග හෙලිකර දෙනව. මුලක් අගක් නොමැති මේ සසරේ නිමාව දැකීමට නම් අමාමෑණි බුදුපියාණන් වහන්සේ සැනසුම සොයාගත් මෙම බුදුමග හැර අපට යාහැකි වෙනත් මගක් නොමැත.

ඉහත මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්මපදයේ බාලවග්ගයටයි. බුදුපියාණන් වහන්සේ එය දේශනා කළේ නන්දනම් නොමග ගිය අයකු වෙතය. මෙම ගාථාවේ සරල අදහස වන්නේ අනුවණයා පව මෝරා විපාක දෙනතුරු මීපැණි මෙන් සලකයි. එම පව මෝරා විපාක දෙනවිට එම අනුවණයා දුකට පත්වේ.

කරන කළට පව් මීරිය මීසේ
විඳින කළට දුක් දැඩිවෙයි ගිනි සේ

පව් කරන අනුවණයා තමන් කරන පව් කවුරුත් දන්නෙ නැතැයි සිතනව. යම රජ්ජුරුවන්ට මොහු කරන පව් පේනවා. හිනා හතරක් තියෙනවා. ඉන් එකක් යමරජුගේ. යමරජු හිනාවෙලා කියනව ඔය හිනාවෙලා පව් කළාට එන්න ඕන මා ළ¼ගටනේ කියල.

අකුසල කර්ම විපාක දෙන ක්‍රම හතරක් තියෙනවා.

ගරුක කම්ම
ආසන්න කම්ම
ආචින්න කම්ම
කටත්තාකම්ම යනුවෙනි.

ගරුක කර්ම කලොත් නම් දුගතියෙන් ගොඩ එන්න බැහැ. අටමහ නිරයෙන් එකක යනවා. කියනව පංචානන්තරිය පාප කර්මය කියල. දැක්වෙන්නෙ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරේ ලේ සෙලවීම, සංඝභේදය, යන පාපකර්ම වේ.

ආසන්න කර්ම කියන්නේ, මරණාසන්න අවස්ථාවේදී තම චුති චිත්තයට එන අරමුණ විය. පුන්‍ය සිතිවිල්ලක් වුවහොත් සුගතියට යනවා. පාප සිතිවිල්ලක් ආවොත් දුගතියෙ උපදිනව. ඊට හොඳම උදාහරණයක් තමයි මල්ලිකා දේවිය. ඇය අසදෘෂ මහාදාන දුන්නත් මල්ලිකා දේවියට මරණාසන්න මොහොතේ සිහිවුනා එක් අවස්ථාවක තමන් රජතුමාව බොරුවෙන් රැවටීම ගැන. කෙතරම් කුසල් කළත් අවසාන මොහොතේ එම පාප සිතිවිල්ල තම සිතට අරමුණු වීම නිසා ඇය දින හතක් අපායේ දුක් වින්දා. පුණ්‍ය විපාක වේවා, පාපී විපාක වේවා, ඉඩලද විට විපාක දීම ආචින්න කම්මයි. බුදුපියාණන් වහන්සේ එයට හොඳ උපමාවක් පෙන්වා දෙනව. ගැල අදින ගොනා පිටුපස ගැල්සක පැමිණෙනවා වාගේ තමන් කළ පාප ක්‍රියාව තමන් පසුපසම එනව. පුණ්‍ය ක්‍රියාවක් කළොත් තමන් පසුපස එන සෙවනැල්ලමෙන් එහි යහපත් විපාක තමන්ට ලැබෙනව.

‘මුගලන් මහ රහතන් වහන්සේ රහත් ඵලයට පත් වූ ආත්මයේ ද පෙර කළ අකුසලය පසුපසම ආව. සොරුන්ගෙන් තැලුම් ලබා පිරිනිවන්පාන්න සිදුවුණා. ඉහත භවයක ඇස් වෙදකම් කරන විට කාන්තාවකගේ ඇස් අන්ධ කරපු පාපයට රහත් වූ ආත්මයෙත් ‘චක්ඛුපාල’ මහරහතන් වහන්සේගේ ඇස් අන්ධ වුණා. ඉගැනීමට නොහැකි සාමණේර නමකට අපහාස කළ පාපයට චුල්ලඵන්තක හාමුදුරුවන්ට රහත්වූ ආත්මයෙත් හාරමාසයක් තුලවත් එක් ගාථා පදයක්වත් පාඩම් කරගන්න බැරිවුණා. රෝහිණී කුමරියට කුෂ්ඨ රෝග ඇතිවුනෙත් ‘කාල උපාසක’ මහතා ට පොලු මුගුරුවලින් තැලුම් ලබා මරණයට පත්වන්න සිදුවුනෙත් කුණ්ඩදාන හාමුදුරුවන් පසුපස ස්ත්‍රියක පැමිණෙන ලෙස පෙනුනෙත් ‘බෝධි රාජකුමාරයට’ දරු සම්පතක් නැතිව ගියෙත්, ලකුන්ටභද්දිය හාමුදුරුවො මිටි වී උපන්නේත් ඛුජ්ජුත්තරා උපාසිකාව කුදුවූවෙත් සාමවතී ඇතුළු පිරිස ගින්නෙන් දැවී ගියෙත් ජම්බුක ආජීවකට නිර්වස්ත්‍රව අසුචි අනුභව කරන්න සිදුවූවෙත් සුප්‍රබුද්ධ ට කුෂ්ඨ රෝගය හැදුනෙත් පූක්කුසාතිය රජ, බාහියදාරුචිරිය, තඹදාඨිකචෝරගාථක, යන සිවු දෙනාටම එළදෙනෙකුගෙන් ඇනුම්ලබා මරණයට පත්වීමට සිදුවූවෙත් ඔවුන් පෙරකළ අකුසල පසුපස පැමිණී නිසයි. දිට්ඨධම්මවේදනීය කර්ම ඒ ආත්මයේම විපාක ලැබෙනවා.

කුසල් කලොත් හොඳ විපාක ලැබෙනව. අකුසල් කළොත් නරක විපාක ලැබෙනවා. උත්තරා උපාසිකාවගේ් පියා පුණ්නදාසයා සැරියුත් මහරහතන් වහන්සේට දුන් දානයේ අනුහසින් එම ආත්මයේම සිටුවරයෙක් බවට පත්වුණා. බුදුපියාණන් වහන්සේට වත්සුනු පිළි ගැන්වූ පිනෙන් මල්ලිකා දේවිය එම මොහොතේම කොසොල් රජුගේ් අග බිසව වුනා. ඒ පුන්‍ය විපාක ඒ අවස්ථාවේම ලැබුණා. ගව ඝාතකයකු හරකකුගේ දිව ඇද කපා කෑ විටම ඒ මොහොතේම ඔහුගේ් දිව ගැල වී තම කෑම පිඟානට වැටුණා. කුසලයක් කළොත් එහි කුසල් විපාක මෙන්ම අකුසලයක් කළොත් අකුසල් විපාක ද අනිවාර්යයෙන්ම තමන්ට ලැබෙනවා. එනිසා දුෂ්කරව ලැබුණු මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ලබාගෙන කුසල් සිත් වඩා සුගතිගාමී වී නිවන් මග අවබෝධ කර ගැනීමට අදිටන් කර ගන්න.

සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.