Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාෂාව වූ කලී විවිධත්වයට භාජනය වන්නකි. විශේෂයෙන් සිංහල වැනි ජීව භාෂා ඒ විවිධත්වයට පහසුවෙන් ළඟා වේ. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වේ. පොළොන්නරු , මහනුවර හා වර්තමාන යුග සසඳන විට කොතෙක් දුරට සීඝ්‍රයෙන් සිංහල භාෂාව වෙනස් වූවා ද යන්න වටහා ගත හැකිය. භාෂා මෙසේ වෙනස් වීම ද අර්ථ ව්‍යංජන වෙනස් වීමට හේතු වෙයි.

තථාගතයන් වහන්සේ දෙසූ ධර්මයන් පසු කාලයකදී වෙනස්ව යාමට මේ භාෂා විපරිණාමය ද හේතු වේ. එසේ වූ විට පශ්චාත්කාලීනයන්ට බුදු දහමේ නියම අරුත් වටහා ගන්නට අපහසු වෙයි. මෙම තත්ත්ව වළක්වන්නට නම් අර්ථ ව්‍යංජන දැක්වීම සඳහා සම්මත ක්‍රමයක අවශ්‍යතා මතු විය.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධර්මය, දේශනා කිරීමේ විවිධත්වය අනුව නීතාර්ථ හා නෙය්‍යාර්ථ යනුවෙන් දෙපරිදි වේ. නීතාර්ථ යනු ප්‍රකට අරුත් ඇති දේශනායි. වටහා ගැනීමේ ශක්තිය ඇති ඕනෑම කෙනකුට වටහා ගැනීමට හැකි අයුරින් දේශනා කළ ධර්මයයි. නෙය්‍යාර්ථ යනු පැමිණවිය යුතු අරුත් ඇති සූත්‍රයි. මේවා බොහෝ විට සාමාන්‍ය ජන ව්‍යවහාරයෙන් ඈත් වූ සූත්‍රයි.

සර්වඥයන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරන ලද ධර්ම සැරියුත්, මහා කාශ්‍යප වැනි ප්‍රාඥ ශ්‍රාවකයන් වහන්සේ විසින් විස්තරාර්ථ වශයෙන් දේශනා කළ බව සඳහන්ව ඇත. පටිච්ච සමුප්පාදය දෙසූ දවසේ ආනන්ද හාමුදුරුවන් බුදුරදුන් වෙත පැමිණ පටිච්ච සමුප්පාදය ඉතා ශ්‍රේෂ්ඨය. තමන්ට අවබෝධ විනැයි කී වේලේහි තථාගතයන් වහන්සේ වදාළේ “ එසේ නොකියන්න ආනන්ද , එය ඉතා ගැඹුරුයි “ යනුවෙනි.

බුද්ධ භාෂිතයේ අර්ථ ව්‍යංජන වැරැදි ලෙස ගැනීම සමහර විට ශ්‍රාවකයන් අතින් ද සිදුවිය හැකි බව පාසාදික සූත්‍රයේ සඳහන් වේ.

බුද්ධ පර්නිර්වානයෙන් තෙමසක් ඇතුළත ධර්ම සංගායනා පවත්වා සුවාසු දහසක් ධර්මස්කන්ධය මුඛ පරම්පරා ගතව ගෙන ඒමට විධි විධාන සැලසුවද, අනාගතයේ ඇති වන වෙනස්කම් වලින් බුද්ධ භාෂිතයේ අර්ථ ව්‍යංජන නොවෙනස්ව තබා ගැනීමේ අවශ්‍යතාවය මතුවිය.

පශ්චාත් කාලීන ජනතාව මේවා වැරැදි අන්දමට වටහා ගැනීමෙන් බුදු දහම විකෘති වෙයි. අසත්‍ය ප්‍රකාශ මතු වෙයි. අර්ථ විපරීතතාවයන් මතුවෙයි. මේ බව අංගුත්තර නිකායේ ද සඳහන්ව තිබේ.

විවිධ පුද්ගලයන් විවිධ ස්වරූපයෙන් ධර්මයට අර්ථ නිරූපණය කිරීමට පෙළඹේ. සම්මත අර්ථ කථන සම්ප්‍රදායක් නැති වූ විට එවැනි හිතුවක්කාර තත්වයන් මතු උදා වේ.

භාෂාව වූ කලී විවිධත්වයට භාජනය වන්නකි. විශේෂයෙන් සිංහල වැනි ජීව භාෂා ඒ විවිධත්වයට පහසුවෙන් ළඟා වේ. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වේ. පොළොන්නරු , මහනුවර හා වර්තමාන යුගයන් සසඳන විට කොතෙක් දුරට සීඝ්‍රයෙන් සිංහල භාෂාව වෙනස් වූ ආකාරය වටහා ගත හැකිය. භාෂා මෙසේ වෙනස් වීම ද අර්ථ ව්‍යංජන වෙනස් වීමට හේතු වෙයි. තථාගතයන් වහන්සේ දෙසූ ධර්මයන් පසු කාලයකදී වෙනස්ව යාමට මේ භාෂා විපරිනාමය ද හේතු වේ. එසේ වූ විට පශ්චාත්කාලීනයන්ට බුදු දහමේ නියම අරුත් වටහා ගන්නට අපහසු වෙයි. මෙම තත්වයන් වළක්වන්නට නම් අර්ථ ව්‍යංජන දැක්වීම සඳහා සම්මත ක්‍රමයක අවශ්‍යතා මතු විය.

මේ අවශ්‍යතාවය සැලකූ අපේ පැරැණි සිංහල මහ රහතන් වහන්සේලා අනුබුදු මිහිඳු රහතන් වහන්සේගේ අනුශාසනා හා මග පෙන්වීම් යටතේ පිහිටා ත්‍රිපිටක බුද්ධ ධර්මය සඳහා හෙළ අටුවාවන් කළහ. හෙළටුවා කට පාඩමින්ම උන්වහන්සේලා රැක ගෙන ආහ. ඊට පසු කාලයක දී බුද්ධ වර්ෂ 953 - 975 මහානාම රජු දවස බුද්ධඝෝෂ හිමියන් මෙහි වැඩමවා හෙළටුවා පාලියට නැගූහ. අටුවා ලිවීම යනු පාලි භාෂාවෙන් රචිත ත්‍රිපිටකයේ ලැබෙන වචන විස්තර කිරීමයි. පැහැදිලි කිරීමයි. වඩාත් නිවැරැදිව හොඳින් අවබෝධ කිරීමට පහසුකම් සැලැස්වීමයි. නිරවුල් අර්ථ යෙදීමයි. බුදු දහමේ නියම අරුත් හඳුන්වා දීමේ සම්මත රටාවයි. මේ පාලි පෙළ හා හෙළටුවාවද, පාලි අටුවා ද අපේ පැරැණි මහා සංඝයා වහන්සේ ඉතා දුෂ්කර ජීවිත ගත කරමින් රැක ගත්හ.

මේ භික්ෂූන් වහන්සේලා වළගම්බා රජු දවස බ්‍රාහ්මණ තිස්ස මහා සාගතයට හසු වී දුක් වින්දහ. සමහරු භික්‍ෂූහු පිටරට ගියහ. සමහරු සිවුරු හළහ. මේ අනන්ත දුක් විඳිද්දී රහතන් වහන්සේලා කීප නමක් බුදු දහම රැක ගැනීම සඳහා රට මේ විපතින් බේරා දෙන ලෙස ශක්‍රයාට කීහ. ශක්‍රයාද තමන්ට කළ හැකි දෙයක් නැතැයි මග හැරියේය. ශක්‍රයා මග හැරීයද අපේ භික්‍ෂූන් වහන්සේලා බුළු ගෙඩි, කර කොළ වැනි දේ ආහාරයට ගෙන ජීවිත ගැට ගසා ගනිමින් මහණ දමත්, පර්යාප්තිය වූ ත්‍රිපිටකය හා අටුවාවත් රැක ගත්හ. එවකට භික්ෂූන් වහන්සේ අතර පැවැත්මක් සිරිතක් තිබිණ. වසරකට වරක් සියලුම භික්ෂූන් වහන්සේ දෙපලකට රැස් වෙති. මහවැලි ගඟෙන් එගොඩ හිමිවරු ලෝහ ප්‍රාසාදයේ ද , මහවැලි ගඟෙන් මෙගොඩ හිමිවරු තිස්සමහාරාමයේ ද රැස් වූහ. මෙසේ රැස් වී පෙළ දන්නා භික්‍ෂූන් වහන්සේ පෙළ කියවති. අටුවාව දන්නා භික්‍ෂූන් වහන්සේ අටුවා කියවති. අර්ථ දන්නා අර්ථ වදාරති. ඉගෙන ගන්නා නවක භික්‍ෂූන් මේ මේ ස්ථවිරයන් වහන්සේලා වෙත ගොස් පෙළ, අටුවා, අරුත් උගනිති. මේ බව දීඝනිකාය අට්ඨකථාවේ විස්තර කර ඇත. මෙසේ පරපුරෙන් පරපුරට රැක ගෙන ආ අට්ඨකථා භාවිතය පසුකාලීනව භාවිතයෙන් ඉවත් වී පුස්කොළ පොත් වලට සීමා විය. අපේ පැරැණි පොත්ගුල් වල ඒවා සුරක්‍ෂිතව පැවතිණ. අනගාරික ධර්මපාල තුමාගේ පරපුරේ සවිමන් හේවාවිතාරණ හා සෝමලතා හේවාවිතාරණ දම්පතීන්ගේ ධනව්‍යයයෙන් ලංකාවේ බහුශ්‍රැත විශාරද පඬිවරුන් ලවා පාලි අටුවා ශුද්ධ කරවා, නිවැරැදි ලෙස සකස් කරවා මුද්‍රණයෙන් ජනතාව අතරට පැමිණවීය. ඒ පාලි භාෂාවෙනි. බුද්ධ වර්ෂ 975 සිට මේ බුද්ධ වර්ෂ 2553 දක්වා වර්ෂ එක්දහස් පන්සිය හැත්තෑ පහකට පසු මේ සියලුම පාලි අට්ඨකථා සිංහල බෞද්ධයන්ට සිංහලෙන් කියවා තම ජන්ම භාෂාවෙන් තේරුම් ගැනීමට අවශ්‍ය පහසුකම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සලස්වා ඇත. දර්ශනීය ලෙස මුද්‍රණය කරවන ලදී.

ග්‍රන්ථ 47 කින් යුක්ත වූ සම්පූර්ණ අටුවා ග්‍රන්ථ අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වා දොරට වැඩමවීමේ උත්සවය තව නොබෝ දිනකින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරෙන බව ශාසනාලයෙන් මෙයින් බෞද්ධ රටවාසීන්ට දන්වා සිටිමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.