Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට ශාලා කියන බමුණු ගමට වැඩම කළහ. උන්වහන්සේ තමන්ගෙ ගමට වැඩිය බව දැනගත් බමුණෝ සහ ගම්වැසියෝ මෙයට පෙර උන්වහන්සේ පිළිබඳ අසා තිබුණු අරහාදී බුදු ගුණ සිහිපත් කර එබඳු අරහත් උතුමකු දැකීම, උන්වහන්සේ සමග සතුටු සාමිචි කථා කිරීම කෙතරම් වාසනාවක්දැයි සිතා බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට ගියහ.

අබෞද්ධයන් වූ මොවුහු බුදුරදුන් සමීපයෙහි හිඳගෙන අහනව භගවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි සමහර සත්වයෝ මරණින් මතු සැපයෙන් තොර, නපුරු වැටීමක් ඇති නරකයෙහි උපදිනව.

සමහර සත්වයෝ සැප ඇති, දෙව්ලොව උපදිනව. ගෞතමයන් වහන්ස, මෙයට හේතු මොනවාද? ප්‍රත්‍ය මොනවද? (කො හෙතු නො පච්චයො ?) ගෘහපතියෙනි, සත්ත්වයන් නරකයෙහි උපදින්නේ ඔවුන්ගේ අධර්ම චර්යාව, සමචර්යාව නිසයි.

බුදුරජාණන් වහන්සේ මෙසේ කෙටියෙන් උත්තර දුන්නාම බමුණො කියනව ගෞතමයන් වහන්ස, කෙටියෙන් කියන ලද ඔය පිළිතුර අපට තේරෙන්නේ නැහැ. කරුණාකර විස්තර කරල කියන්න. එවිට බුදුහාමුදුරුවෝ අධර්ම චර්යාව සහ සම චර්යාව යන දෙක මෙසේ විස්තර කර වදාළ.

තිවිධා ඛො ගහපතයො කායෙන අධම්මචරියා විසම චරියා හොති, චතුබ්බිධං වාචාය අධම්ම චරියා විසම චරියා හොති, තිවිධං, මනසා අධම්ම චරියා විසම චරියා හොති, ගෘහපතියෙනි, තුන් ආකාරයෙකින් කයින් අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනව.

සතර ආකාරයකින් වචනයෙන් අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනව. තුන් ආකාරයෙකින් මානසික අධර්ම චර්යා විසම චර්යා සිදුවෙනවා. මෙසේ සත්ත්වයන්ගෙන් තුන් දොරින් සිදුවන දුසිරිත් දහයක් තියෙනව කියලා බුදු හිමියෝ වදාළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේවා තවත් විස්තර කරමින් මෙසේ වදාළහ. ගෘහපතියෙනි, කයින් සිදුකරන දුසිරිත් ක්‍රියා මොනවාද? ගෘහපතියෙනි, ඇතැමෙක් දරුණු ලේ තැවරෙන, සත්ත්වයන්ගේ මරණයට හේතු වන ක්‍රියා කරනවා.

සත්ත්වයන් කෙරෙහි අකරුණාවෙන්, ඔවුන්ගේ ජීවිත විනාශ කරනවා. පර පණ නසනවා. සමහරු ගම් දනවු වනාන්තර ආදී කවර තැනෙක හෝ තියෙන අනුන් සන්තක ධනය හෝ වෙනත් දෑ (හිමිකරුවන් විසින් කයින් හෝ වචනයෙන් හෝ නුදුන් ) සොර සිතින් ගන්නව.

සමහරෙක් මවගේ හෝ පියාගේ හෝ ඒ දෙදෙනාගේම හෝ සොහොයුරකුගේ හෝ සොහොයුරියකගේ හෝ ඤාතියකුගේ හෝ දඬුවමක් නියමිතව සිටින (එනම් ගමක හෝ ගෙයක හෝ විදියක හෝ ජීවත්වන – අසවල් ස්ත්‍රිය සමීපයට සහවාසය පිණිස යන්නකුට මෙබඳු දඬුවම් පමුණුවන්නේ යැයි නියම කරන ලද ස්ත්‍රිය හෝ කිසිවෙක් මල්මාලාවකින් වටකොට වෙන්කොට ආරක්‍ෂා කර සිටින (සම්පූර්ණයෙන් මැය මාගේ භාර්යාව වන්නීය යි කියා යම්පුරුෂයකු විසින් කල්තියා නම නියම කොට ඇය මත්තෙහි හෝ ඇයගේ හාත්පස හෝ මල්මාලාවකින් වටකොට සිටින ස්ත්‍රිය (ග්‍රෝත්‍රයෙන් හෝ ප්‍රතිපත්තියෙන් හෝ සැමියෙක් සිටින හෝ දරුවකු මවු කුසේ සිටියදී ඒ දරුවා උපන් පසු ඔවුනොවුන්ට ආවාහ විවාහ කර දෙමැයි වැඩිහිටියන් විසින් කල්තියා ගිවිසගෙන සිටියේ නම් එබඳු ස්ත්‍රියත් සස්වාමිකයි.) යන ස්ත්‍රීන් සමග යමෙක් සහවාසයෙහි යෙදෙන්නේ නම් එය කාම මිථ්‍යාචාරයයි, පරදාර සේවනයයි. ගෘහ පතියෙනි, කයෙන් කෙරෙන අධර්ම චර්යා විසම චර්යාව හෙවත් දුශ්චරිත ක්‍රියා මේවා යි.

ගෘහපතියෙනි, වචනයෙන් කෙරෙන දුසිරිත් මොනවාද? ගෘහපතිවරුනි, සමහරු බොරු කියති.

සභාවක හෝ පිරිසක් මැද දී හෝ නෑයන් මැද දී හෝ කණ්ඩායමක් මැද දී හෝ රජකුලයට අයත් පිරිසක් මැද දී හෝ ඔවුන් අතරට කිසියම් පුද්ගලයකු ගෙනවුත් එම්බල පුරුෂය, තෝ මේ කාරණය පිළිබඳ යමක් දන්නේ නම් එය කියවයි ඇසූ විට ඒ ගැන තමා නොදැන සිටිමින් දනිමි යි කියයි නම් හෝ ඒ ගැන දැන සිටිමින් නොදනිමි යි කියා නම් හෝ තමා නොදුටු දේ දැක්කෙමියි හෝ දැක්ක දේ නොදැක්කෙමි යි හෝ මෙසේ තමාගේ වාසියට හෝ අනුන්ගේ වාසියට හෝ අල්ලස් වැනි යමක් ලබා ගැනීම සඳහා හෝ දැන දැන බොරු කියා නම්, එය මුසාවාදය යි.

ගෘහපතියෙනි, සමහරුන් පිසුණු බස් හෙවත් කේලාම් බස් කියනව. එය ප්‍රශූන්‍ය හෙවත් පිසුණා වාචාව යි. ගෘහපතියෙනි, එමෙන්ම ඵරුෂ බස් කියන අය ද සිටිනවා.

අනෙකා හෙළා දකින, පිළිකුල් කරන, කණට අමිහිරි, දුගඳ වහන වන, ක්‍රෝධය ඇති වන අසන්නාගේ හිත නොසන්සුන් කරවන වචන යමෙක් කියනව නම් ඒවා ඵරුෂ වචන යි.

ගෘහපතියෙනි, එසේම සමහරු නිරර්ථක, හිස් වචන හෙවත් සම්ඵප්ප්‍රලාප කියනවා. ඒවා අවස්ථාවට නොගැලපෙයි. අවැඩ පිණිස හේතු වෙයි. දහමට විනයට විරුද්ධ වෙයි. ගෘහපතිවරුනි, පුද්ගලයා මනසින් ද ධර්ම චර්යාවෙහි, විසම චර්යාවෙහි යෙදෙයි. සමහරු ලෝභයෙන් හෙවත් අභිධ්‍යාවෙන් යුක්ත වෙති. ගෘහපතිවරුනි, සමහරු ව්‍යාපාද සිත් ඇත්තෝ ද වෙති.

එය ව්‍යාපාද දුශ්චරිතයයි. ගෘහපතිවරුනි, සමහරු මිථ්‍යාදෘෂ්ටික වෙති.

යමක් ගැන දකින්නේ, විපරීත ලෙසිනි. ඔවුන්ගේ සිතිවිලි අකුසල සහගතයි. එනම් නත්ථි දින්නං (දානමානාදියෙහි විපාක නැත) නත්ථි යිට්ඨං (මහාදානාදියෙහි විපාක නැත) නත්ථි හුතං (පූජා කළ දෙයෙහි විපාක නැත) නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො (කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත), නත්ති මාතා, නත්ථි පිතා (මවට පියාට සැලකුවත් විපතක් කළත් එයට හොඳ හෝ නරක විපාකයක් ලැබෙන්නේ නැත), නත්ථි සත්තා ඔපපතිකා (දෙවියන් බඹුන් ආදී ඕපපාතිකව උපන් භවයෙන් චුතව නැවත භවයක පහළ වන සත්ත්වයන් නැත), නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ඤ ලොකං සයං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙති( යහපත් ප්‍රතිපදා අනුගමනයෙන් මෙලොව හා පරලොව ගැන තමන්ගේ විශිෂ්ට නුවණින් දැනගෙන ප්‍රකාශ කරන දිවැස් ඇති බුදුවරුන් වැනි උතුමන් ලොව නැත) ගෘහපතියෙනි, මේ කියන ලද දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය ඇතුළු ඉහත කී කරුණු තුන, මනසින් සිදු කැරෙන අධර්ම චර්යාව විසම චර්යායි. ගෘහපතියෙනි, මෙකී අධර්ම චර්යා, විසම චර්යා හේතු කොටගෙන සත්ත්වයෝ ශරීරයාගේ බිඳිමෙන් (මරණින් මතු) අපාය සංඛ්‍යාත නිරයෙහි උපදිති යි සාලෙය්‍යක ගෘහපතියන්ට දේශනා කළහ.

අනතුරුව ධර්මචර්යා, සමචර්යා දෙක විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාරනව ‘තිවිධං ඛො ගහපතයො, ධම්මචරියා සමචරියා හොති’ යනාදී වශයෙන් ‘ගෘහපතියෙනි’, පුද්ගලයාගේ ධර්මයෙහි හැසිරීම, යහපත් හැසිරීම නිසා, ඔවු අතින් සිදුවන යහපත් දෑ පිළිබඳ විස්තර කරමින්, පුද්ගලයාගේ කයින් සිදුවන යහපත් ක්‍රියා තුනක් වදාළහ.

ගෘහපතිවරුනි, මෙලොව සමහර කෙනෙක් ප්‍රාණඝාතනයෙන් වැළකී දඬු මුඟුරු, ඉවත දමා අවි ආයුධ අත්හැර, පවට ලජ්ජාවෙන් අන්‍යයන් කෙරෙහි දයාවෙන් සියලු සත්ත්වයන් කෙරෙහි හිතවත් කමින් හා අනුකම්පාවෙන් වාසය කරයි.

එසේම සමහර කෙනෙක් හිමියා නුදුන් දෑ සොර සිතින් නොගනිති. කාමයෙහි වරදවා නොහැසිරෙති.

ඔහු කායික වශයෙන් දුසිරිතෙන් වැළකුණු කෙනෙකි. ගෘහපතිවරුනි, වචනයෙන් සිදුවන යහපත් ක්‍රියා කවරේද? මේ ලෝකයෙහි සමහර කෙනෙක් මුසාවාදයෙන් වැළකී සිටියි. එසේම සමහර කෙනෙක් පිසුණු බස් හෙවත් කේලාම් කීමෙන් වැළකී මෙතැන අය කී දේ අසා මේ අය බිඳවීමට අතන සිටින අයට එය නොකියයි. සමගි කිරීමට යෝග්‍ය වචනම කියයි.

තවද ගෘහපතියෙනි, සමහර කෙනෙක් ඵරුෂ වචන කීමෙන් වැළකී කෙල තොළු නොවූ කනට සුව එළවන, ආදරණීය, හිත සතුටු කරන, ශිෂ්ට වූ, බොහෝ දෙනාට පි‍්‍රය උපදවන, බොහෝ දෙනාගේ මන වඩන කථා කරති.

සමහර කෙනෙක් සම්ඵප්ප්‍රලාපයෙන් වැළකී, නිරර්ථක වචන කීමෙන් වැළකී, අවස්ථානුකූල, සත්‍ය වූ, අර්ථවත්, ධර්මානුකූල, විනයානුකූල, යහපත්, උපදේශාත්මක වචනම කථා කරති. ගෘහපතියෙනි, මෙසේ යහපත් පුද්ගලයාගේ සිවු වැදෑරුම් යහපත් වදන් වලින්, වචනය පිළිබඳ ධර්මචර්යාව, සමචර්යාව සම්පූර්ණ වෙයි.

ගෘහපතිවරුනි, මනස පිළිබඳ ත්‍රිවිධ ධර්ම චර්යාව, සමචර්යාව සිදුවන්නේ කෙසේද? ගෘහපතියෙනි, සමහර කෙනෙක් අභිධ්‍යාවෙන් හෙවත් අන්සතු වස්තුව කෙරෙහි විසම ලෝභයෙන් වැළැකුණේ වෙයි. එසේම අන්‍යයා කෙරෙහි ව්‍යාපාද හෙවත් හිංසන සිතින් වැළකුණේ වෙයි.

තවද මිථ්‍යා දෘෂ්ටියෙන් වැළකී, සමෘග්දෘෂ්ටික වූවහු අවිපරීත දර්ශනයෙන් හෙවත් යථා තත්ත්වය නුවණින් දකිමින් වෙසෙත්වා යනුවෙන් සිතයි. ඉහත කී පරිදි මිථ්‍යා දෘෂ්ටියෙන් වැළකී දුන් දෙයෙහි විපාක ඇත.

දානාදියෙහි, යාගාදියෙහි, මහායාගාදියෙහි විපාක ඇත. කුසලාකුසල කර්මවල හොඳ නරක විපාක ඇත. පරලොව සිටියහුට මරණින් පසු මෙලොවක් ඇත. මෙලොව සිටියහුට මරණින් පසු පරලොව ඉපදීමක් ඇත. මවට පියාට සැලකීමෙන් හොඳ විපාක ලැබේ. දෙවි බඹුන් ආදී ඕපපාතික සත්ත්වයින් ඇත. යහපත් ප්‍රතිපත්ති පුරන මෙලොව හා පරලොව පිළිබඳ තමන්ගේම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන ලොව තතු ලොවට ප්‍රකාශ කළ හැකි මහණ බමුණෝ සිටිති. මෙසේ සිතීම, ධර්ම චර්යාවයි. සමචර්යාවයි.

මෙම කායික හා මානසික ධර්ම චර්යා සමචර්යා හේතුකොටගෙන සත්ත්වයෝ මරණින් පසු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදිතියි බුදුරජාණන් වහන්සේ සාලගාම වාසී ගෘහපතියන්ට දේශනා කළ සේක.

තවදුරටත් කරුණු දක්වමින් බුදුරජාණන් වහන්සේ ගෘහපතියෙනි, ධර්මචර්යාවෙන් සහ සමචර්යාවෙන් යුත් පුද්ගලයා මරණින් පසු ක්‍ෂ්ත්‍රිය මහාසාර කුලයෙහි හෝ ශාස්ත්‍රපති මහාසාර කුලයෙහි හෝ ඉපදීමට කැමැති නම් එම කුලයක ඉපදිය හැකි ය. තවද ධර්මයෙහි හැසිරෙන්නා මට මරණින් පසු චාතුර්මහාරාජිත දෙවියන් අතර, තාවතිංස දෙවියන් අතර, යාම දෙවියන් අතර තුසිත දෙවියන් අතර, නිර්මාණරතී දෙවියන් අතර පරනිර්මිත වසවර්ති දෙවියන් අතර යන සදිව්‍ය දෙවියන් අතර දෙවියකුව උපදින්නට ඇත්නම් කියා සිතුවොත් මේ ගුණධර්ම බලයෙන් ඒ කවර ලෝකයක හෝ ඉපදිය හැකි ය. තව ද, ධර්ම චර්යාව සමචර්යාව වඩ වඩාත් දියුණු කිරීමෙන් තමා කැමැති නම් පරිත්තාහ, අප්පමානාහ, ආහස්සර, පරිත්තසුභ, අප්පමාණා සුභ, සුභකිණ්න, වෙහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිට්ඨ යන බ්‍රහ්ම දෙවිවරුන් අතර ද, එසේම තමා කැමැති නම් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන දෙවියන් අතර ද ඉපදිය හැකි ය.

ගෘහපතියෙනි, තවද ධර්ම චර්යා සමචර්යා පුරණය කළ තැනැත්තාට අහෝ මම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත චේතෝවිමුක්තියට සියලු කෙලෙස් බැඳුම් වලින් මිඳුණු අර්හත් ඵල ප්‍රතිලාභයෙන් සසරින් මිදීමට) පැමිණ සහ පඤ්ඤා විමුක්තියට (සියලු කෙලෙස් බන්ධනවලින් මිදී ලබන ලද අර්හත් ඵල ප්‍රඥාවට) පැමිණ හෙවත් මේ ආත්මයේදීම මාර්ගඵල අවබෝධ කරගෙන වාසය කරන්නේ නම් යහපතැයි සිතන්නේ නම්, එය ද ලැබිය හැකි බව වදාළහ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.