Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරපුර නන්දන උයනෙහි පිහිටි ‘දෙනාවෙහෙර’ නමින් සෙල් ලිපිවල සහ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන ඡේතවන මහා චෛත්‍ය ගඩොලින් නිම වූ ලෝකයේ උසස්ම නිර්මාණය වේ. මෙය, මහාසේන හෙවත් මහසෙන් රජු විසින් කරවන ලද්දකි.

තිස් වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ මුළු රටම බියවැද්දූ, කුරිරු ත්‍රස්තවාදී උවදුර ශ්‍රී ලංකාවෙන් සහමුලින්ම අතුගා දමා ඒ යුද ගිනිදැල් නිවී යද්දී, වසර 28 කට වැඩි කාලයක් විවිධ බාධක මධ්‍යයේ සිදු කරගෙන ආ ඓතිහාසික අනුරාධපුර රාජධානියේ අහස උසට දිස්වෙන ගඩොලින් නිම කළ ලෝපතළ ජේතවන මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු ද කඩිනම් නිමාවට පත්ව තිබීම සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවගේ වාසනාවකි.

‘ලෝක උරුමයක්’ ලෙස යුනෙස්කෝව මගින් නම්කර සම්භාවනාවට පාත්‍රව තිබෙන ඉපැරැණි අනුරාධපුර රාජධානියේ අහස උසට දිස්වෙන ජේතවන මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍ය දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2009 වසරේ ජුනි මස 18 වන දින පස්වරු 4.00 ට යෙදී ඇති සුබ මුහුර්තියෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින්, පෙර රජ දවස පැවැති ශ්‍රී විභූතිය යළි ඔප් නංවමින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාව සඳහා විවෘත කැරේ.

ජේතවන දාගැබ බොදු ජනතා අයිතියට පත්කිරීම නිමිති කොටගෙන 2009 ජුනි මස 17 වැනිදින ප.ව. 3.00 සිට රාත්‍රී 7.30 දක්වා දාගැබේ සතර වහල්කඩ මහා බහිරව පූජාවකි. අනතුරුව චෛත්‍යය සළපතල මළුවේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකි. පසුදින (18) උදෑසන හා දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවන් පිරිනැමේ.

ජනාධිපතිතුමන්ගේ් සුරතින් ජේතවන චෛත්‍ය නිරාවරණය කිරීම 18 වැනිදින පස්වරු 4.00 ට ලක්ෂ සංඛ්‍යාත බොදු ජනතාවගේ සාධුකාර හඬ මධ්‍යයේ සිදු කෙරේ. පස්වරු 4. 15 ට උත්සව සභාව ඇරඹෙනු ඇත. මෙදින රාත්‍රී ලක්දනව් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇති ජේතවන මහා චෛත්‍යරාජයා විදුලි ආලෝකයෙන් ආලෝකවත් කෙරෙන අතර එම ආලෝක පූජාව නොකඩවා සිදු කෙරේ.

ජේතවන චෛත්‍යරාජයා නැවත විවෘත කිරීමේ පුණ්‍ය කටයුත්ත සඳහා දෙස් විදෙස් මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය. එමෙන්ම පොසොන් සමයේ සිදුවන පුණ්‍ය කර්මයක් නිසා ඒ අසිරිමත් මොහොත සියැසින් දැකබලා ගැනීමට දෙස් විදෙස් බෞද්ධ ජනතාව ද දහස් ගණනින් අනුරාධපුරයට එක්රොක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

අනුරපුර නන්දන උයනෙහි පිහිටි ‘දෙනාවෙහෙර’ නමින් සෙල්ලිපිවල සහ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙන ඡේතවන මහා චෛත්‍ය ගඩොලින් නිම වූ ලෝකයේ උසස්ම නිර්මාණය වේ. මෙය මහාසේන හෙවත් මහසෙන් රජු විසින් කරවන ලද්දකි. නන්දන උයනෙහි මිහිඳු හිමියන් දම් දෙසීමෙන් එදා ප්‍රථමවරට අනුරාධපුර වැසියන් බුදුදහම වැළද ගන්නා ලදී. එමඟින් බුදුදහම සීඝ්‍රයෙන් ලංකාව පුරා ව්‍යාප්ත විය. බුදුදහම ප්‍රථමවරට ලංකාව පුරා පැතිර ගියේ නන්දන උයනෙනි. එමනිසා එම උයන ‘ආලෝකය විහිදුවන උයන’ යන අර්ථයෙන් ‘ඡෝතිවන’ නමින් පසිඳු වී පසුව ‘ඡේතවන’ නම් විය.


අනුරාධපුර අටමස්ථනාධිපති උතුරු මධ්‍ය දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි


අනුරාධපුර ජේතවන චෛත්‍යාරාමාධිකාරී ඉහළහල්මිල්ලෑවේ රතනපාල හිමි

වංශ කථාවන්හි මෙන්ම ශිලා ලේඛනයන්හි සඳහන් වන පරිදි පැරැණි අනුරාධපුර ඇතුළු නුවර වටා පිහිටි ප්‍රධාන පංච මහා ආවාසයන් තුන අතරින් එකකි, ජේතවනාරාමය. ශ්‍රී ලංකාවේ පැරැණි සුප්‍රසිද්ධ බෞද්ධ නිකාය තුනෙන් එකක මූලස්ථානය වන මෙය ‘දෙනානකය’ ‘ඡේතවන නිකාය’, ‘සාගලික නිකාය’ යනාදී නම්වලින් හඳුන්වා ඇත. ව්‍යවහාර වර්ෂ හතර වැනි සියවසේ ආරම්භ වූ අනුරාධපුරයේ වූ මෙම විහාරය නොකඩවා 11 වැනි සියවස් දක්වා ක්‍රියාත්මක වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ඉතිහාසයේ මහා වාරි කර්මාන්තයක් ඉදිකොට සදාකල් පවතින සේ රජරට සශ්‍රීකවත් කිරීමේ පුරෝගාමී සුප්‍රසිද්ධ කීර්තිමත් නරපතියෙකු වූ මහසෙන් රජතුමා විසින් එවකට පැවැති ආගමික ඒකාධිකාරිය බිඳීමට මෙන් සුවිසල් ස්ථුපයක් සහිතව මෙම විහාරය ඉදිකිරීම නිසා ජේතවන විහාරයේ ආරම්භය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ දැනට ශේෂ වී තිබෙන පිළිම ගෙවල් අතුරින් උපරිම උසක් ඇති පිළිමගෙය අයත් වන්නේ ද මෙම ජේතවන විහාරයටය. ජේතවන විහාර භූමියේ කැනීම් මගින් මෑතකදී සොයාගත් ප්‍රඥා පාරමිතා ලියූ රන්පත් ඉරු නිසා ද වත්මන් බෞද්ධ ලෝකයේ වෙසෙසින්ම එය ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ජේතවන විහාරයේ පිරිහීම ඇරඹුනේ රජරට සොලී ආක්‍රමණ එල්ලවීමත් සමගය. 1017 දී රජරට දකුණු ඉන්දියානු සොලී අධිරාජ්‍යයට යටත්වීම නිසා අනුරාධපුර බෞද්ධ විහාරවලට පිළිසරණක් නැතිව ගියේ ය. සිංහල බෞද්ධ පාලකයින් රජරට අතහැර ආරක්ෂාව පතා රටේ වෙනත් ප්‍රදේශවලට පලාගිය අතර, භික්ෂුන් වහන්සේ ද එය අනුමත කර ඇත. ඒ අතර සොලීහු අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය කර ගත්හ. මහා විජයබාහු රජතුමා රජරට සොලීන්ගෙන් නිදහස් කරගන්නා තුරු මේ තත්ත්වය එසේම පැවතුණි. එතුමා අනුරාධපුරයේ වසර 02 ක් පමණ අගනුවර වශයෙන් තබාගත්ත ද පසුව පාලන මධ්‍යස්ථානය පොළොන්නරුවට මාරු කිරීමත් සමඟම ජේතවනයේ ද පිරිහීම ඇරඹුණි. නැවත සිංහල බෞද්ධ පාලනයක් ඇති වූයේ දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජතුමාගේ කාලයේදීය. රජරට වල් වැදී ගිය ද රටේ අනෙක් ප්‍රදේශවල සිටි බෞද්ධයින් මෙම විහාරය කිසිසේත් අතහැර දැමුවේ නැත. චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වුවද එය වැඳ පුදා ගැනීමට පැමිණි බවට සාක්ෂි හමුවේ. මේ සඳහා ඉතා හොඳ උදාහරණයක් වන්නේ 1472 පමනේදී එනම්, ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සයවැනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේදී උපසම්පදාව ලබාගැනීම සඳහා බුරුම රටින් පැමිණි දූත පිරිස අනුරාධපුර වන්දනාවේ ගොස් වැඳ පුදාගත් ස්ථාන අතර, ජේතවන ස්ථුපය ද සඳහන් කර තිබීමය. එසේ සඳහන් කර තිබෙන්නේ බුරුමයේ ඔවුන් විසින් පිහිටුවන ලද කල්‍යාණි ශිලා ලිපියේ ය.

1815 ඇරඹි මෙරටට ඉංගී‍්‍රසි පාලන සමයේදී රජරට වූ නටඹුන් නගර පිළිබඳව සමහර ඉංගී‍්‍රසි නිලධාරිහු උනන්දුවක් දැක්වූහ. මේ අතරින් 1818 හා 1832 දී වශයෙන් දෙවරක්ම අනුරාධපුරයට ගිය මේජර් පෝබස් සිය පළමු ගමනේදී ජේතවන ස්ථූපය ඝන කැලෑවෙන් වැසී තිබුණ බවත්, දෙවෙනි ගමනේදී එක්තරා ශ්‍රද්ධාවත් භික්ෂුවක් විසින් ස්ථූපය හෙළි පෙහෙළි කර තිබූ බවත්, සඳහන් කරන අතරම එසේ හෙළි පෙහෙළි කිරීම නිසා 1829 දී ඇති වූ ධාරානිපාත වර්ෂාවෙන් ස්ථූපයේ කොටසක් කඩා වැටී එකී භික්ෂූන් වහන්සේට ද බරපතල තුවාල සිදු වූ බව සඳහන් කර තිබේ. එවක ජේතවන ස්ථුපයේ උස අඩි 224 ක් බව සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ 1933 දී නුවර කලාවිය දිස්ති‍්‍රක්ක පිහිටුවා අනුරාධපුරය එහි මූලස්ථානය බවට පත්කිරීමෙන් පසු අනුරාධපුර නටඹුන් පිළිබඳ අවධානය තවත් වැඩිවිය. එසේම ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සමයේදීත්, ගෝර්ඩන් ආණ්ඩුකාරවරයාගේ් කාලයේදීත්, ජේතවන විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී තිබේ.

මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. බෙල් මහතාගේ අවධියේ මෙහි එක්තරා ප්‍රමාණයකට විධිමත් පුරාවිද්‍යා ගවේෂණ සිදු වී ඇත. 1890 දී ප්‍රථමයෙන්ම අනුරාධපුරයට පැමිණි ඔහු පුරාවිද්‍යා කැණීම් හා ගවේෂණ සඳහා අනුරාධපුරය කොටස් නවයකට බෙදා වෙන් කිරීමේදී ජේතවන විහාර ප්‍රදේශය ‘ජී’ යනුවෙන් නම් කොට එය ද කොටස් හතරකට බෙදා කටයුතු ආරම්භ කර තිබේ. ජේතවන විහාර භූමිය තුළ කොළරා රෝහලක් ඉදිකර තිබූ බව බෙල් මහතා සඳහන් කර ඇත. තවද ඒ වන විට පැරණි ජේතවන භූමියේ පදිංචිව සිටි පුද්ගලික ඉඩම් හිමියන් විසින් යම් යම් පෞද්ගලික කාර්යයන් සඳහා නටබුන් ස්මාරකයන්හි ගල් භාවිතා කර ඇති බව දක්වා තිබේ.

එතුමා විසින් ජේතවන විහාරයේ පැරැණි පොහොය ගෙයද, බෞද්ධ ගරාදි වැට නමින් හැඳින්වූ බෝධි ඝරය ද, පිළිම ගෙයද, දාන ශාලාවද, මුළු ආරාම භූමිය හා ස්ථූපය ද ගවේෂණය කර යම් යම් ස්ථානයන්හි කැණිම් තහවුරු කිරීම් සිදුකර තිබේ. ඔහුගේ කැණීම් කටයුතු අධිකාරි ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. අනතුරුව 1894 දී ජේතවන විහාරයේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.

ජේතවන ස්ථුපයේ සංරක්ෂණ කටයුතු සංස්කෘතික ත්‍රිකෝණය මඟින් ආරම්භ කරන ලද්දේ 1981 වසරේ දී ය. ආධාර උපකාර ලැබීම නැවතීමත් සමඟ වසර කට පසු මෙහි කටයුතු අතර මඟ නතර විය. 1985 දී මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නැවත අරඹන ලදී. කෙසේ වුවද චෛත්‍යයේ කටයුතු නිම කිරීමට වසර 28කට වැඩි කාලයක් ගත වී ඇති අතර, මෙහි වියදම තවමත් ගණන් බලා නැතැයි ජේතවන විහාරාධිකාරි ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියෝ පැවසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.