Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දන් දීමෙන් ද සිල් පද රැක ගැනීමෙන් ද පිරිසුදු වූ පුද්ගලයා, සිත සංවර කර ගැනීමට සුදුසු පදනමක පිහිටා සිටියි. එය මේ අධ්‍යාත්මික ගමනේ උසස් තලයකට පැමිණීමකි. පළමුව මෛත්‍රී සහගත සිතිවිලි ඇති කර ගැනීමෙන් සිත මෘදු වූ ද ප්‍රසන්න වූ ද තත්ත්වකට ගෙන ආ හැකියි. එවැනි සිතක් විදර්ශනය සඳහා කර්මණ්‍ය බව ලබයි.

දානය, සීලය සහ භාවනාව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝ වෙති. බෞද්ධයෝ බොහෝ සෙයින් දන් දෙති. අඩුවෙන් සිල් රකිති. එයටත් අඩුවෙන් භාවනා කරති. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි ආනිශංස පිළිබඳ ව, දිනක් බුදුහාමුදුරුවෝ අග්‍රදායකයා වූ අනේපිඬු සිටාණන් අමතා දේශනයක් කළහ. වේලාම සූත්‍රය නමින් අංගුත්තර නිකායෙහි ඇතුළත් එහි මූලික කරුණු ගැන විමසා බැලීම අදට ඉතා වැදගත්ය.

‘ගෘහපතිය, ඔබේ ගෙදර දන් දෙනවාදැයි’ බුදුහාමුදුරුවෝ සිටුවරයාගෙන් ප්‍රශ්න කළය.

‘ස්වාමීනි එහෙමයි, එහෙත් ඒ එතරම් ප්‍රණීත ආහාර නම් නොවෙයි’.

සිටුවරයා මේ පිළිතුර දෙන්නට ඇත්තේ, සමහරවිට නිවසට එන දිළිඳු පුද්ගලයන්ට දෙන දානය ගැන සලකා විය හැකියි. එසේ නැතහොත් ඔහු දුෂ්කරතාවනට මුහුණ පෑ අවස්ථාවේ විය හැකියි. අනේපිඬු සිටුවරයාට දුන් ණය ආපසු ගැනීමට අපහොහොසත් ව අගහිඟකම් වලින් පෙළෙන අවස්ථාවක් වූ බව කියැවෙයි.

‘ගෘහපතිය, ප්‍රණීත දානයක් වුණත්, ප්‍රණීත නොවන දානයක් වුණත් සකසා නොදෙතොත්, ගරුත්වයක් නැතිව දෙතොත්, තමන් විසින්ම නොදෙතොත්, කම්පල අදහා නොදෙතොත් එයින් ලැබෙන විපාකය එතරම් උසස් නොවේ. එහෙත් සකසා, ගරුත්වයක් ඇතිව, තමන් විසින්ම කම්පල අදහා දෙන දානය ප්‍රණීත වුණත් ප්‍රණීත නොවුණත් ඉතා උසස් ප්‍රතිඵල ම ලබාදෙයි.

මෙසේ වදහළ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ පෙර භවයක වේලාම නම් වූ බමුණකු ව ඉපද දුන් මහා දානයක් ගැන විස්තරයක් කළහ.

මහා ධනවතකුව සිටි වේලාව බමුණාගේ දානයට දාන වස්තූන් හැමකක් ම අසූහාරදාහ බැගින් විය. රන් රිදී තඹ භාජන, ඉතා අගනා ඇඳුම් පැළඳුම් භාණ්ඩ, රථ, ඇතුන් සහිතව අති ප්‍රණීත ආහාරපාන එයට ඇතුළත් වූයේය.

මේ විස්තරයෙන් අනතුරුව බුදුහාමුදුරුවන් පෙන්වා දුන්නේ, එතරම් විශාල මහා දානයක් වුවත් එය පිළිගැනීමට සුදුසු උදාර පුද්ගලයකු එහි නොසිටි බවයි. ඒ නිසා ඒ අසූහාර දහසක දීමට වඩා එක් සෝතාපන්න ආර්යයකුට දන්දීම වටිනා දානයකි. එතැන් සිට ක්‍රමයෙන් දානය, ප්‍රතිග්‍රාහකයන් අනුව මහත්ඵල මහානිශංස වන ආකාරය සිටුවරයාට පෙන්වා දී තිබේ.

සෝතාපන්න ආර්යයන් සියයකට දෙන දානයට වඩා එක් සකදාගාමී ආර්යයකුට දෙන දානයකද, සකදාගාමීන් සියයකට දෙන දානයට වඩා එක අනාගාමී ආර්යයකුට දෙන දානයද, අනාගාමීන් සියයකට දෙන දානයට වඩා එක රහතන් වහන්සේ නමකට දෙන දානයද, රහතන් වහන්සේ සිය නමකට පිරිනැමෙන දානයට වඩා, එක පසේ බුදුවරයකුට පිරිනැමෙන දානයද, පසේ බුදුවරයින් සිය නමකට වඩා එක් සම්මා සම්බුදුවරයකුට පිරිනමන දානයද ශ්‍රේෂ්ඨය.

සම්බුදුවරයකුට පිරිනමන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පිරිනමන දානය උතුම්ය. මේ සියලු දානයන්ට ද වඩා සතර දිසාවෙන් වඩින මහා සංඝයා උදෙසා විහාරයක් කරවා පිදීම උසස් ය. එයට ද වඩා, පහන් සිතින් බුදු, දම්, සඟ තෙරුවන සරණ යෑම උතුම් ය.

එයට ද වඩා, පහන් සිතින්, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපාන අතහරිමින් පන්සිල් සමාදම් වීම උතුම් ය.

ඒ සියල්ලටමත් වැඩියෙන්, යමක ගඳ සුවඳ ආඝ්‍රාණය වන තරම් සුළු මොහොතක් හෝ මෛත්‍රී සිත පැතිරවීම උතුම්ය. මේ සියලු, දානයටන්ද, සරණ යෑමට හා සිල් රැකීමට ද මෛත්‍රී සිත පැතිර වීමටද වැඩියෙන් මහත්ඵල මහානිශංස වන්නේ අසුරුසන් ගසන පමණ කාලයක් හෝ අනිත්‍ය සංඥාව වැඩීම ය.

මේ සූත්‍රය තථාගතයන් වහන්සේගේ අග්‍රදායක තනතුර ලබා සිටි මහාදානපති අනේපිඬු සිටාණන්ට, දේශනා කරන ලද්දක් වීමද විශේෂයෙන් වැදගත් ය.

ආර්ය මාර්ගය ක්‍රමානුකූලව අනුගමනය කළ යුතු පිළිවෙතක් බව කීටාගිරි සූත්‍රයෙන් පැහැදිලි වේ. අනුපූර්ව ශික්ෂණයක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් ඇතැයි ප්‍රකාශ කර තිබීමේ අදහස එයයි. මේ ක්‍රමානුකූ®ල මාර්ගය පහසු තැනින් පටන් ගෙන ක්‍රමයෙන් ගැඹුරට විහිදෙන්නකි. බාහිර ක්‍රියා මගින් ඇරඹී අභ්‍යන්තරය, අධ්‍යාත්මය තෙක් විහිද යෑම එහි ස්වභාවයයි. එනිසා එයට අනුවම බුදුහාමුදුරුවන්ගේ දේශනා විලාසය ද සැකසී තිබේ. දාන කථාවෙන් පටන් ගැනේ. අනතුරුව සීලකථා, සග්ගකථා, කාමයන්ගේ ආදීනව කථා යනාදියට එළැඹේ. කෙලෙස් සහිතව සිටිමින්ම ආර්ය මාර්ගයට එළැඹිය හැකියි. ටිකෙන් ටික කෙලෙස් අඩුකර ගනිමින් ගොස් අවසානයේදී සියලු කෙලෙසුන් නැසීම සිදුවේ. ආගමික ජීවිතය කායික ක්‍රියාමගින් අරඹා, වචනය හා ක්‍රියා සංවර කරගෙන අනතුරුව සිත දියුණු කිරීමට උනන්දුවීම ප්‍රායෝගික වූ ක්‍රියා මාර්ගයයි. දානය පළමුව විස්තර කෙරෙන්නේ මේ හේතු නිසාය.

දානයෙහි ආනිශංස කෙරෙහි බලපාන ඉතා වැදගත් කරුණක් වන්නේ ප්‍රතිග්‍රාහකයන්ගේ චරිතයේ දියුණුවේ ප්‍රමාණයයි. ආධ්‍යාත්මික දියුණුව ලබා ඇති පමණට දානඵල ද මහත් වේ.

දානානිශංස කෙරෙහි බලපාන අනෙක් වැදගත් සාධකය දන් දෙන්නාගේ් ස්වභාවයයි. ඔහු ඇයි දානය සකසා දෙන්නක්ද? සුදුසු ගරුත්වයකින් දෙන්නක්ද? කර්ම සහ කර්ම විපාක පිළිබඳ පිළිගැනීමක් ඇතිව දෙන්නක්ද? ඒ එසේ නම් දානයෙන් ලැබෙන ආනිශංස උසස් ය. එසේ නොවේ නම් දානානිංශංස එතරම් ඉහළ නො වේ.

ආමිස දාන අතරින් නිවාසයක්, විහාරයක් තනවා මහසඟනට පිදීම උතුම්ම කාර්යයක් බව මෙහි දැක් වේ.

සියලුම දාන ඉක්මවා මහත්ඵල උදා කරන්නකි. සැබෑ පැහැදීමක් ඇතිව තෙරුවන් සරණ යෑම. මෙහිදී අවධාරණය විය යුතු කරුණ නම් තෙරුවන් සරණ යෑමේ වගන්ති පාලියෙන් හෝ සිංහලෙන් හෝ වෙනත් බසකින් උච්චාරණය කිරීම සරණයෑම නොවන බවයි. සරණ යෑමේදී අනුගමනය කරන ක්‍රමය එය වුවත් මෙහි පැහැදීමකින් යුතුව එය කළ යුතු බව පසන්න චිත්තෝ යි විශේෂයෙන් මතු කොට දක්වා තිබේ. චිත්තය ප්‍රසන්න වන්නේ් තෙරුවන් ගුණ කරුණු සහිතව පිළිගැනීමෙන් හා සරණයෑමේ නිවැරදි අරුත තේරුම් ගැනීමෙනි.

තෙරුවන් සරණ යෑමෙන් බෞද්ධයකු (උපාසකෝ) වන බවද පන්සිල්හි පිහිටීමෙන් සිල්වත් වන බවද මහානාම ශාක්‍යයිනට පෙන්වා දෙන ලද්දේය. පන්සිල්හිද පැහැදීමෙන් යුතුව පිහිටිය යුතුය. එය තමන් විසින් තමන්ටම වන පොරොන්දුවක් බව තේරුම් ගත යුතුය. එසේම පන්සිල් ආර්යයිනට පි‍්‍රයවන ආකාරයට (අරියකාන්ත) ආරක්ෂා කර ගත යුතුය. ඒ සඳහා සිල්පද කඩා නොගෙන, යම් යම් ආශාවන්ට යට නොවී, තණ්හා මාන දිට්ඨි යන මහ කෙලෙස් වලින් කිළිටි කර නොගෙන විඤ්ඤු පුද්ගලයිනගේ ප්‍රශංසාව ලැබෙන පරිදි සිත සමාධියට පත්කර ගැනීමේ අරමුණ ඇතිව තමන්ට අවංකව රැක ගත යුතුය.

දන්දීමෙන් ද සිල්පද රැක ගැනීමෙන් ද පිරිසුදු වූ පුද්ගලයා, සිත සංවර කර ගැනීමට සුදුසු පදනමක පිහිටා සිටියි. එය මේ අධ්‍යාත්මික ගමනේ උසස් තලයකට පැමිණීමකි. පළමුව මෛත්‍රී සහගත සිතිවිලි ඇති කර ගැනීමෙන් සිත මෘදු වූ ද ප්‍රසන්න වූ ද තත්ත්වකට ගෙන ආ හැකියි. එවැනි සිතක් විදර්ශනය සඳහා කර්මණ්‍ය බව ලබයි.

ගඳක් සුවඳක් ආඝ්‍රාණය කෙරෙන තරම් වූ කෙටි කාලයක් වුවද මෛත්‍රී සිත වැඩීම යට කියන ලද සෑම කාර්යයකට ම වඩා ශ්‍රේෂ්ඨ කාර්යයක් බව මෙහි දැඩි සේ අවධාරණය කෙරේ. මෙය ඉතා වැදගත් කරුණකි. දන්දීමට ධනය තිබිය යුතුය. තෙරුවන් සරණ යෑමට, පන්සිල් රැකීමට වගේ ම මෛත්‍රී සිත ඇතිකර ගැනීමටත් ධනය අවශ්‍ය නො වේ. එදිනෙදා කෙරෙන කටයුතු වලින් ඈත්වීමට අවශ්‍ය නොවේ. විශේෂ වූ සැදී පැහැදීමක් අවශ්‍ය ද නො වේ. ඒ සඳහා වෙන් කළ යුතු කාලයක් නැත. යා යුතු, සකසා ගත යුතු ස්ථානයක් නැත. ඕනෑම තැනක, ඕනෑම වෙලාවක, ඕනෑම වැඩක යෙදෙමින්, ඕනෑම ඉරියව්වක සිටිමින් මෛත්‍රී සිත වැඩිය හැකියි.

අවශ්‍යම සුදුසුකම එහි ඇති වැදගත්කම හරිහැටි තේරුම් ගෙන තිබීම පමණි. මෙත්තාචේතෝවිමුත්ති සූත්‍රයෙහි කියැවෙන අයුරු සංසාරික යහපත් ප්‍රතිඵල ලබාදෙන සකලවිධ පුණ්‍ය ක්‍රියාවන් මෛත්‍රී සහගත චේතෝවිමුක්තියෙන් දහසයෙන් පංගුවක් තරම්වත් වටිනාකමක් නැත. සංයෝජන තුනී කර ගනිමින් කෙලෙස් ක්‍ෂය කිරීම සඳහා මෛත්‍රී සහගත සිතේ වැඩීම හේතුවන හෙයිනි. අවසාන වශයෙන් වේලාම සූත්‍රය පෙන්වා දෙන්නේ මෙතෙක් විස්තර කරන ලද සියලු දාන, සීල, භාවනාවලට වඩා අසුරුසනක් ගසන තරම් වූ හෝ කාලයක් අනිත්‍ය සංඥාව වැඩීම මහත්ඵල දායක වන බව ය. සංයුත්ත නිකායේ ඔක්කන්ති සංයුත්තය මේ පෘථග්ජන පුද්ගලයාට පෘථග්ජන භාවය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ගය පැහැදිලි කර තිබේ. ආර්ය මාර්ගයට මිනිසා පිවිසෙන්නේ සෝතාපන්න මාර්ගයට පිවිසීමෙනි. ඒ සඳහා ක්‍රම දෙකක් තිබේ. එකක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිකර ගන්නා ප්‍රසාදයෙන් යුක්තව සද්ධානුසාරී පුද්ගලයකු වීමය. අනෙක ධර්මය යම්තමින් තේරුම් ගෙන ධම්මානුසාරී පුද්ගලයකු වීමය. මේ දෙදෙනාම සෝතාපන්න මාර්ගයට පැමිණියාහු ය. ඔව්හු සත්පුරුෂ භූ®මියට එළඹි බව පැවසේ. මේ සත්පුරුෂ භූ®මියට අනතීර්ණ විය හැක්කේ අනිත්‍යතාව මෙනෙහි කිරීමෙනි. කුමක අනිත්‍යතාවද? ඇස ආදි කොට ඇති ඉන්ද්‍රිය පිළිබඳව අනිත්‍යතාව යි. රූපය ආදිකොට ඇති අරමුණු පිළිබඳව අනිත්‍යතාවයි. චක්ඛු විඤ්ඤාණය ආදිකොට ඇති විඤ්ඤාණ පිළිබඳව අනිත්‍යතාවයි. ඉන්ද්‍රිය, අරමුණ හා විඤ්ඤාණය යන තුනේ එකතුව නම් වූ ස්පර්ශය පිළිබඳව ඇති අනිත්‍යතාවයි. ඒ ස්පර්ශයන් නිසා ඇතිවන වේදනා පිළිබඳව ද වේදනා නිසා ඇතිවන සංඥා පිළිබඳව ඇති අනිත්‍යතාවයි. සංඥා ඬසා ඇතිවන සංස්කාර පිළිබඳව අනිත්‍යතාවයි. පඨවි ආදි ධාතු පිළිබඳව අනිත්‍යතාවයි. මෙසේ සියල්ල පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කිරීමෙනි.

අනිච්ච සඤ්ඤා සූත්‍රය (සනි. 3 266) පෙන්වා දෙන හැටියට, මේ ආකාරයට අනිත්‍යය දැකීම නිසා පුද්ගලයා තුළ පවතින කාමරාගය පහව යයි. රූප රාගය පහව යයි. භව රාගය පහව යයි. සියලු අවිද්‍යාව පහ ව යයි. අස්මිමානය පහව යයි.

ධම්මපදයේ 113 ගාථාව අනිත්‍යය දැකීමේ අවශ්‍යතාව අවධාරණය කරනුයේ මෙලෙසිනි

යෝ චේ වස්ස සතං ජීවේ
අපස්සං උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ උදයව්‍යයං

ඇතිවීම, නැතිවීම, නොදැක අවුරුදු සියයක් ජීවත්වනවාට වඩා, ඇතිවීම නැතිවීම දකිමින් එක දවසක් ජීවත්වීම උතුම් ය. මේ අයුරින් සූත්‍ර ධර්මයන්හි පෙන්වා දෙන හැටියට පෘථග්ජන බව ඉක්මවා යෑමටත්, ආර්ය භූමියෙහි පිහිටීමටත්, අවසානයේ කෙලෙස් නසා අර්හත්වය සාක්ෂාත් කර ගැනීමටත් මූලික වන කරුණ අනිත්‍යතාව දැකීමයි. ඒ නිසා අනිත්‍ය සංඥාව වැඩීම සකල විධ ආගමික කාර්යයනට වඩා උසස් බව අවධාරණය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.