Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්‍ෂණයන්ගෙන් ලෝකය ස්වභාවකොට ඇති බවත් මමත්වයෙන් වැළඳගැනීමට අංශු මාත්‍රයක තරම් දෙයක් මෙලොව නොමැති බවත් වටහාගත් ලොවුතුරා බුදු පියාණන් වහන්සේ කළල්මත උපන් පද්මය දිය මතුපිට විකසිත වූවා සේ ලෝකය ඉක්මවා නොඇලී නොගැලී වැඩහුන් සේක.

පද්මය නම් නෙළුම් මලයි. නෙළුම්මල සුවිශේෂී පුෂ්පයකි. එය හට ගන්නේ දුගඳ හමන මඩ ගොහොරුවකයි. මඩේ උපන් පියුම දිය මතු පිටට පැමිණ විකසිත වෙයි. ඉන් විහිදෙන්නේ හද බඳින මන නන්දනීය සුවඳකි. පියුම විකසිත වී ලෝකය සුවඳවත් කරන්නේ තමා තුළ ඇති ආත්මීය ගුණයෙන් විනා තමා අවට ඇති පාරිසරික ගුණයෙන් නොවේ. කළල් මත ජනිත පද්මය දිය මතුපිට විකසිත වුවද පූජාසනයේ සුවඳවත් කරන්නට හැකි ගුණ සමුදායකින් පිරිපුන්ය.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ද පද්මාකාර ජීවිතයකට සමවේ. කෙසේද යත් උන්වහන්සේ උපත ලබන්නේ කෙලෙසුන් ගෙන් පිරුණු අකුසල මූලයන්ගෙන් තම ආත්මය වෙත පාපයේ දුගඳ සමීප කරගත් විප්‍රකාර සමාජයකයි. උන්වහන්සේ ඒ සමාජය තුළින් අවබෝධකරගත් ලෝක යථාර්ථය ගැඹුරුය. එම තත්ත්වාවබෝධය මගින් තුන් ලොව දිනූ සේක. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්‍ෂණයන්ගෙන් ලෝකය ස්වභාවකොට ඇති බවත් මමත්වයෙන් වැළඳගැනීමට අංශු මාත්‍රයක තරම් දෙයක් මෙලොව නොමැති බවත් වටහාගත් ලොවුතුරා බුදු පියාණන් වහන්සේ කළල්මත උපන් පද්මය දිය මතුපිට විකසිත වූවා සේ ලෝකය ඉක්මවා නොඇලී නොගැලී වැඩහුන් සේක. සූර්යාලෝකයෙන් විකසිත වූ පියුමක් සේ ප්‍රඥාලෝකයෙන් විකසිත කරගත් බුද්ධඥානයෙන් තුන් ලොවම සුවඳවත් කළ සේක.

බුදු දහමේ අරමුණ වන්නේ ද මිනිසා පද්මාකාර වූ ජීවිතයකට හුරු කිරීමයි. මිනිස් සිත අන් සත්ව සන්තානයන්ගෙන් වෙනස් වන්නේ ද මෙම ශ්‍රේෂ්ඨතම ප්‍රතිපදාව මගිනි. වෙනස්වන සුලු දුකින් බරවූ උරුමයක් නැති මේ සුන්දරතාවයන්ගෙන් සරසා ඇති ආකර්ෂණීය ලෝකය විඳින්නට ඉන්ද්‍රිය පංචකයක් ඇත. එනම් ඇස , කන , නාසය , දිව , ශරීරය වශයෙනි. ආයතන වශයෙන් ගත් කල මනස සමග සියල්ල හයකි. මෙම සලායතනයන්ගෙන් ස්පර්ශකරගත හැකි ලෝකය බැඳීම් සහගත ඇලීම් සහගත සුඛදායක වූ ආකර්ෂණීයත්වයකින් ගත්විට උපාදාන නම් බැඳීම හට ගනී. බැඳීමෙන් ලෝකය විඳීම, නිදහස් ලෙස ලෝකය විඳීම තරම් සුවදායක නොවේ.

දුක හටගන්නේ විඳීම නිසා නොව තෘෂ්ණාව නිසාය. තෘෂ්ණාවෙන් තොරව ලෝකය විඳීම මඩ නොගෑවී දියමත පිපෙන පද්මයක් බඳුය. නෙළුම් මලේ පෙත්තක පමණක් නොව නෙළුම් පත්‍රයක පවා දිය බිඳු නොරඳයි.

දියේ හටගත් මෙම අරුම පුදුම නිර්මාණය ජලයට අවනත නොවන හැටි බලන්න. මිනිස් සිතද ඒ තත්ත්වය දක්වා වැඩිය යුතු බවයි බුදු දහමේ සඳහන් වන්නේ. පුද්ගලයා විශ්වයේ නිර්මාණයක් වුවද හේතු ප්‍රත්‍යයන්ගේ හටගැනීමකි. එහෙත් හේතු ප්‍රත්‍යයන් කෙරෙහි පුද්ගලයා බැඳී සිටිය යුතු නැත. මෙලොව උපන් සත්වයා මූලික වශයෙන්ම ලෝකය තුළ විසීමට (ලෞකික) සුදුසුකම් තුනක් සපුරාගත යුතුවෙයි. එනම් ලෝභ, දෝස, මෝහ යනුවෙනි. මෙම මූල ධර්ම තුන ලොව වෙසෙන ලෞකික සත්වයා ජයග්‍රාහීව තැබීමට කැපවී ඇත. බැඳීම දැවීම වැසීම යනුවෙන් මේවා අර්ථ දැක්විය හැකිය. ලෝභය නම් වූ මූලය පුද්ගල සන්තානයට සියලු පි‍්‍රයතාවන් හා බැඳ තබයි. වස්තු ද්‍රව්‍ය පමණක් නොවෙයි. ආකල්ප මතවාද සංකල්ප ආදි මනෝමය සත්තාවන් කෙරෙහිද මෙය සාධාරණ වේ.

තමත් සතු වස්තුව අන්සතු වීමට ඉඩ ඇති සෑම අවස්ථාවකම දෝස හෙවත් ද්වේෂය (තරහව) නැගී සිටී. ලෝකයේ බොහෝ ගැටලුවලට හේතු වී ඇත්තේ සාම විරෝධි මෙම සංකල්පයයි.

ලෝකය හා ද්වේෂය යටපත් කර ගැනීමට යත්න දරන බොහෝ අවස්ථාවන්හිදී මෝහය නම් වූ ආවරණය නෙත සිත අභිමුව දිග හැරෙයි. එවිට සත්‍යය මැකී යයි. ප්‍රඥාව නිවී යයි. මනස මුළා වෙයි. මේ කරුණු නිසා පුද්ගලයා යථාර්ථය අමතක කර දමා විවිධ සටන් කොට තම අභිමතාර්ථයන් වෙනුවෙන් නැඟී සිටී.

අවශ්‍යතාවයන් හා ආශාවන් කෙරෙහි අසීමිතව ගැටෙමින් ජය ලබන්නට උත්සාහ දරයි. මේ තත්ත්වයන් වෙනස් කොට බැඳීම් දැවීම් වැසීම් වලින් තොරව ලෝකය විඳින්නට හැකි උතුමන් පියුමක් ලෙස සැලකිය හැකිය. මෙම පද්මාකාර ජීවිතයෙන් ලෝකයට සපයන පරමාදර්ශයද අසීමිතය. පද්මය ආසනයක් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේට හා සරස්වතී දේවියටයි. ඇතැම් දේව සංකල්පවල පද්මාසනය භාවිතා කර ඇත්තේ භක්තිමත් බව මූර්තිමත් කිරීමටය.

සරස්වතී දේවිය සංකේතවත් කරනුයේ කලාවයි. කලාව තුළ තිබිය යුතු නිර්මලත්වය මෙහි අරුත ලෙස ගත හැකිය. ජීවමාන වූ මානව සම්පතක ප්‍රතිමූර්තිය වන බුද්ධාසනය සඳහා පද්මය හෙවත් පියුම භාවිතා කිරීමට කලාකරුවන් ගත් තීරණය කෙතරම් විශිෂ්ටද .

බුදු සිරිතෙන් විහිදෙන වීතරාගී ගුණ සුවඳ මෙයින් සංකේතවත් වෙයි. පූජාවලියේ දැක්වෙන බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාව පිළිබඳව වර්ණනාවේ මෙබඳු ඡේදයක් ඇත.

“මාගේ ස්වාමිදරුවෝ ඒ මහීනාදය හා සමග තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ, බුද්ධඥාන නමැති සුර්ය කාන්තියෙන් ප්‍රබෝධ වූ, සුරක්ත වූ ඕෂ්ඨධාතු නමැති පත්‍ර ඇති, සද්ධර්ම නමැති මධු බින්දු ඇති, ශ්‍රීමත් වූ මුඛ පද්මය විවෘතකොට බැණ නැගී බසින් දිවූ සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඩක් සේ කෙරෙමින් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට පටන්ගත් සේක “

මෙම වර්ණනාවේදී තථාගතයන් වහන්සේගේ ජීවිතය හා නෙළුම් මලක ඇති පූජනීය ආදර්ශනය මැනවින් පෙනේ. තම අභිමානවත් ජීවිතයේ පවිත්‍රත්වය අති උදාර ආත්ම කථනයකින් ලොවට හෙළිකරදෙන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගත කළ පද්මාකාර ජීවිතය මනා ඇගයුමකට ලක්කරයි. “ජලයේ ඉපිද ජලයෙහිම වැඩී ජලයෙන් ඉහළට මතු වී ජලයෙහි නොගෑවී සිටින රත් නෙළුම් මලක් හෝ සුදු නෙළුම් මලක් පරිද්දෙන් කෙලෙස් සහිත මිනිසුන් අතරම ඉපිද ඔවුන් අතරම වැඩී කෙලෙසුන්ගෙන් තොරව ඉස්මතු වී නොගැටී වැඩ සිටින නිසාම තමන්වහන්සේ බුද්ධ නම් වන බව “ දේශනා කරති.

මහමඟ අසල දැමූ කසලගොඩක වුවද හොඳ සුවදැති නෙළුම් මලක් පිපී බබළන්නාක් මෙන් කසල ගොඩවල් වැනි අඳබාල මිනිසුන් අතර බුද්ධ ශ්‍රාවකයා නුවණින් බබළවන්නේය යනුවෙන් තමන් වහන්සේ ගත් මග ගනිමින් නිවී සැනසුනු තම ශ්‍රාවකයන් වහන්සේලාද පද්මාකාර ජීවිතයක් සතු කරගෙන ඇති බව දේශනා කළ සේක.

නෙළුම් විලේ දහසක් මල් විකසිත වෙයි. සුවඳ විහිදුවා පරවී යයි. පරවීයන මලක සුන් බුන් දියමත පාවී කුණු වී පතුලේ තැන්පත් වෙයි. එය නෙළුම් පඳුරට පොහොර වෙයි. අලුත් මලක උපතකට එය ජීවයක් දෙයි.

පුද්ගල චරිතයක්ද එසේ ගොඩනගාගැනීම මැනවි. හදවිල් පතුලේ හටගන්නා සෑම ප්‍රාර්ථනා පියුමක්ම ඉටු නොවී මිලින වී යන විට සිතට ඉතිරිවන්නේ පසුතැවිල්ල හා කලකිරීම පමණයි. බිඳවැටෙන අපේක්‍ෂාවන් තුළින් ආත්ම ශක්තිය උපදවා ගත යුතු අතර අලුත් බලාපොරොත්තුවකට එය ජීවයක් කරගත යුතුය. මලට පොහොර මෙන් ජීවිතයට අත්දැකීම් මහඟු ශක්තියකි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.