Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“බුදුසරණ” පාඨක පිරිස ගැන විමසුමක්

දහම් පාසල් ගුරුවරු ද ඒ මතය ප්‍රකාශ කළහ. බුදු දහම පුද්ගලයාගේ ජීවිතයට සහබද්ධ ප්‍රශස්ත ප්‍රායෝගික දහමකි. බුදු දහමෙන් ඉහළ ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වන්නේ වියපත් අවදියේ දී නොව, ළමා තරුණ වියේ සිටම දහම සමග සම්බන්ධ වීමෙනි.

ශී‍්‍ර ලංකාවේ සතිපතා නිකුත් කෙරෙන, සඟරා ප්‍රමිතියෙන් වන පුවත්පත් සංඛ්‍යාව අති විශාල ය. විවිධ නම් වලින් විවිධ ක්‍ෂේත්‍ර යටතේ වන මේවායේ නම් කීමට යම්තම් හෝ හැකියාවක් ඇතොත් ඒ පුවත්පත් අලෙවි නියෝජිතයකුට පමණි. පාසල් දරුවන්ට එක ශ්‍රේණියේ සිටම පුවත්පත් ඇත.මේවායේ අලෙවිය ද ඉමහති.මේ සියලු පුවත්පත් අතර, අඩු ම මුදලකට මිලයට ගත හැකි, දීප ව්‍යාප්ත එකම දහම් පුවත් පත “ බුදුසරණ “ පමණකි. බෞද්ධ පාඨකයින් අතර “ බුදුසරණ “ ට හිමි තැන කුමක්ද? අලෙවි නියෝජිතයින් හා ජංගම අලෙවිකරුවන් කිහිප දෙනෙකුගෙන් මා කළ විමසුමකදී දැනගන්නට ලැබුනේ, ඇණවුම් කළ සීමිත පිරිසකට පමණක් මෙම පුවත්පත ගැනෙන බවයි.

තවද වෙළෙඳ සැල්වල බඩු එතීමට “ බුදුසරණ “ පුවත් පතේ කඩදාසි භාවිතා කරනු දක්නට නැත. එම පිටුවක් කසළ ගොඩකවත් හමු නොවේ. ඊට හේතුව විය හැක්කේ මේ දහම් පුවත්පත පරණ පත්තර කඩදාසිවලට නොවිකුණා සුරක්‍ෂිතව තබා ගැනීම හෝ බුදුරුව සහිත පත්තර පිටු එවැනි කටයුතු සඳහා භාවිතා කිරීම පව් සිදුවන වැඩක් ලෙස සලකා තබා ගැනීම හෝ විය හැකියැයි අනුමාන කළෙමි. මේ අතර “ බුදුසරණ “ පුවත්පතක් ඇති බොදු නිවසක් දක්නට ලැබීම ද සුලබ නොවේ. බුදුසරණ ගැනෙන පොදු පුස්තකාලයක් ඇතොත් කලාතුරකිනි.

බහුතරයක් බෞද්ධයින් සිටින, ඉහළම සාක්‍ෂරතාවයක් ඇති ජනතාවක් සිටින, බුදු දහම පිළිබඳ ඉහළ ප්‍රබෝධයක් ඇති මේ රටේ, ධර්ම භාණ්ඩාගාරයක් හා ඉවත නො දමා නැවත නැවතත් කියවිය හැකි පුවත් පතක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන “බුදුසරණ” සමග පාඨක සම්බන්ධතාව කවර මට්ටමක පවතින්නේ ද යන්න පිළිබඳව ඉහත සඳහන් සාමාන්‍ය නිරීක්‍ෂණ මගින් විනිශ්චයකට පැමිණීම අවිද්‍යාත්මකයැයි හැඟුණු බැවින් , මේ පිළිබඳව උනන්දුවක් දක්වන කිහිප දෙනකුගේ ද කාරුණික සහාය ලබාගෙන , පාඨකයින් ඇසුරෙන් සරල සමීක්‍ෂණයක් කිරීමට, බුදුසරණ පාඨකයෙකු හැටියටත් ඊට ලිපි සපයන්නෙකු හැටියටත් මම උනන්දු වීමි. මේ සඳහා දහම් පාසල්, විහාරස්ථ සීල සමාදාන වැඩසටහන් වලට හා ධර්ම සාකච්ඡාවලට සහභාගි වන ග්‍රාමීය මට්ටමේ නියැදියක් තෝරා ගතිමි. ගම් වශයෙන් දහයක් පමණ මෙම නියැදියට ඇතුළත් විය. එවැනි පිරිසක් තෝරා ගනු ලැබුයේ, දහම ඇසුරු නොකරන්නන්ට වඩා දහම ඇසුරු කරන්නන්, කාලීන අර්ථවත් ධර්ම සන්නිවේදනයක් කරන “ බුදුසරණ “කියවන්නේ යැයි සිතීමට අවකාශය තිබූ බැවිනි.

මේ සඳහා බොදු පිරිස සහභාගි කරගත්තේ පවුල් මට්ටමිනි. එහිදී පවුල් 232 ක් මෙම නියැදියට ගැනීමට හැකි විය. තොරතුරු ලබා ගැනුනේ දහම් පාසලේදී, සීල සමාදාන වැඩ සටහනේ දී, දහම් හමුවලදී අදාළ පිරිස කෙළින්ම හමුවීමෙනි. මේ පවුල් අතුරින් සතර පෝයට නිකුත් කෙරෙන “ බුදුසරණ “පුවත්පත අඛණ්ඩව මිලයට ගන්නා පවුල් සංඛ්‍යාව වූයේ 7 ක් පමණි. එනම් 3.01% කි. එය කලාතුරකින් ගන්නා බව කියා සිටි පවුල් ගණන 47 කි. (20.25% ) පවුල් 59 ක් (25.4%) පසළොස්වක පොහෝ දිනවලදී පමණක් “ බුදුසරණ” ලැබෙන බව කියා සිටියහ. එහිදී විශේෂත්වය වූයේ ඒ අයගෙන් බහුතරයක් තමන්ගේම කැමැත්තෙන් මෙම පුවත්පත මිලදී ගන්නවා නොව ධර්ම දානයක් වශයෙන් සමහර සැදැහැවතුන් විසින් පරිත්‍යාග කරනු ලැබීම නිසා එය ලැබෙන බවයි. මිලයට ගත් “ බුදුසරණ “ සුරක්‍ෂිතව තබා ගන්නා බව කී පවුල් සංඛ්‍යාව 45 කි. එසේ තබා ගැනීම හේතුව වශයෙන් සමහරෙක් ප්‍රකාශ කළේ ඒවා පරණ පත්තර කඩදාසිවලට විකුණා දැමීම හෝ වෙනත් කටයුතුවලට පාවිච්චි කිරීම ධර්මයට කරන අගෞරවයක් බවයි.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ අපේ දහම් පාසල් දරුවන් “ බුදුසරණ” කියවන අය බවට පත්ව තිබීම ඉතාමත් ම අවම මට්ටමක පවතින බවයි. “ බුදුසරණ” බෞද්ධ වැඩිහිටියන් ගේ හෝ විශ්‍රාමිකයන්ගේ අවධානයට ලක් වූ පත්තරයක් මිස තරුණ පිරිස අතර ප්‍රචලිත එකක් නොවේයැයි අදහස් දැක්වූ අයද වූහ. බුදුසරණ පාඨකත්වයට පත් පාසල් සිසුන් මේ නියැදිය මගින් හඳුනා ගත නොහැකි විය. ශිල්ප ක්‍ෂේත්‍රයේ තරගකරුවන් වී හැල්මේ දුවන එම පිරිසට දහම සමග සම්බන්ධවීමට කාලයක් නැතිවාක් මෙන් ම, ඒ සඳහා යොමු කිරීමක් ද නැති බව පෙනී ගිය කාරණයකි.

මේ සමීක්‍ෂණයට ගැනුනේ ග්‍රාමීය මට්ටමේ කුඩා නියැදියක් වුව ද, බුදුසරණ කියවන්නන් පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට එමගින් හැකි වේයයි සිතමි. ප්‍රායෝගික බුදු දහම පිළිබඳව කාලීනව කථා කරන මෙම පුවත්පත කියවීමට යොමු වී ඇති බොදු පිරිස තවම අවම මට්ටමක පවතී.

එය සියලු කෙලෙසුන් නසා නිවන ක්‍ෂාත්සාත් කර ගන්නා සැටි එකලාව කියා දෙන පුවත් පතක් නොව දහමට අනුව පුද්ගලයාගේ ජීවිතය හරවත් හා අර්ථවත් ලෙස සංස්කරණය කර ගන්නා ආකාරයද ජනතාවට කියාදෙන රටේ උතුම් සඟ පරපුර පාඨකයා සමග සම්බන්ධ කරන, ඉහළ ශාසනික මෙහෙවරක් කරන පුවත් පතකි. ඒ නිසා මේ සද්ධර්ම සේවනය විශේෂයෙන් ළමා, තරුණ පෙළට ලබාගැනීමට අවශ්‍ය යොමු කිරීම අප රටේ බෞද්ධ ආයතන , ධර්ම සංවිධාන මගින් කළ යුතුව ඇතැයි සිතමි.

විශේෂයෙන් දහම් පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඒ ඒ ශ්‍රේණි මට්ටමින් එක දිගට සහාය විය හැකි පිටුවක් සෑම කලාපයකම වෙන් කර ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් දිය හැකි නම් හා දරුවන්ගේ දැහැමි සංකල්පනාවක් පළකර දිරි ගැන්වීමක් කළ හැකි නම්, ඔවුන් වැඩි දෙනෙක් බුදුසරණ කියවීමට පෙළෙඹෙනු ඇත.

දහම් පාසල් ගුරුවරු ද ඒ මතය ප්‍රකාශ කළහ. බුදු දහම පුද්ගලයාගේ ජීවිතයට සහබද්ධ ප්‍රශස්ත ප්‍රායෝගික දහමකි. බුදු දහමෙන් ඉහළ ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වන්නේ වියපත් අවදියේ දී නොව, ළමා තරුණ වියේ සිටම දහම සමග සම්බන්ධ වීමෙනි. එබැවින් ඒ මට්ටමේ අය බුදුසරණ කියවීමට යොමු කිරීම අරබයා දහම් පාසල් ප්‍රධානීන් හා ආගමික ආයතන ප්‍රධානීන් විසින් අපේ බෞද්ධ දරුවන්ට හඬගා කිව යුතුව ඇතැයි සිතමි.

වැඩියෙන් ම බණ කියන රටත් වැඩියෙන්ම දහම් පොත පත නිකුත් කෙරෙන රටත් අපේ රටයි. එහෙත් අපේ බෞද්ධ ජනතාව අතුරින් බහුතරයක් බුදුදහම පිළිබඳ දැනුම අතින් ඉතාමත් පහළ මට්ටමක සිටින බව නොරහසකි. “බුදුසරණ” මගින් උත්සාහ කරන්නේ මේ සාධන මට්ටම ඉහළ නැංවීමටය. අපේ බෞද්ධ පිරිස, විශේෂයෙන් ළමා තරුණ පිරිස මේ කාරණය වටහාගෙන නොතිබීම කනගාටුවට කරුණකි.

ඒ සමග ම ‘බුදුසරණ’ වියත් පාඨකයින්ද ලේඛකයින්ද මෙම පුවත්පත බෞද්ධ ජනතාවට සමීප කරවීමට අවශ්‍ය වටිනා සාධාරණ අදහස් හා යෝජනා කර්තෘ මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් සහාය වන්නේ නම් ඉතාමත් වැදගත් වේයැයි විශ්වාස කරමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.