Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් සිතුල්පව්ව පුද බිම

සිත් අලවන යම් අරණෙක් හි ලෞකික ජනතෙම සිත් නොඅලවන්නේද රහත්හු එහි ඇලෙන්නාහු ය. ඒ රහත්හු කාමයත් නොසොයන බැවිනි. වීතරාගී රමණීයත්වය දැකිය හැක්කේ එබඳුම තම ඇතුළත පිරිසුදුව පවත්වාගෙන යන ජනතාවකටය. මනුෂ්‍යත්වයේ අති උත්තරීතර පණිවුඩය නම් ප්‍රඥා ලෝකයෙන් සැබෑ තත්ත්වය දැක දුකින් නිදහස්ව විමුක්ති සුවයෙන් කල් ගෙවීමයි. ඉපදීම, ලෙඩවීම, ජරාව, මරණය සහ සතර අපාගත තත්ත්වයෙන් මිදී අමරණීය නිවන් අවබෝධයටම යොමු කෙරෙන බණ භාවනා දාන මාන ශීල සමාධි ප්‍රඥා ගෝචර වූ දිවි පෙවෙතකින් බැවින් සිතුල්පව්ව එබඳු සමාජයක් නිර්මාණයට කැප වුණු අරහත් භූමියකි.

මහාවංසයට අනුව සිතුල්පව් විහාරය කරවන ලද්දේ රුහුණු පාලකයා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. ඒ ක්‍රිස්තු පූර්ව වර්ෂ 161 ට පෙරදී ය. මේ රජු විසින් කරවන ලද මහනුග්ගල නම් චෛත්‍යය වැඩ නිමවීවේ උත්සවයට සිතුල්පව්ව විහාරයෙන් දොළොස් දහසක් භික්‍ෂූන් සහභාගී වූ බවත්, වළගම්බා රජු කාලයේ එනම් ක්‍රිස්තු පූර්ව 89 - 77 අතරතුර සිදු වූ බැමිනිටියා සාය නම් නියඟය නිසා එම භික්‍ෂූන් වහන්සේලා පිරිනිවන් පෑ බවත් සඳහන් වේ. මේ අනුව රහතුන් වහන්සේලා වැඩ සිටි සිතුල් පව්ව විහාරයට දුර බැහැර ප්‍රදේශවල සිට මිනිසුන් පැමිණ, පළමුවෙනි දින සිතුල්පව් විහාරයේම ගත කොට දෙවනි දිනයේ ගෙවල් බලා ගිය බවද සඳහන් තොරතුරු වලින් පෙනෙන්නේ විහාරස්ථානය තුළ විශාල වශයෙන් රැස් වී බණ ඇසීමට, භාවනානුයෝගීව සිටීමට හා ධර්ම සිහියෙන් යුතුව කාලය ගත කිරීමට පහසුකම් තිබුණු බවයි.

ආර්ය මාර්ගයට එළඹී සමවත් සුවයෙන් සිටි භික්‍ෂූන් වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන්, සාමාන්‍ය ජනතාව සත්‍යාවබෝධයට පත්ව සාර්ථක ගෘහ ජීවිත ගත කළ බව නොරහසකි. යෝධ නිර්මාණ, කලා කෘති මහා චෛත්‍යය, ගල් ගෙවල්, කළුගලින් නිමවන ලද යෝධ විහාර කෘතීන් කිරීමට මෙන්ම, චිත්ත ධෛර්යයෙන් යුතුව කෘෂිකාර්මික හා ගෘහ කටයුතුවල යෙදීමට අවශ්‍ය පන්නරය දීමේ යෝධ සමාජ සද්කාර්යට සිතුල්පව්ව විහාරයෙන් ලැබූ අනුබලය අපමණය.

සිතුල් පව්ව කවදත් අතොරක් නැතිව භික්‍ෂූන්ගෙන් පිරී තිබුණු බව විසුද්ධි මග්ගයේ සඳහන් ය.වීතරාගි, යථාවබෝධයට පත් ඒ පාරිශුද්ධ දිවි පැවැත්ම සියැසින් දුටු අපගේ පැරණි හෙළ විරුවන්ගේ අරුමය වර්තමාන සමාජයට ආදර්ශයකි. මහසෙන් රජු සමයේ දී (ක්‍රි.ව. 274 – 301 ) බුද්ධ ශාසනයට වූ අවැඩ දුටු සිතුල්පව්ව වාසී භික්‍ෂූන් වහන්සේ නමක් රාක්‍ෂ වේශයක් මවාගෙන බුදු සසුන රැක ගැනීමට කටයුතු කළ පවුතක් ද සඳහන් ය. සිතුල්පව්වවාසී ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාත්මික බලය චිත්ත ශක්තිය ආශ්චර්යමත්ය, විසුදවි මාර්ගය, මනෝරථ පූර්ණය, සුමංගල විලාසිනිය සම්මෝහ විනෝදනි වැනි අටුවා ග්‍රන්ථවල දැක්වෙන්නේ ධර්මධර විනයධර ශික්‍ෂාකාමී රහත්ගුණ වලින් යුත් භික්‍ෂූන් වැඩ සිටි බවයි. මලියදේව ථෙර, ධම්මදින්න, දීඝ භාණක, අභය තෙර වැනි තෙරුන් වහන්සේලා කදිම උදාහරණ නොවන්නේ ද?

ක්‍රි.ව.06 වන ශත වර්ෂයේ දී අරියවංශ දේශනාවක් සිතුල්පව්ව විහාරයේ දී පැවැති බවත්, එහිදී රටවැසියා කහවනු පූජා කර ඇති බවත් වාර්ෂිකව දින කීපයක්ම එම සූත්‍ර දේශනා පැවැති බවත් පෙනේ.

රහතුන් වැඩ සිටි සිතුල්පව්ව විහාරයේ සමාජ පුද්ගල යහගුණ වර්ධන ක්‍රියා පිළිවෙළ වර්තමාන ආර්ථික හා සමාජ පීඩනයට ලක්වූ ලෝ වැසියනට කදිම අනාගත මාවතකට දොර කවුළු විවෘත කර නොදෙන්නේ ද? අපරිමිත සංඛ්‍යාවක් රහතන් වහන්සේලා සිතුල්පව්වේ විසූහයි විසුද්ධි මග්ගයේ (127 පිට) සඳහන් වේ. සිතුල්පව්වේ විදර්ශනා ක්‍රම පුහුණු කිරීම පිළිබඳව සමත්කම් දැක් වූ උගත් ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේගේ කීර්තිය ලක්දිව පමණක් නොව ඉන්දියාවේ ද, පැතිරී තිබුණු බව ඇතැම් කථාවලින් හෙළි වේ. පැළලුප් නුවර සිට එක්තරා වෙළෙඳ කුල පුත්‍රයෙක් ලංකාවට පැමිණ මහණ වී සිතුල්පව්ව වෙසෙමින් භාවනා කොට රහත් ඵලයට පැමිණ දෙවියන්ගෙන් පවා පි‍්‍රය මනාප බව දිනාගත් සැටි විශාඛා තෙරුන්ගේ කථාවෙන් දත හැකි ය. තිස්සමහාරාමයේ දී සිවුරු හැර යාමට සිතූ එක් භික්‍ෂූන් වහන්සේ නමක් සිතුල් පව්වට වැඩම කොට රහත් ඵලයට පත් බව වාර්තාගත වේ.

එදා ලංකාවේ ධර්ම දේශක ස්වාමීන් වහන්සේලා පවා සිතුල්පව්ව ආශ්‍රයෙන් ඇති වූ බව පෙනේ. ධම්ම දින්නා මහ රහතන් වහන්සේ එවැනි උත්තමියෙකි. දුටුගැමුණු රජු කළ වැඩ සිටි අන්තිම මහ රහත් නම යැයි අදහස් කරන මලියදේව මහ රහතන් වහන්සේ ඡජත්ත සූත්‍රය දේශනා කළ විට හැට නමක් රහත් වූ බවද සඳහන් ය. සම්මෝහ විනෝදනියේ එන කථාවකට අනුව සිතුල් පව්වේ භාවනා කරන ස්ථාන වෙත වෙනම තිබූ බව සඳහන් ය. ඒවා භාරව භික්‍ෂූන් වහන්සේලා ද රැසක් වැඩ සිටි බව කියවේ. චිත්ත ගුත්ත තෙරුන් වහන්සේ දෙබිඩිගෙය විසූ චිත්‍ර තෙරුන් වහන්සේලා දෙනම ධෛර්යය උපදවා රහත් ඵලයට පත් වූ බව සඳහන් ය. නොයෙක් පළාත් වලින් සිතුල් පව්වට බොහෝ දෙනා පැමිණියේ ධර්ම ශ්‍රවණය කිරීමට ය. එසේ පැමිණෙන අයට නවාතැන් පහසුකම් වලින්ද යුත් එදා සිතුල් පව්ව කොතරම් පහසුකම් වලින් යුත් ලංකාවේ ප්‍රධානම විහාරයක් වූවාදැයි සිතාගත හැකි ය. එසේ පැමිණ බණ අසද්දී තම පුත්‍රයා සර්පයෙක් දෂ්ඨ කර ඇති බවත් සත්‍ය ක්‍රියා බලයෙන් සුවපත් කරගැනීමට මවට හැකිවූ බව මනෝරථ පුරණි අටුවාවේ සඳහන් ය. මෙම ධර්මයේ සත්‍ය බලය පිළිබඳව නූතන විද්වතුන්ගේ ඇසට ලක්විය යුතු කාලය එළඹ ඇත. භික්‍ෂූන් වහන්සේලා පමණක් නොව භික්‍ෂුණීන් වහන්සේලාද සිතුල්පව්ව වැඩි බවට සාක්‍ෂි ඇත.

සමන්ත පාසාදිකාවේ සඳහන් වන්නේ (681 පිටුව) එක එක දොරටුවකින් ඇතුළු විය හැකි දාන ශාලා හතරක් තිබූ බවයි. එදා සිතුල්පව්වේ වැඩ සිටි භික්‍ෂූන් වන්සේලාගේ ප්‍රමාණය පිළිබඳවත් සංඝාවාසයේ විශාලත්වය ගැනත්, සිතා ගැනීමට එය කදිම සාක්‍ෂියකි. වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් 2009 පොසොන් පුර පසළොස්වක දින විවෘත කරනු ලබන සංඝාවාසය යළි ලක්දිව ජනතාවට ධර්මයේ ආශිර්වාදය පතුරාලීමේ උතුම් අරමුණකින් ඉදිවුණු එකකි. උගත් ධර්මධර විනයධර මාර්ගඵල ලාභී භික්‍ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයකට වැඩ සිටිය හැකි එම දෙමහල් සංඝාවාසය අපට අතීතයේ නැතිව ගිය බොදු වටිනාකම් සමූහය යළි උදාකිරීමට ගත් ශ්‍රේෂ්ඨ පියවරකි.බුදු හිමිපාණන් වහන්සේ වදාළ පරිදි, ආර්ය සත්‍ය දර්ශනයෙන් සියලු කෙලෙස් වලින් මිදුණු අටලෝ දහමින් කම්පාවට පත් නොවන උපශාන්ත වූ රහතන් වහන්සේලාගේ හෙවත් උත්තම පුරුෂයන්ගේ සිත ද, වචනය ද ක්‍රියාවද එකසේම ශාන්ත බව පැහැදිලි ය.

සන්සුන් කළ සිත කය වචනය ඇති
අරි සත් දහමින් පැහැදුනු බව ඇති
පව් පින් අත්හළ රහතුන් පැහැ ඇති
දැක්මෙන් නිවෙනව රාගිනි බර ඇති


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.