Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක ඉතිහාසයට ගෞතම බුදුපියාණන් වහන්සේ යම් සේ ද ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ද එබඳු ය. එහෙයින් අපි උන් වහන්සේ “අනුබුදු “ යනුවෙන් හැඳින්වීමට පුරුදු වී සිටිමු. එහෙත් උන්වහන්සේ විසින් නිර්මල බුද්ධ ධර්මය අප රටට ලබා දෙන ලද පොසොන් මස පුර පසළොස්වක් පොහොය දින පිළිබඳ ව අඳුරු තිර පටලයකින් වැසුණු මිථ්‍යා පුරාවෘත්තයක් ද ඒ හා සමග එකට ඈඳී වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ පැවතී ඇතැයි හැඟෙන බැවින් ඒ පිළිබඳ ව අපට වැටහෙන අර්ථකථනය ඉදිරිපත් කිරීමේ පරම අධ්‍යාශයෙන් මේ කුඩා ලිපිය ලිවීමට අදහස් කළෙමි.

අපේ ඉතිහාසය ගොඩ නැගී ඇත්තේ ප්‍රධාන වශයෙන් මහාවංසය මූලාශ්‍රය කොටගෙන බව ප්‍රකටය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව වද ඒ අනුසාරයෙන් අපි චිත්තරූප , මවාගෙන සිටිමු. එහෙත් දේවානම් පියතිස්ස රජු පිළිබඳ ව අප ගොඩනගා ගෙන ඇති චිත්‍රය නිවරදිදැයි සලකා බැලීම කාලෝචිතය.

දේවානම්පියතිස්ස රජුට මිහිඳු මහ රහතන් වහන්සේ මුණගැසුණු සිද්ධිය රටේ අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත ව ඇත්තේ රජු මුව දඩයමෙහි ගොස් සිටියදී මිහින්තලා වන පියසෙහි දී මිහිඳු හිමිට හමු වූ බව ය. අප රටේ පසුකාලීන බොහොමයක් පත පොතෙහි පන්සල්වල පාසල් වල පමණක් නො ව කුදු මහත් බෞද්ධ ජනතාව තුළ ඇත්තේ ද මේ සිතිවිල්ලයි. ඒ ආභාෂයෙන් මේ සිද්ධිය පිළිබඳව වෙනත් ආගමිකයන් අතරට ගොස් ඇත්තේ ද තිස්ස රජු දඩයක්කාරයකු බවයි. එහෙයින් පුර පසළොස්වක් පොහොය දින පවා අහිංසක මුවන් දඩයමේ ගිය ජාතියක් වශයෙන් සිංහල බෞද්ධයාට ලැබී ඇති අගෞරවය හා මදිපුංචිකම සුළුපටු නොවේ. එය අගෞරවයක් ලෙස හැඟෙන්නේ ඒ පිළිබඳ ව ඉතා ගැඹුරින් සියුම් ව සිතා බලන විටය. මේ නිසා ඇතැම් මිථ්‍යා මතධාරීන්ට අයුතු පල ප්‍රයෝජන ලබා ගැනීමේ අවස්ථාද උදා වී නැත්තේ නොවේ.

මේ සිද්ධිය පිළිබඳ ව සලකා බැලීමේ දී මේ වරද සිදු වී ඇත්තේ මහාවංසයේ හෝ මහාංවස කතුවරයාගේ හෝ වරදක් නිසා නොව ඒ පිළිබඳව වරදවා වටහා ගැනීම නිසා බව අපගේ හැඟීමයි. එසේ කියන්නේ හේතු සාධක සහිත වය. මහාවංසය සඳහන් කරන්නේ දේවානම්පියතිස්ස රජු “ දඩ කෙළියෙහි “ ගොස් සිටි අවස්ථාවේ මිහිඳු මහ රහතන් වහන්සේ මුණ ගැසුණු බවය. “දඩකෙළිය “ යන්න “ දඩයම “ යනුවෙන් සාවද්‍ය ලෙස වටහා ගත් අය මේ තත්ත්වය වගා කොට ඇති බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව එම මතය ම තහවුරු වී ඇති බවත් පැහැදිලිය.

තිස්ස රජු වනාහී ලෝකයේ ප්‍රථම වරට මහා වනෝද්‍යානයක් නිර්මාණය කළ මුටසීව රජුගේ පුත්‍රයාය. එම මහා වන උයන අනුරාධපුරයෙහි පිහිටි කවුරුත් දන්නා හඳුනන මහා මේඝ වනෝද්‍යානය හෙවත් මහමෙව්නා උයනයි. සිංහල රාජවංසය වූකලී සත්ව ඝාතනය පිණිස නොව අවිහිංසාව පාදක කොට කටයුතු කළ පරම්පරාවකි. ලෝකයේ හා හපුරා සත්වාරෝග්‍යශාලා බිහිකොට සතුන්ට සුවසෙත සැලසූ බුද්ධදාස වැනි රජවරුන් අපේ රාජ , පරම්පරාවට ආලෝකයකි. සත්ව ඝාතනය රාජ නීතියෙන් තහනම් කොට සතුන් කෙරෙහි මෛත්‍රීය පතුරුවා ඔවුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පාරිසරික වාතාවරණය ලබා දුන් අඩගැමුණු වැනි රජවරුන් මේ රටේ රජ පෙළපතෙහි සිටිති. තිස්ස රජුගේ බුද්ධි මහිමය හා ප්‍රඥාව පරීක්ෂා කිරීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් විමසන ලද “ අඹ ප්‍රශ්නය “ හා “ නෑ ප්‍රශ්නය “ ලෝකයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය ලෙස සැලකීමෙහි වරදක් නො පෙනේ. එහි දී තිස්ස රජු බුද්ධිය මෙහෙයවා ඇති ආකාරය ගැන සැලකූ විට ද දඩයක්කරුවකුගෙන් එවැනි ප්‍රඥා මහිමයක් අපේක්ෂා කළ නොහැකි බව වැටහේ. මිහිඳු මා හිමි මේ රටේ දී ප්‍රථම වරට දේශනා කළ චූල හත්ථි පදෝපම සූත්‍රය ද සතකු මුල් කොට ගෙන ගොඩ නැඟුණකි. සතුන් මැරීම පුරුද්දක් කොට ගත් දඩයක්කරුවකුට නම් එයින් ගම්‍යමාන වන ඇතුන්ගේ විවිධ ගති ලක්ෂණ මෙසේ පැහැදිලි නො වනු ඇත.

මහාවංසය සඳහන් කරන අන්දමට රජු දඩකෙළියෙහි ගොස් ඇත්තේ හතළිස් දහසක පිරිසක් සමගය. මෙතරම් විශාල පිරිසක් සමග දඩයමේ යන රටක් හෝ දඩයම් කළ හැකි රටක් ඇත්දැයි සිතා බැලීම වටී. එමෙන් ම තිස්ස රජු මුවා දැක දුනුඊතල පහර එල්ල නොකළ බවත් ඌ එළවූ විට රජු අසලින් පැන ගිය හෙයින් රජු ඌ පසු පස හඹා යන්නට සැරසුණු බවත් සලකා ගත හැකිය.

තිස්ස රජු ධර්මාශෝක රජුගේ අසදෘශ මිත්‍රයෙකි. ඔහු හා සන්දේශ මාධ්‍ය මගින් තොරතුරු හුවමාරු කර ගත්තෙකි. මිහිඳු මාහිමියෝ ලංකා ගමනයද මේ සන්දේශාවලියෙහි ප්‍රතිඵලයක් මිස, අහඹුවෙන් සිදුවූවක් නොවේ. ධර්මාශෝක රජතුමා වනාහී බෞද්ධයකු වූ පසු රාජ භෝජනය සඳහා මොනරුන් මැරීම තහනම් කළ නරපතියෙකි. එහෙයින් ඔහුගේ අසදෘස මිත්‍රයා මුව දඩයම් කළා යැයි කීම කෙසේ පිළි ගත හැක්කක්ද? එ පමණක් නොව බුදුපියාණන් වහන්සේ තෙවරක් මේ දිවයිනට වැඩම කොට දහම් දෙසා ඇත. සඟ පරපුරක් ඇති නොවීම නිසා බුද්ධ ශාසනය නො පිටිය ද බුදු දහම පිළිබඳ යම් අවබෝධයක් ලක්වැසියන් තුළ මේ වන විටත් චිත්ත සන්තානගත ව තිබුණාට සැක නැත.

මේ හැම කරුණක් පිළිබඳ ව ඉතා ඥානාන්විතව සලකා බැලීමේ දී වැටහී යන මූලික කරුණ වනුයේ තිස්ස රජු කෙසේවත් දඩයක්කරුවකු නම් නො වන බව ය. එසේ නම් “ දඩකෙළිය “ යන්න පිළිබඳව ද ලුහුඩින් හෝ විග්‍රහ කොට බැලීම උචිතය.

ඡ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස්කමේ යම් යම් ප්‍රගුණතා ඇති කිරීම උදෙසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර විධි ගොඩ නැගී ඇත. සම්මත වශයෙන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිහිපත් කරන සිංහල අලුත් අවුරුදු සැණකෙළිය මීට හොඳම නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකි ය. ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කලඹ වන වෙසක් පොහොය යෙදෙන්නේ මෙ වැනි ම ස්වභාව ධර්මයේ අසිරිමත් සිද්ධියක් මුල් කොට ගෙන ය. එනම්

සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - විසා නක්ෂත්‍රය

යන විශ්ව ස්වභාවික වස්තූන් අංශක 180 කෝණයක් නිර්මාණය කරමින් එක් සරල රේඛාවක පිහිටන විටය . මේ අයුරින් පොසොන් පොහොය යෙදෙන්නේ ද පෙර කී අන්දමට

සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - දෙට නක්ෂත්‍රය

අංශක 180 කෝණයක පිහිටන විටය . මෙ දින දෙට නැකතින් චන්ද්‍රයා මුල නැකතට පිවිසීම මුල් කොට ගෙන කැරෙන සැණකෙළි අවස්ථාවක් හින්දු ඡ්‍යොතිෂ්‍යයෙන් අනාවරණය වෙයි. එයයි “දඩකෙළිය “. දඩකෙළිය ක්‍රීඩාවකි. සැණකෙළිය, පොල්කෙළිය, පංචකෙළිය , ඔලිඳ කෙළිය ආදී වදන් ද සලකා බැලීම වටී. මේ සියල්ල ද ක්‍රීඩාය. දඩකෙළිය යන්නෙන් අදහස් වන්නේ සතුන් දඩයම නොව සතුන් හඹා යාමයි. සතුන් වටකොට ඒකරාශීව කිට්ටුවීමේ දී මැදි කර ගන්නා සතා කිසිවකු අසලින් පැන යයි ද ඔහු එම සතා හඹා යා යුතුය. එම ක්‍රීඩාව දඩකෙළිය නමින් හැඳින්වේ. ප්‍රස්තුත දින මැදි වූ මුවා පැන ගොස් ඇත්තේ තිස්ස රජු අසලින් විය යුතුය.

ලෝකයේ ඇතැම් රටවල දැනුදු පවත්නා ගොන් පොර කුකුළු පොර අස්ව රේස් ඔටුරේස් සුනඛ රේස් ආදිය ද ඒ ඒ සංස්කෘතීන් යටතේ පවත්නා මෙ වන් ක්‍රීඩා ය. පෙර කී පරිදි තිස්ස රජු ට ද හතළිස් දහසක් සමග “දඩයම් “ කළ නොහැකි වුවත් “ දඩකෙළිය “ නම් වූ සැණකෙළිය පැවැත්වීමට නම් දහස් සංඛ්‍යාත පිරිස බාධාවක් නො වේ.

මේ අනුව බලන විට කවදා හෝ දිනෙක කවුරුන් අතින් හෝ සිදූ වූ වරදක් නිසා මේ සාවද්‍ය චින්තාවලිය ගොඩ නැගී තිබෙන බව පෙනේ. එම වරද නිවරද කර ගැනීමට දැන් සුදුසු කාලය එළඹ ඇති බව සටහන් කරමි.

මගේ සන්තානය තුළ මේ අදහසෙහි බීජය රෝපණය කළ දෙල්ගොඩ, උඩුපිල ඡ්‍යොතිර්විද්‍යා විශාරද ඩබ්ලිව්.ඒ.ඩී.ඒ. වික්‍රමසිංහ සූරීන්ට කෘතඥතාව පළ කරමින් ලිපිය අවසන් කරමි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.