Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් සඳ ගෙවී යත්ම, පොසොන් සඳ උදාවෙත්ම ශ්‍රී ලාංකේය සැදැහැති බොදුනුවාගේ මනසට නිරන්තරයෙන් සිහියට නැගෙනුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ඓතිහාසික ලංකා ගමනයයි. එසේම පොසොන් සඳේ රැස් කිරණෙන් බැබළෙන ඓතිහාසික මිහින්තලා පුදබිමයි.

වීතරාගී තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසරක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය දෙලොවම යහපත සුවසෙත උදාකර දෙයි. ඒ අසිරිමත් සම්බුදු දහමේ පණිවිඩය ලක්වැසි ජනතාව වෙත තිළිණ කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ ඓතිහාසික මිහින්තලා පුදබිම නා නා වර්ණයෙන් අලංකාර විදුලි බුබුළු මගින් බබළවනුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී නාමයට පිදෙන බැති පුජෝපහාර ලෙසිනි. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටි එදවස මිහින්තලා කන්දෙන් පැන නැගී සිරිලක පුරා දස දෙසට විහිදී ගලා ගිය ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහම් අමා ගංඟාව ගම් දනව් වෙත ද ලැබිණ. ඒ නිසාම අහස් කුස සිපගන්නා වැනි මහ දාගැබ් තැනවිණි. වැව්ද ඉදිවිනි. වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය ඒ නිසාම අතීත හෙළයාගේ සංස්කෘතිය පෝෂණය කළේය.

සම්බුදු දහමේ ආලෝකයෙන් එකලු වී නිර්මාණය වුණු සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිරීමට මුල් වුයේ එම ඓතිහාසික මහින්දාගමනයයි. මෙරට හැම යස ඉසුරකටම මුල්වුණු බුදුසමය නිසා අනඟිතම සමාජ පෙරළියක්. බුද්ධි විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක්, ආගමික උද්‍යෝගයක් ඇතිවිණ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සදහම් මිණි පහන දල්වා සිරිලක ඒකාලෝක කළහ. ලංකා ධරණීතලයේත්, හෙළයන්ගේත් අසිරිමත් මහින්දාගමනයත් සමග ඇතිවුණු බෞද්ධ ප්‍රභාවෙන් දීප්තිමත් නොවුණු එක අංශයක් හෝ ඇතැයි කිව නොහැකිය.

මේ අති උතුම් පොසොන් පුන් පොහෝදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරන හැම හදවතකම මහත් පින් සිතිවිලි පහළ වනු ඒකාන්තය.

එදා මිහින්තලාව කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් සතුරු උපද්‍රව මෙන්ම වනය ගිල ගැනීම හේතුවෙන් ජනශූන්‍ය ප්‍රදේශයක් වූයෙන් අතීතයේ වන දුර්ග ගිරිදුර්ග ආයාසයෙන් තරණය කරමින් රාත්‍රී කාලයේදී හුළු අතු ආලෝකයෙන්ද සැදැහැවත් ජනතාව ඓතිහාසික මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීමට අමතක නොකළහ. බුද්ධාලම්භන පී‍්‍රතියෙන් වැඳ පුදා ගනිමින් එම ඓතිහාසික පුදබිමේදී ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවීමට මිහින්තලා පුදබිමට බැතිමත්හු පැමිණියහ.

එදා විදුලි ජනක යන්ත්‍ර භාවිතයෙන් ඇරැඹුණු මිහින්තලා ආලෝක පූජාව වසරෙන් වසර ඉදිරියට පැමිණ අද වන විට 47 වන අදියරට පැමිණ තිබේ. පත්තර මහ ගෙදරින් දැයේ නැණ පහන් දැල්වීමට අමතරව සිදු කැරෙන මිහින්තලා ආලෝක පුජාවේ ඵලදායිත්වය හා අර්ථවත් බවද වර්ධනය වීමත් සමග ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට දායකත්වය දීමට තවත් ආයතන ඉදිරිපත් විය. ඒ අනුව මිහින්තලා ආලෝක භාරය බිහිවිය. මිහින්තලා විහාරාධිපති නාහිමියන්, ලංකා විදුලිබල මණ්ඩලය , මහා භාරකාර දෙපාර්තමේන්තුව, ලේක්හවුස් ආයතනය සමග ඒකරාශි වී ක්‍රමවත්ව ආලෝක පුජාව සිදු කිරීමට දරන වෙහෙස අපමණ ය.

මිහින්තලා ආලෝක භාරය මිහින්තලා ආලෝක පූජාවට අමතරව තව තවත් පුණ්‍ය කටයුතු වලද නිරත වේ.

1989 උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් 125 දෙනකු සහභාගි කරවා ගෙන පොසොන් පෝදා මිහින්තලා පුදබිමේදී සීල සමාදාන පින්කමක් ඇරැඹීය.

එම සිල් සමාදන් වන දරුවන් වෙත සිල් රෙදි මෙන්ම දානාදියද පිරිනැමීම වාර්ෂිකව සිදු කැරේ. මේ වන විට සීල සමාදානයට සහභාගි වන දරු දැරියන් සංඛ්‍යාව පන්සියයක් ඉක්මවා ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක්ද , උතුරු මැද පළාතේ පාසල් දරුවන් අතර කථික තරගයක්ද මිහින්තලා ආලෝක පුජා උළෙල නිමිත්තෙන් ‘බුදුසරණ’ පත්‍රය මඟින් වාර්ෂික පවත්වනු ලැබේ.

තරග ජයග්‍රාහකයන්ට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය, ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානය, හා බුදුසරණ සම්මානය ප්‍රදානය කැරේ.

උතුරු මැද පළාතේ පාසල් දරුවන් ගේ අධ්‍යාපන තත්වය වර්ධනය කිරීම සඳහා මිහින්තලා ආලෝක භාරය 1990 සිට මෙහෙවර රැසක් සිදු කර ඇත. කම්මලක්කුලම ගමට විදුලිය ලබාදීම, කම්මලක්කුලම විදුහලට විද්‍යාගාරයක් ලබාදීම මිහින්තලා මහ විදුහල් භූමියේ ‘බුදුසරණ’ දහම් පුස්තකාලය පිහිටුවීම ආදිය ඉන් සමහරකි.

1992 මිහින්තලා රෝහලට මාතෘ නිවාසයක්ද 1993 මිහින්තලා කනිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක්ද 1994 දී කුරුන්දන්කුලම විදුහලේ වඩු කාර්මික වෘත්තීය පුහුණු වැඩමුළුව ඇරැඹීමද මිහින්තලා ආලෝක භාරයේ සේවාවන් අතර වේ.

කටුපොත ග්‍රාමයේ උතුරු පාසලක්ද ඇරැඹුණි. මිහින්තලා ආලෝක පූජාව මිහින්තලා ආලෝක භාරය ඔස්සේ ශක්තිමත් වෙමින් ඉටුකර ඇති හා ඉටු කරනු ලබන ආගමික මෙන්ම ජාතික මෙහෙවර පැසසිය යුතුවේ.

වාර්ෂිකව පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව පොසොන් පොහොය නිමිත්තෙන් මෙවර ද තෙදිනක් පුරා පැවැත්වේ.

මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක නාමල් වැවේ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි 47 වන වරටත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලංකා විදුලි බල මණ්ඩලය හා එක්ව ජුනි මස 6 , 7 සහ 8 යන තෙදින පුරා මිහින්තලා ආලෝක පුජා උළෙල පවත්වයි.

එම ආලෝක පූජා මහෝත්සවයට සම්භාවනීය රාජ්‍ය අමුත්තන් රාශියක් ද, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද සහභාගිවීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.