Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු නැගෙනහිර දෙ පළාතේ ප්‍රධාන සංඝ නායක අභිනව නාහිමි

කන්තලේ සීනිපුර ශ්‍රී ඤාණවිමල පරිවේණාධිපති සහ සීනිපුර විහාරය, හැඩිගල්ල ශ්‍රී රත්නාරාමය, ජයන්තිගම ශ්‍රී ජයබෝධි විහාරය යන

විහාරත්‍රයාධිපති, ශාස්ත්‍රවේදී, සද්ධර්ම කීර්ති ශ්‍රී සිරි රතනාභිධාන කඹුරාවල රතනපාල නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය ජුනි 1 වන දා කන්තලේ සීනිපුර ශ්‍රී ඤාණවිමල පිරිවෙනේ දී පැවැත්වේ.

 

සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

කන්තලේ, සීනිපුර ශ්‍රී ඥාණවිමල පිරිවෙන්හි පරිවේණාධිපති විහාරාධිපති, ශාස්ත්‍රවේදී කඹුරාවල රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් උතුරු නැ‍ෙගනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය රාජකීය පණ්ඩිත, සාහිත්‍යශූරී , ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමාගේ සහභාගිත්වයෙන් කෝට්ටේ රාජමහා විහාරස්ථ උපෝසථාගාරයේදී මෙම 31 වනදා පස්වරු 3.00 ට සිදුකෙරේ.

අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවය 2009 ජුනි 1 වනදා පෙරවරු 9.30 ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහ දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සීනිපුර ශ්‍රී ඥාණවිමල පිරිවෙනේදී සිදු කෙරේ.


අධිෂ්ඨානයෙන් කැපවීමෙන් මහ මෙහෙවරක් කරනවා

කන්තලේ, සීනිපුර ශ්‍රී ඤාණවිමල පිරිවෙන්හි පරිවේණාධිපති, විහාරාධිපති , ශාස්ත්‍රවේදී කඹුරාවල රතනපාල ස්ථවිරයන් වහන්සේට “සද්ධර්මකීර්ති ශ්‍රී සිරිරතන “ යන ගෞරව නාමය සහිතව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය පිරිනැමෙන මොහොතේ පණිවිඩයක් ලබා දීමට හැකිවීම අපගේ බලවත් අමන්දානන්දයට හේතුවේ. බදුරලිය , කඹුරාවල ප්‍රදේශයේ පදිංචි කේ.ඩබ්.ජිමෝනිස් හා කේ.ඩී. ලීලාවතී යන දම්පතීන්ට දාව මෙලොව එළියදුටු මේ පින්වත් කුමරුවා 1964 ඔක්තෝබර් 01 දින ආභිධම්මික ඕමත්තේ සිරිරතන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනේදී ප්‍රවෘජ්ජා භූමියට පත් විය.

ප්‍රාචීන ප්‍රතිචීන භාෂාවන්හි මනා පරිචයක් ලැබූ කඹුරාවල රතනපාල ස්ථවිරයන් වහන්සේ කන්තලේ දෙහිවත්ත විද්‍යාලයට පත්වීමක් ලැබ ගියේ ත්‍රස්තවාදය දරුණුව පැවැති වකවානුවේය . එතැන් සිට මේ දක්වා කෙතරම් දුෂ්කරතා පැමිණිය ද ඒ සියල්ල ඉවසා දරා ගනිමින් නැගෙනහිර පළාත තුළ සිදුකරන ශාසනික, ජාතික හා අධ්‍යාපනික මෙහෙවර ප්‍රශස්තය. නව විහාරස්ථාන ඇති කරමින් ශිෂ්‍යයන් වහන්සේ තනමින් දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් පළාතේ හා යුගයේ අවශ්‍යතා හඳුනා ගෙන විශාල කාර්යභාරයක් ඉටු කිරීම අපගේ සතුටට කරුණකි. භාෂාඥානයත්, ධර්මඥානයත්, කාර්යශූරත්වයත්, පරාර්ථචර්යාවත්, පරිත්‍යාගශීලිත්වයත්, උදාර චරිත ශක්තියත් උන්වහන්සේගේ පැවිදි ජීවිතය ආලෝකමත් කරයි. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන කඹුරාවල රතනපාල ස්ථවිරයන් වහන්සේට නිදුක් නීරෝගිතාව හා චිරජීවනය ලැබේවායි ආශිර්වාද කරමි.


භේද නැති සේවය නායකත්වයට ඔසවා තැබුවා

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරන භික්ෂූන් වහන්සේට දේශසීමා හෝ වෙනත් සීමා කිසිවක් නැත. තම ජන්ම භූමිය තුළ පමණක් නොව දේශ දේශාන්තරවලද වැඩමවමින් බහුජන හිත සුව සඳහා කටයුතු කිරීම භික්ෂූන් වහන්සේට මුලසිටම බුදුරජාණන් වහන්සේගෙන් පැවරී ඇත. ඕනෑම දුෂ්කරතාවක් විඳ දරාගෙන සේවයම මුල් තන්හිලා කටයුතු කිරීමද භික්ෂූන් වහන්සේට ඓතිහාසික වශයෙන් ලැබී ඇති උරුමයකි. පුණ්ණ තෙරුන්ගේ සිද්ධිය වසර දහස් ගණනක ශාසන ඉතිහාසය නැවත නැවතත් ආලෝකවත් කරන්නේය.

කඹුරාවල රතනපාල ස්ථවිරයන් වහන්සේ බහුජන හිතසුව සඳහා කරන සේවය ප්‍රශංසනීය එකකි. කඹුරාවල වැනි ප්‍රදේශයක ජන්ම ලාභය ලැබීමෙන් පසුව බෙල්ලන ධර්මපාල පරිවේනස්ථානයෙන් ශාසනික පැවිදි ජීවිතය , ඔපවත් කරගත් රතනපාල ස්ථවිරයන් වහන්සේ පුළුල් සේවය සඳහා තෝරා ගත්තේ දුෂ්කරතාවලින් පිරී ඉතිරී ගිය කන්තලේ වැනි ප්‍රදේශයකි. අභිනවයෙන් විහාරස්ථාන ආරම්භ කරමින්ද, ගිහි පැවිදි දෙපක්ෂයේම යහපත සඳහා විද්‍යාස්ථාන අභිනවයෙන් ආරම්භ කරමින්ද ප්‍රදේශයට මෙතෙක් කර ඇති සේවාව අති විශාලය.

නායකත්වය තමන් විසින්ම ගොඩ නගා ගන්නකි. රතනපාල ස්ථවිරයන් ප්‍රදේශයේ නායකත්වයක් ගොඩ නගාගෙන ඇත. එය අගේ කරන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම ධර්ම මහා සංඝ සභාව උතුරු - නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය සම්මත කරන්නට යෙදුණි. මෙතෙක් කරන ලද ශාසනික, ආගමික, ජාතික, සාමාජික සේවාවන් තව දුරටත් වඩාත් ශක්තිමත්ව කර ගෙන යාමට මෙම පදවියත් සුවිශාල ආශිර්වාදයක් වේවායි සතුටු සිතින් ප්‍රාර්ථනා කරමි.


පළාතට සම්පතක් සුදුස්සාට සුදුසු තැන

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමාගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය, ශාස්ත්‍රවේදී , පණ්ඩිත කඹුරාවල රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වෙත පිරිනැමීම සුදුස්සාට සුදුසු තැන ලබා දීමත් ලෙස මම දකිමි. පැවිදි ජීවිතයට අවශ්‍ය ශික්‍ෂණයත් ධර්ම ඥානයත් හොඳින් ලබා ඇති උන්වහන්සේ ප්‍රදේශයට පළාතට මහඟු සම්පතකි. පිරිවෙන් ගුරුවරයකු ලෙස ගුරු සේවයට එක් වූ උන්වහන්සේ පාසලේ උපගුරුවරයකු , නියෝජ්‍ය විදුහල්පතිවරයකු, විදුහල්පතිවරයකු, වර්තමානයේ පරිවේණාධිපතිවරයකු වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදුකර ඇති සේවාව අතිවිශාලය.

ප්‍රදේශයේ දූ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙමින් අසරණ දූ දරුවන්ගේ ජීවිතාලෝකය ඇති කරන කඹුරාවල රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්පුරුෂයෙකි. ඉවසීම හොඳින් පුරුදු කර ඇති උන්වහන්සේ පළාතේ සංඝ සාමාගි‍්‍රය වෙනුවෙන් කැප වී ක්‍රියා කරන තෙරනමකි. ශ්‍රී සුදර්ශි දහම් පාසල ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් ලෙසින් පවත්වාගෙන යමින් සිදුකරන මෙහෙය ද සුලුපටු නොවේ. අසරණයන් වෙනුවෙන් විවිධ පරිත්‍යාගයන් සිදු කරන, පළාතේ ආගමික හා ජාතික ප්‍රබෝධය ඇති කරනු වස් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන කඹුරාවල රතනපාල නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ලෝකාර්ථචර්යාවේ යෙදෙන්නට තව තවත් ශක්තිය ලැබේවා.


අධ්‍යාපන ක්ෂේත්‍රයට මහ මෙහෙයක් ඉටු කළා

කන්තලේ, සීනිපුර ශ්‍රී ඤාණාවිමල විහාරාධිපති හා පරිවේණාධිපති, ශාස්ත්‍රවේදී ගෞරවාර්හ කඹුරාවල රතනපාල නායක ස්වාමීන් වහන්සේ වෙත උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇති බව අසා මම බලවත් සතුටට පත්වීමි.

වර්ෂ 1952 දෙසැම්බර් මස 25 වන දින ජන්ම ලාභය ලැබ, වර්ෂ 1964 ඔක්තෝබර් මස 01 වන දින ප්‍රව්‍රජ්‍යා භූමියට පත් උන් වහන්සේ, වර්ෂ 1972 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන් වහන්සේ, ආචාර්යවරයෙකු නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, විදුහල්පතිවරයෙකු, හා පරිවෙණාධිපතිවරයෙකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටු කළහ.

සීනිපුර ශ්‍රී ඤාණවිමල පිරිවෙන, ජයන්තිගම ජයබෝධි විහාරය, ශ්‍රී ලංකා නිප්පොන් ශිෂ්‍යත්ව මධ්‍යස්ථානය පිහිටුවීම, ශ්‍රී සුදර්ශී දහම් පාසල හා පුස්තකාලය ආරම්භ කිරීම මම බෙහෙවින් අගය කොට සලකමි.

සම්බුදු සසුනට අනල්ප මෙහෙයක් ඉටුකරන, සුවිශාල සමාජ සේවාවන් රැසක නිරත වී සිටින ගෞරවණීය ඔබ වහන්සේ විසින් ඉටු කරනු ලබන උදාර මෙහෙවර යුගයේ අවශ්‍යතාවක් මෙන්ම සැමට මහත් ආදර්ශයකි.

අභිනව සංඝනායක පදවියෙන් පිදුම් ලබන ගෞරවාර්භ කඹුරාවල රතනපාල නායක ස්වාමීන් වහන්සේට එම තනතුරේ කටයුතු සාර්ථකව ඉටු කිරීමට හා දැයටත්, සම්බුදු සසුනටත් අප්‍රමාණ සේවයක් කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, චිර ජීවනයත්, තෙරුවන් සරණින් ලැබේවා! යි මෙත්සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


ඒ ජනතාව නගාසිටුවන්න මේ තනතුර අනුබලයක් වේවි

අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාව විසින් කන්තලේ සීනිපුර ශ්‍රී ඤාණවිමල පරිවේණාධිපති පූජ්‍ය කඹුරාවෙල රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව මාගේ සුභාශිංසනය පුදකරමි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කරගෙන යන වත්මන්හි එහි වෙසෙන ජනතාවගේ මානසික සංවර්ධනය හා අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන ඉමහත් කාර්යභාරය වඩාත් ඵලදායි හා කඩිනම් කිරීමට අභිනව නායක පදවිය මහත් අනුබලයක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කඹුරාවෙල රතනපාල නායක හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිරජීවනය උදාවේවා!යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.