UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්ත පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය


එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මහා නා හිමි


රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරයේ
ඉදිකර නිම වෙමින් පවතින
ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ
 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ මහානායක පදවියෙන් පිදුම් ලබන රම්බඩගල්ල විද්‍යා සාගර පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශලංකාර විනය කීර්ති ශ්‍රී පරියත්ති විශාරද කම්මවාගාචරිය ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මහා නා හිමිපාණන් වහන්සේ වෙත එකී පදවිය පිළිබඳ අක්ත්‍ර පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මැයි මස 26 අඟහරුවාදා සවස 4.30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී (බී ශාලාව) පැවැත්වෙයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද සංස්කෘත භාෂා විශාරද අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර මහා නා හිමිපාණන් වහන්සේගේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

 

 


ප්‍රසාදයට හේතුවක්

ශ්‍රී ලංකාද්වීපයේ දසත පැතිරී ඇති විහාරස්ථානවල වැඩවෙසෙමින් සාමාන්‍ය ජනතාව සුමගට යොමු කරවා ජාතික ආගමික , ශාසනික, අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මහා සංඝයා වහන්සේට ඒ ඒ අවස්ථානුකූලව මේ රටේ පවතින විවිධ නිකායයන් සහ පාර්ශ්වයන් මගින් සුදුසු ඨානාන්තර පිරිනැමුයේ පොදුවේ ශාසනික අභිවර්ධනය සඳහා එය බෙහෙවින් හේතු සාධකයක් වූ නිසාවෙනි. එයට අනුගත වෙමින් අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික මහා නිකායේ කාරක මහා සංඝ සභාව විසින් ස්ව නිකායේ මහා නායක පදවි ඨානාන්තරය, ජිනවර වංශපාල ධර්මකීර්ති ශ්‍රී යන ගෞරව නාමාන්විතව රම්බඩගල්ල, මොනරාගල විද්‍යා සාගර මහා පිරිවෙනාධ්‍යාක්‍ෂක එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි නායක ස්ථවිරයන් වහනසේ වෙත පත් කර ඇති අතර එය එම නිකායෙහිද පොදුවේ මේ රටෙහිද ශාසනික උන්නතිය සඳහා හේතු වන්නකි.එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මහානායක ස්ථවිරයන් වහන්සේ මෑත භාගයේ වෙනත් කිසිදු හිමිනමකට ඉටුකළ නොහැකි වූ සුවිශේෂී කාර්යයක් සිදුකරන්නට ආරම්භක පදනම සකසා එය කිසියම් ඵලදායක මට්ටමකටද පත් කර ගත් ස්ථවිරයන් වහන්සේ නමකි. ස්වකීය විහාරස්ථානයේ ස්වාභාවිකව පිහිටි ගල් පර්වතයක මනස්කාන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීම මගින් එම සුවිශේෂී කාර්යයට තම ශ්‍රම ශක්තිය සහ කාලයද යෙදවූ උන්වහන්සේ මුළු මහත් භික්‍ෂු සමාජයට පූර්වාදර්ශයක් ලබාදුන්හ. එපමණකුදු නොව මෙම නායක ස්ථවිරයන් වහන්සේ මේ ප්‍රදේශයට මෙන්ම පොදුවේ රටටත් වඩාත් අගය කළ හැකි ජාතික, ආගමික, ශාසනික සේවාවක් ඉටු කරන ස්ථවිරයන් වහන්සේ නමක්ද වන අතර මෙබඳු විවිධ කරුණු සලකා බලා එම ස්ථවිරයන් වහන්සේට ස්ව නිකායේ මහානායක පදවිය පත් කිරීම සහ ඒ වෙනුවෙන් සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවයක් සංවිධානය කිරීම , ගිහිපැවිදි උභය පක්‍ෂයේම ප්‍රසාදයට හේතුවන්නකි. මෙතෙක් මෙම නායක ස්ථවිරයන් වහන්සේ සිදු කළ එම කාර්යයන් තවදුරටත් ශක්තිමත්ව ඉටු කිරීමට මෙම මහා නායක පදවි ඨානාන්තරයද ඉවහල් වනු ඇතැයි යන්න අපගේ ඒකායන විශ්වාසයයි. තෙරුවන් සරණින් හා ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයත් එම සියලු කාර්යයන් පෙරටත් වඩා ඵලදායක අන්දමින් සිදුකිරීමට මෙම මහානායක ස්ථවිරයන් වහන්සේට ආයුරාරෝග්‍යාදී සම්පත් සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක අස්ගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති
උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි
රතනපාල බුද්ධරක්‍ඛිත මහ නා හිමි



සිල්වත් බවින් හා තපෝ ගුණයෙන් පිරිපුන්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉතිහාසය වසර දෙසීයයකට වඩා ඈත අතීතය තෙක් විහිදී යයි. කිතුවසින් 1753 දී වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ විසින් ලක්දිව සියම් මහා නිකාය පිහිටුවා වසර 50 කට පමණ පසු අතිපූජ්‍ය අඹගහපිටියේ ඥාණවිමල තිස්ස මාහිමියන් විසින් අමරපුර නිකාය පිහිටුවා වදාළ බව සඳහන් වෙයි. සමාරම්භයේදී එකම නිකායක්ව පැවති අමරපුර නිකාය පසුව විවිධ හේතූන් මුල්කොට පාර්ශ්ව ගණනාවකට බෙදී ගිය බව පෙනේ.

එසේ වෙන්ව ගිය පාර්ශ්වයන් අතර කිතුවසින් 1900 අපේ‍්‍රල් මස 29 වෙනි දින බෝම්ඹුවල සුබෝධිරාජාරාම මහා විහාරයේදී පිහිටුවා ගන්නා ලද අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකාය සියක් වසකටත් වඩා රට ජාතිය හා සසුන වෙනුවෙන් ඉටුකළ සේවය උදාරය.

තත් නිකායේ මහනායක පදවිය සඳහා මෙවර තේරී පත්වී සිටින්නේ කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ අමරමෝලි ස්ථවිරපාදයන් වහන්සේයි.

පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර පිළිබඳ බුද්ධිමතෙක් වූ උන්වහන්සේ සිල්වත් බවින් හා තපෝගුණයෙන්ද අගතැන් පත් ව සිටී. රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙනේ උන්වහන්සේ විසින් ඉදිකරවනු ලබන මහා ශෛලමය ප්‍රතිමාව ලෝකයේ මෙතෙක් වූ සුවිශාලම ශෛලමය ප්‍රතිමාව යනු මාගේ හැඟීමයි. එය ශාසන වංශ කථාවේ රන් අකුරින් ලියැවෙන්නකි.

නිකායේ මහා නායක පදවියෙන් පිදුම් ලබන අමරමෝලි ස්ථවිර පාදයන් වහන්සේට සියවසක් කල් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් වේවායි පතමි.


තනතුර බබළවන්නට සමත්

උසස් තනතුරු නිසා ඒ තනතුරු දරණ උතුම් පුරුෂයෝ බබළති. උතුම් පුරුෂයන් නිසා ඔවුන් දරණ ඨානාන්තරයෝ බබළති. අප ජීවත්වන ලෝකයෙහි මේ දෙයාකාරයෙන් ම තනතුරු සහ ඒ උසස් තනතුරු දරණ පුද්ගලයන් බබළන බව දැකිය හැකිය. මේ දෙයාකාරය ම එක් වූ තැන ඒ පිරිස, ඒ දේශය, ඒ රට , ඒ සංස්ථාව දීප්තිමත්ව බබළන බව කිවයුතු කරුණක් නොවේ. එසේ වුවද තනතුරු නිසා ම බබළන පුද්ගලයන් ද දක්නට ලැබේ. එසේම උසස් තනතුරු වලට නුසුදුසු පුද්ගලයෝ ද ඇතැම් අවස්ථාවල දී තනතුරු දරති. එයින් දරණ තනතුරත් එකී සංස්ථාවත් ප්‍රපාතයට ඇද වැටෙන්නේය.

එවන් අයුරින් සලකා බලන විට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංස සද්ධම්මයුත්තික පාර්ශ්වයේ මහානායක පදවියට පත්කර ගන්නා ලද කුරුණෑගල රම්බඩගල්ල , විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී, පණ්ඩිත එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මහතෙරපාණන් වහන්සේ ද තමන් වහන්සේ නිසා තනතුර බැබළ විය හැකි මහානාහිමි නමක් බව සඳහන් කළ යුතුය. උන්වහන්සේ සිල්වත් ය. ගුණවත් ය. නැණ නුවණින් යුක්ත ය. සරසවි අධ්‍යාපනය ද නිමකළ කෙනෙකි. ධර්ම විනය දෙක පිළිබඳව හසල දැනුමක් ද ඇත. මේ සියල්ල පරයන තරමට අමරමෝලි මහනාහිමියෝ ධෛර්යය සම්පන්න උත්තමයෙකි. රටක මහරජ කෙනෙක් කරන වැඩ උන්වහන්සේ හුදෙකලාව සිදුකෙරෙති. ඒ ගුණය අගය කරන සිංහල, ද්‍රවිඩ, බෞද්ධ, අබෞද්ධ පින්වත්හු උන්වහන්සේට ගරු කරති. උදව් කෙරෙති. රම්බඩගල්ල, පිහිටි මහ කලුගලෙක අසූරියන් උස මහා බුද්ධ ප්‍රතිමාවක් නෙලා දැනට නිමවෙමින් පවතී. මේ මහා අසදෘෂ ශාසනික පුණ්‍ය කර්මය එසේ මෙසේ කෙනකුට නො කළ හැකිය. එයින් ම එගොඩමුල්ලේ අමරමෝලි මහනාහිමිපාණන් වහන්සේ ගේ කෘතහස්ථ බව බුද්ධිමත් බව මැනවින් පැහැදිලි වන්නේය.

ශාසනික වශයෙන් ද ජාතික වශයෙන් ද ඓතිහාසික සත් ක්‍රියාවන්හි යෙදී සිටින නිහතමානී, සුපේශල ශික්‍ෂාකාමි මුන් වහන්සේට අමරපුර අරියවංස සද්ධම්මයුත්තික පාර්ශ්වයේ මහානායක පදවිය පිරිනැමීම, එකී ගරුතර කාරක සංඝ සභාව විසින් ගන්නා ලද බුද්ධිමත් නිගමනයක් බව පැවසිය යුතුව තිබේ. මෙවන් මහතෙරුන් වහන්සේලා ඒ ඒ උසස් ඨානාන්තරවලට පත්වීම බුද්ධ ශාසනය ප්‍රභාමත් වීමට වඩ වඩාත් හේතු වන්නේය. මහානායක පදවියෙන් පිදුම් ලැබූ ශ්‍රී අමරමෝලි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පතින් යුතුව තව තවත් ශාසනයටත්, රටටත්, ලෝකයටත්, සේවය කිරීමට පූර්ණ මහජන සහයෝගය නො අඩුව ලැබේවා! යි ප්‍රාර්ථනා කරම්හ.


සසුන බබළවන්නට දිගාසිරි ලැබේවා!

අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන පූජ්‍යපාද එගොඩමුල්ලේ අමරපෝලි මහානාහිමිපාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශයෙන් පිරිපුන් ගුණ වෘද්ධ තපෝවෘද්ධ පඩිවරයෙකි. සියදහස් ගණනක් එක් වී වුවද මේසා කෙටි කලකදී කළ හැකැයි සිතිය නොහැකි උන්වහන්සේ ස්වශක්තියෙන් නිමාව දකිමින් සිටින යෝධ ශෛලමය ප්‍රතිමාව උන්වහන්සේගේ සිල් ගුණය හා උට්ඨාන වීර්යය හා බුදු බැති නිසාම ගොඩනැඟුන බව මගේ විශ්වාසයයි. බුදුපිළිමය ලෝකයෙන් අතු ගා දමන්න අධම අන්තවාදී පිරිසක් ඇෆ්ගනිස්ථාන් බබිසාන් බුදුපිළිමය දෙදරවා මහපොළොව මත ඇදහෙළද්දී ඒ හෙළදිවයෙහි මුළුමහත් බෞද්ධලෝකයාගේම ඇසහැරවන්නට සමත් මෙත් කරුණ මුදිතා ගුණ වඩවාලන දැවැන්ත බුදුපිළිමයක් නෙළන්නට අපේ අමරමෝලි නාහිමියන් ගත් තැත අගය කරන්නට වචන ඇතැයි නොසිතමි.

එහෙයින් මේ අද්විතිය මහා ප්‍රතිමා කර්මාන්තය නිමවා අපේ මහාවංසයට රන් පිටුවක් එක්කරන බෝසත් ගුණ වඩන අමරමෝලි මාහිමියන් මෙසේ අප නිකායේ මහානායක පදවියෙන් පුදන්නට ලැබීම මුළුමහත් බෞද්ධ ලෝකයාගේම පැසසුමට ලක්විය යුත්තකි. සම්බුදු සසුන බබළවන්නට උන්වහන්සේට සියක්වස්කල් නිදුක් නිරෝගි දිගාසිරි සම්පත් ලැබේවා.


උතුම් සංඝ පීතෘවරයන් වහන්සේ නමක්

කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත, විනය කීර්ති ශ්‍රී අතිගෞරවාර්හ එගොඩමුල්ලේ අමරමෝලි නායක ස්වාමීන් වහන්සේ වෙත අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහානායක පදවිය පිරිනමා ඇති බව අසා මම බලවත් සතුටට පත්වීමි.

වර්ෂ 1900 දී කළුතර බෝම්බුවල සුබෝධීරාජාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලද අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකාය, ගෞරවාර්හ බෝම්බුවල දස්සනසාර මාහිමිපාණන් වහන්සේ, ගෞරවාර්හ මහාචාර්ය ඇස්වත්තේ පේමරතන මාහිමිපාණන් වහන්සේ, අතිගෞරවාර්හ බෙල්ලන ශ්‍රී පේමානන්ද මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සඟ රුවනින් ජෝතිමත් වූ නිකායකි. එබඳු නිකායක අභිනව මහානායක ධූරයෙන් පිදුම් ලැබීම ඔබ වහන්සේ ලද භාග්‍යයක් කොට මම සලකමි.

අතීත රජ දවසින් පසු ලෝකයේ ඉදි වූ මහා ශෛලමය ප්‍රතිමාව වශයෙන් හැඳින්විය හැකි විද්‍යාසාගර පිරිවෙනෙහි ඉඳිකොට ඇති ප්‍රතිමා වහන්සේ අතිගෞරවණීය ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් ඉදි කිරීම මම කෘතවේදීව සිහිපත් කරමි.

සියලු ශාස්ත්‍ර ඥානයෙන් හා ගුණ දහමින් පරිපූර්ණ වූ අතිගෞරවණීය ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

ගිහි පැවිදි සැමට ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරමින් සැමගේ ප්‍රසාදය දිනා සිටින අතිගෞරවණීය ඔබ වහන්සේ සමාජය වෙනුවෙන් සපයන නායකත්වය ද ප්‍රශංසනීය වේ.

අභිනව මහානායක ධූරයෙන් පිදුම් ලබන අතිගෞරවාර්හ එගොඩමුල්ලේ අමරමෝලි මහානායක ස්වාමීන් වහන්සේට තමන් ඉටු කරන සියලු සද් කාර්යයන් තවදුරටත් ඉටුකර ගෙන යාමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, චිර ජීවනයත් , තිසරණ සරණින් ලැබේවා ! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


සිදුකරන සේවය අගයනවා

ක්‍රි.ව. 1753 දී වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් සියම් රටෙන් භික්‍ෂූන් ගෙන්වා සිරිලක සියම් මහා නිකාය පිහිටුවා අර්ධ ශත වර්ෂයකට පසු එනම් කිතුවසින් 1803 දී වැලිතර අඹගහපිටියේ ඤාණවිමල තිස්ස මාහිමියන් විසින් බුරුම රට අමරපුර නුවරින් පැමිණි අග්ගසාර නම් තෙරුන් ඇතුළු බුරුම භික්‍ෂූන් ලවා බලපිටිමෝදර ගඟෙහි උපසම්පදා විනය කර්මයක් සිදු කිරීමෙන් අනතුරුව අමරපුර නිකායෙහි සමාරම්භය සිදු වූ බවත්, මුලදී එක් නිකායක්ව පැවති අමරපුර නිකාය විවිධ හේතුන් මුල්කොටගෙන පසුව ශාඛා ගණනකට බෙදී ගිය බවත් ප්‍රකටය.

එසේ බෙදීගිය ශාඛාවන් අතර ක්‍රි.ව. 1900 අපේ‍්‍රල් මස 29 වෙනි දින කළුතර බෝම්බුවල සුබෝධිරාජාරාම මහා විහාරයේ දී පිහිටුවා ගන්නා ලද අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකාය පුරා ශතවර්ෂයකට වඩා වැඩිකලක් සම්බුදු සසුනටත්, රටටත් ජාතියටත් උදාර සේවාවක් ඉටු කළ නිකායකි.

සසුන් කෙත හෙබවූ බෝම්බුවල දස්සනසාර , මහාචාර්ය ඇස්වත්තේ පේමරතන , බෙල්ලන ශ්‍රී පේමානන්ද වැනි වියත් මහ සඟරුවනින් ජෝතිමත් වූ එම නිකායෙහි වර්තමාන මහානායක පදවිය සඳහා මෙවර කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ ශ්‍රී අමරමෝලි මාහිමියන් තෝරා පත්කර ගැනීම සතුටට කරුණකි. සියලු ශාස්ත්‍ර ඥාණයෙන් හා ගුණ සුවඳින් මුළුමහත් දිවිමගම සපුරාගත් අමරමෝලි හිමිපාණන්ගෙන් සම්බුදු සසුන, රට ජාතිය, ආගම වෙනුවෙන් සිදුවන සේවය මම අගය කොට සලකමි. උන් වහන්සේ විසින් විද්‍යාසාගර පිරිවෙනෙහි ඉදිකොට ඇති මහා ශෛලමය ප්‍රතිමා කර්මාන්තය විශාලම ශෛලමය ප්‍රතිමාව වශයෙන් සැලකිය හැකිය. සඟ සසුනට ආදර්ශයක් බඳු අමරමෝලි මාහිමියන් වෙත අමරපුර සද්ධම්මයුත්තික නිකායේ මහානායක පදවිය පිරිනැමෙන මේ මොහොතෙහි උන්වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි සම්පත් ලැබේවා!යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

වෙසක් අමාවක පෝය
මැයි මස 23 වනදා සෙනසුරාදා අපර භාග 8.40 ට ලබයි. 24 වන ඉරිදා අපරභාග 5.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 24 වන දා ඉරිදාය.
මී ළඟ පෝය මැයි 31 වනදා ඉරිදාය

පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]