Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුද්ධ චරිතය හදුනා ගැනීමෙහිදී අවස්ථා දෙකක් අපට හමුවේ. එනම්, බුදුවීමට පෙර අවධිය සහ බුදුවීමෙන් පසු අවධිය වශයෙනි. බුදු වීමට පෙර අවධිය බෝධි සත්ත , මහාසත්ත, බුද්ධංකුර ආදි නම් වලින් හදුන්වනු ලැබේ. බුදුවීමෙන් පසු අවධිය බුද්ධ සම්බුද්ධ අභි සම්බුද්ධ සම්මා සම්බුද්ධ ආදී නම් වලින් හඳුන්වනු ලැබේ. බුද්ධ චරිතයේ මෙම අවස්ථා දෙක පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර
“අව්ගමනාර්ථ” බුධ් ධාතුවෙන් නිර්මාණය වී ඇති “බෝධි ශබ්දය “ ත්‍රිපිටක පාලියෙහි යෙදී ඇති ස්ථාන සැලකිල්ලට ගනිමින් අට්ඨකථාචරිය බුද්ධඝෝෂ මාහිමියන් බෝධි ශබ්දය අර්ථ හතරක යෙදෙන බව පෙන්වා දෙයි. වෘක්ෂය මාර්ගය සර්වඥතා ඥානය නිර්වාණය යන්න ඒ අර්ථ හතරයි. ම:නි අට්ඨ කථාවට අනුව බෝධි සංකල්පය පහත සඳහන් පරිදි විවරණය වී ඇත.

1.බෝධි රුක්ඛ මුලේ පඨමාභිසම්බුද්ධො

අන්තරාච බෝධිං අන්තරාච ගයං යන යෙදුම් වලින් ප්‍රකාශ වන්නේ බෝධි වෘක්ෂය යන අර්ථ යයි.

2. බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං යන තන්හි බෝධි ශබ්දයෙන් මාර්ග ඤාණය ප්‍රකාශ වෙයි.

3. පප්පොති බෝධිං වරභූරිමෙධසෝ යන තන්හි බෝධි ශබ්දය සර්වඥාතා ඥානය සඳහා යොදා ඇත.

4. පත්වාන බෝධිං අමතං අසංඛතං යන තන්හි බෝධි ශබ්දය නිර්වාණය සඳහා යොදා තිබේ.

මෙකී අර්ථ කථනයන් ගෙන් සමස්තය වශයෙන් සැලකෙන්නේ බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ උත්තරීතර ඥානය යි.
 


ප්‍රශ්නය
“බෝධිසත්ත “ බෝධිසත්ව යන පදයන් ගෙන් හැඳින්වෙන තැනැත්තා පිළිබඳව හදුන්වා දෙන්න.

පිළිතුර
බෝධිය හෙවත් මාර්ග ඥානය අවබෝධ කරගැනීම සඳහා උත්සුක වන පුද්ගලයා බෝධිසත්ව යනුවෙන් හැඳින්වේ. ඒ අනුව ත්‍රිවිධ බෝධිය පතන කවරෙකු හෝ කෙනෙකු වුවද ඒ ගණයට ඇතුලත් වේ. බෝධි සත්ව යනුවෙන් බොහෝ විට ව්‍යවහාර වන්නේ බුද්ධත්වය උදෙසාම කැපවුනු ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කැපවුනු කැප කරන උත්තමයාටය. ඒ අනුව බුද්ධ චරිතයේ අවස්ථා දෙකකදී බෝධි සත්ව යන්න භාවිතා කොට ඇති බව පෙනේ.

1. අතීත ආත්මභාවය නිරූපනය කිරීම සඳහා

2.මව්කුස සිටි අවස්ථා වේ සිට බුද්ධත්වය දක්වා ජීවන චරිතය විස්තර කිරීම සඳහා ම:නි අට්ඨ කථාවට අනුව මාර්ගඥානය සර්වඥතා ඥානය නිර්වාණය , අවබෝධ කිරීමට අපේක්ෂා කරන හෝ අවබෝධ කිරීමට සුදුසු හෝ මේ ධර්මයෝ මා විසින් පැමිණිය යුතු ධර්ම යෝ යැයි සිතා එහි නියැලුනු එහි බැඳුනු ඒ සඳහා බැහැර නොකළ විර්යයෙන් ක්‍රියා කරන තැනැත්තා බෝධි සත්ව නමින් හැඳින්වේ.


ප්‍රශ්නය
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ උපත සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දින වකවානු නිර්ණය කිරීමෙහිලා විද්වතුන් අතර එකඟතාවයක් නැත. ඒ පිළිබඳව වඩා නිවැරදි නිගමනයකට එළඹීම සඳහා දීපවංස මහාවංස යන ශ්‍රී ලාංකික මූලාශ්‍ර තොරතුරු ආශි‍්‍රතව සටහනක් ලියන්න.

පිළිතුර
බුද්ධ පරිනිර්වාණය ක්‍රි.පූ. 543 දී සිදුවූ බුද්ධි මතය නිසා එම මතය සම්මුතියක් සේ සලකා සිදුහත් උපත සිදු වූ දිනය ක්‍රි.පූ. 623 දී සිදුවූ බව පිළිගත යුතු වෙයි. පරිනිර්වාණය සිදුවන විට බුදුරදුන් අසූවන වියෙහි විසූ බව පිළිගත් මතයයි. ඒ බව සූත්‍රාගත තොරතුරු බිඳක් සටහන් කරතහොත් ම:නි. මහාසීහනාද සූත්‍රයෙහි එන පරිදි බුදුරදුන් එක් අවස්ථාවක සැරියුත් තෙරුන් අමතා මෙසේ පැවැසූ බව.

මම දැන් ජරාදුර්වල වූයෙමි. වෘද්ධයෙමි. මහලු වූයෙමි. කල් වයස් ගත වූයේ වෙමි. පැසුළු වියට පැමිණියෙමි. අසූවියට පත්වීමි.

අසූවියට පත් භාග්‍යවතුන් වහන්සේ එම වයසේම පිරිනිවන් පෑ බව, තවත් උන් වහන්සේ ගේම ප්‍රකාශයකින්ම තහවුරු වේ. “ පිරිනිවන් මංචකයෙහි වැදහොත් බුදුරදුන් හමුවීමට සුභද්ද නම් පරිබ්‍රාජක පැමිණියේය. ඔහු සමග සංවාදයෙහි යෙදෙමින්.

සුභද්ද කිං කුසල ගවේසීව එකුන් තිස්වන වියෙහි මම පැවිදි වූයෙමි. මා පැවිදි වී හරියටම දැන් පනස් වසරකටත් ටිකක් වැඩිය “ මෙසේ පවසා ඇත. මෙහි සඳහන් පරිදි අභිනිෂ්ක්‍රමණය එකුන් තිස්වන වියෙහිදී සිදුවිය.

එතැන් පටන් පිරිනිවන් පෑ අවස්ථාව වන විට පනස් වසරක් ඉක්මවා ටිකක් කල් පසුව තිබුණි. එවිට උන් වහන්සේ පසු වූයේ අසූවන වියෙහිය. පරිනිර්වාණය සිදුවූයේ යැයි සැලකෙන ක්‍රි.පූ. 543 සිට අසූවස ආපසු ගණනය කිරිමෙහිදී සිදුහත් උපත ක්‍රි.පූ. 623 දී සිදු වූ බව සම්මත වෙයි.


ප්‍රශ්නය
අසම උතුම් රත්නයක් වැනි ඒ බෝසතාණන් වහන්සේ මිනිස් ලොව හිතසුව පිණිස ශාක්‍ය ජනපදයෙහි ලුම්බිණී ග්‍රාමයෙහි උපන්හ. මේ සටහන ආදි බෞද්ධ ග්‍රන්ථයක් වන සූත්‍ර නිපාතයේ නාලක සූත්‍රයෙහි එයි. මේ සඳහනට අනුව බෝසත් උපත සිදුවූයේ ලුම්බිනියෙහිය. අසිරිමත් බෝ සිරිත ත් ලුම්බිණියත් පිළිබඳ කෙටි සටහනක් කරන්න.

පිළිතුර
වර්තමාන නේපාල රාජ්‍යයට අයත් ලුම්බිණිය කෝසලයේ අගනුවර වූ ශ්‍රාවස්තියේ සිට සැතැ. 40 කට පමණ ඊසාන දෙසින් රෝහිණී ගංඟාව අසබඩ නේපාල දේශ සීමාවේ කපිල වස්තුව පිහිටා තිබේ.

සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූයේ කපිල වත්ථූවේ පිහිටි “ ලුම්බිණී “ නම් රමණීය උද්‍යානයේ දී ය. බුද්ධ කාලයේ පටන්ම ධර්මයාත්‍රිකයන්ගේ අවධානයට ලක් වූ පූජනීය ස්ථානයක් වූ “ ලුම්බිණිය “ බෞද්ධ සාහිත්‍ය සඳහන් සතර සංවේජනීය ස්ථානයන් ගෙන් එකකි.

ප්‍රමුඛ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම පිණිස ධර්ම යාත්‍රාවේ යෙදුනු ධර්මාශෝක අධිරාජයාද මෙම ස්ථානයට පැමිණි බවත් එසේ පැමිණියේ බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ ස්ථානය නිසා බවත්,

දේවානම් පි‍්‍රය පි‍්‍රයදර්ශී රජ රජවී විසි වසක් ඉකුත් සඳ මේ ස්ථාන යට පැමිණියේය. ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ මේ ස්ථාන ඉපදුනු හෙයිනි . එතුමා මෙහි අස්රුවක් සහිත ගලක්ද සේල් ටැඹක් ද පිහිටු විය.මෙහි භාග්‍ය වතුන් වහන්සේ උපන් හෙයිනි. යනුවෙන් රුමින් දෙයි ටැම් ලිපියෙහි සඳහන් කොට ඇත.

මේ හැර උප ගුප්ත නම් තෙරුන් වහන්සේ නමක් හැමට පළමුව අශෝක රජතුමා ලුම්බිණී වනයට ප්‍රවිෂ්ට කරවා දකුණත දිගුකොට “භාග්‍යවතුන් වහනසේ මේ ස්ථානයෙහි උපන්සේක “ කියා පෙන් වූ බව “ දිව්‍යාපදානයෙහි “ සඳහන් වෙයි. අශෝකස්ථම්භය රුමින්දෙයි ටැම් ලිපිය වර්තමානයෙහි පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණ ලිඛිත තොරතුරු යන සාධක රාශියකින් ලුම්බිණිය බුදුන් උපන් ස්ථානය ලෙස නිසැකවම හදුනා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.